දන්සැල් පාර්ටි – The Dansala or a party

Dansela

දානය උතුම් වූ පුණ්‍යකර්මයකි. දස පුණ්‍යක්‍රියා වල මුලටම එන්නේ ද දානයයි.

දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දේශනා ,ධම්ම සවන,වෙය්‍යාවච්ච, අපචායනය, දිට්ඨුජ කම්ම

එමෙන්ම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨත්වයට පත්කරන පාරමිතාවන් අතරින් ද මුල් තැන හිමිව ඇත්තේ දානයටයි.

“දානං සීලංච නෙක්ඛම්මං

ප්‍රඥා වීර්යේන පාරමං

ඛන්ති සච්ච මධිට්ඨානං

මෙත්තු පෙක්ඛා ඉමේ දස“

පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී වශයෙන් ඉදිරියට යන විට තමා සතු දේ පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ මෙන්ම ජීවිතය පවා දන්දීම උතුම් ලෙස බෞද්ධයෝ පිලිගනිති.

 බුදුරජාණන් වහන්සේ විසින් රාජ්‍ය පාලකයන් විසින් තම යටත් වැසියන්ට සංග්‍රහ කල යුතු යයි අනුදැන වදාල පරිදි සතර සංග්‍රහ වස්තු වල ද මුලින් ම ඇත්තේ දානයයි.

1.දානය

2.ප්‍රිය වචනය

3.සමානාත්මතාව

4.අර්ථචර්යාව

මෙමගින් බුදු දහම තුල “දානය“ ට ලබාදී ඇති වැදගත්කම පැහැදිලිය.

සැබැවින් ම “දානය“ හෙවත් “දීම” යනු කුමක්ද? දානය යනු අන් කිසිවක් නොව අත හැරීමයි. සත්වයා සංසාරයට බැද තබන රැහැනක් වන තෘෂ්ණාව මැඬලා අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල් මුල් (සිතිවිලි) උපදවා ගැනීම දානයේ මූලික පරමාර්ථයයි. එලෙස දෙන දානයේ අනුහස් වැඩි බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

සියලුම දානය අතරින් ධර්ම දානය උතුම් බව බුදුන්වහණසේ දේශනා කොට ඇත.

“සබ්බ දානං දම්ම දානං ජිනාති“

දානය බුදුන් පිදීමේ ආමිශ පූජාවක් ලෙස වැදගත් වන්නේ, එය ප්‍රතිපත්ති පූජාව කෙරෙහි හුදී ජනා යොමුකරන පාලමක් වන බැවිණි.

දානය යනු අත්හැරීම නම් අප විසින් අත් හරින්නේ මොනවාද? අපවිසින් අත් හරින්නේ අප සතුව පවතින්නක් මිස කාගෙන් වත් ඉල්ලාගත් දෙයක් අප විසින් අත් හැරීමෙන් කුසල් ඉපදේද?

අද වෙසක් සමයේ අපේ ජනතාව දාන පාරමිතාව පුරන්නේ කෙලෙකද? මහාබත්, නූඩ්ල්ස්, සැන්ඩ්විච් පාන්, කොළ කැඳ, සිසිල්පැන්, මඤොක්කා, ආදී මෙකී නොකී දන්සැල් වෙසක් සමයේ පාරවල් පුරා දක්කට ලැබේ. මේවා සංවිධානය වන්නේ කෙසේද? සංවිධායකයෝ  ආධාර ලැයිස්තුවක් රැගෙන ගම වටා ඇවිදිති. ලැයිස්තුවේ මුලට ව්‍යාජ නම් වලට අතිවිශාල පරිත්‍යාගයන් ලියා පාරට බසින විට කාටවත් දෙවෙනි වීමට අකමැති අපේ ජනතාව ද එබදුම මුදලක් ඇත්තටම ලියා දන්සලට සම්මාදම් වේ. මේ සම්මාදම් මුදලින් කාගේ කාගේ සාක්කු පිරේ ද යන්න වෙනම ගැටලුවකි. අවසානයේ වෙසක් දා දන්සලට ආධාර කල පිරිසද ඇතුලුව කවදාවක්වත් තුන්වේල කෑමේ අර්බුදයක් නොතිබුණු ජනතාව “වෙසක් බලන“ ගමන් මේ දන්සල් “වන්දනා“ කරති.

මේ ක්‍රයාවලියේ මූලීක දෝශ දෙකකි.

1.දන්සල් දෙන්නා එය දෙන්නේ තමා සතු මුදලක් වියදම් කොට නොවේ

2.දන්සල බුක්තිවිදින්නේ කෑමට යමක් නැති (දන්සල් ඇත්තටම අවශ්‍ය) දුගීන් ද නොවේ

මේ ක්‍රියාවලිය තුල දානය යන්නේ සැබෑ පරමාර්ථය ඉටුවේ ද යන්න ගැටලුවකි. දානයක අනුහස් වැඩි වන්නේ, දායකයා ගේ චිත්ත පාර්ශුද්ධත්වය මත මිස ප්‍රමාණාත්මක වටිනාකම මත නොවේ. සැදැහැ සිත් දෙනු ලබන අල්ප වූ දෙයක වු වටිනාකම වැඩි බව බුදුන්වහන්සේ ගේ දේශනාවෙහි දැක්වේ. උතුම් වූ තෙමඟුල සැමරීමට සූදානම් වන මේ මොහොතේ දානයේ සැබෑ අරමුණු අරුත් ගන්වන ලෙස දන්සල් පවත්වන්නේ නම් කෙතරම් ශ්‍රේෂ්ඨ ද?

මෝහාන්ධකාරය දුරලා ප්‍රඥාවේ ආලෝකය ලොව දසත පැතිරේවා!

සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 19/05/2013, in කාලීන, මතවාද. Bookmark the permalink. 6 Comments.

  1. මේවාට කියන්නේ වෙසක් ආතල්. මම ලියලා තියෙන්නේ වෙසක් එකටම දෙන්නම්. හිඟන්නෙක්ට කෑම වේලක් දෙන එක වටිනවා ඕවට දෙනවට වඩා. පොඩි උන්ගේ ඒවනම් අවුලක් නෑ. මහ උන් නම් කරන්නේ බිස්නස් එකක්. කොච්චර සල්ලි හම්බ උනත් දෙන්නේ. බතුයි, ලූණු සම්බලයි, පරිප්පුයි තමයි. ඒකත් හොඳට කන්න තියෙන උන්ට. දුප්පත් එකා පෝලිමේ ඉඳිද්දි අඳුනන උන් පෝලිම් පනිනවා. හොඳම ටික පාර්සල් වෙලා දන් දේ උන්ගේ ගෙවල්වලට යනවා. අන්තීමට හිඟන්නෝ ටික කෑම නැතුව ගෙදර යනවා. මළ විකාර.

    • “වෙසක් ආතල්“ නියම වචනේ!

      සඳුදා ඉඳන් සුපුරුදු පරිදි බිසී.කලින් ම දැන්මේ ඒකයි.

  2. දන්සලක් දෙනවා නම් කවුරුන් හෝ කට්ටියක් හෝ තනි පුද්ගලයෙක් තමන්ගේ තනි වියදමෙන් දන්සලක් දෙන්න ඕන.එතකොටයි හරියට පින!

    • මගේ අදහසත් ඕකම තමයි නිශාන්.

      • මේකයි නිශාන්, බුදු දහමේ හැටියට, දානය තමන් දුන්නොත් ලැබෙන්නේ (වෙනත් ආත්ම වලදී) ධනය විතරයි. පිරිස් බලය ලැබෙන්න නම් තමා කරන දානමය පුණ්‍යකර්ම වලට අන් අය සහභාගී කර ගන්න ඕනේ.

  3. //දානයක අනුහස් වැඩි වන්නේ, දායකයා ගේ චිත්ත පාර්ශුද්ධත්වය මත මිස ප්‍රමාණාත්මක වටිනාකම මත නොවේ. //

    මෙන්න මේ කොටස තමයි අපි ඕනෑම කෙනෙකුට වටින්නේ.

ඔබේ අදහස් දහස් වටී ....................