ආයතනවල ඉන්නා අමාරුකාරයෝ නොහොත් ට්‍රබල්මේකර්ස්ලා


නායකයන්ට හිසරදයක් ද සෙසු අයට අවිනිශ්චිතතාවයක් ද තමාට ආතතියක් ද ගෙනෙන කරදරකාරයින් නැතිනම් අමාරුකාරයින් ඕනෑම ආයතනයකට උරුම ය. ඒ අතරින් හැමෝම නැතත් බොහෝ අය ආයතනයට හිරිහැරයක් ලෙස මතුපිටින් පෙනුන ද තරමක් විමසිල්ලෙන් ඔවුන් දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් වෙස්වලාගත් ආශිර්වාදයන් බව ය. එහෙත් මතුපිටින් බලන බොහෝ නායකයින් ඒ බව දන්නේ නැත.

ආයතනයේ කාලයක් පවතින පුරුදු විමසුමට ලක් වන්නේ ඔවුන්ගේ මැදිහත්වීම නිසා ය. සමහර ක්‍රමවේද නැවත සකස් වන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු නිසා ය. ආයතනය සමහරවිට නිදා නොගෙන අවදිව සිටින්නේ ඔවුන් නිසා ය.

ඔවුන් ඉවසන්නේ නැත. කටපියා ඉන්නේ නැත. අහක බලාගෙන ඉන්නේ ද නැත.

ඒ පමණක් ද? ඔවුන් බිය ද නැත. රැකියාව නැති වෙතැයි ද මිනිසුන් අමනාප වෙතැයි ද බියක් ඔවුන්ට නැත. ඒ නිසාම ඔවුන් විවෘත ය.

මෙවැනි අමාරුකාරයින් බිහිවීමට විවිධ හේතු තිබිය හැකි ය. සමහර ඒවා ආයතනයේම වැරදි ය. කොතෙක් ඉවසා සිටින්නට හැදුවත් නිරන්තරයෙන් කොනිත්තූ නිසා බිහි වූ කැරලිකාරකම එහි ප්‍රතිඵලය විය හැකි ය.

සමහර ඒවා ඒ පුද්ගලයාගේ දුර්වලකම් ය. හැම විටම ඉදිරියෙන් සිටීමට ඇති නොසිදෙන ආසාව එවැනි එක් දුර්වලකමක් විය හැකි ය.

හේතුව කුමක් වුව ද ඔහු හෝ ඇය අනෙත් අයට වඩා ඉක්මණින් සෙලවෙන ඉක්මණින් කලකිරෙන ඉක්මණින් කිපෙන ඉක්මණින් ප්‍රතිචාර දක්වන්නන් වීම නිසා ම අප කලින් කී පරිදි ආයතනයේ බොහෝ දේ ගැන නැවත හිතන්නට සෙසු අයට සිදුවේ. ඔවුන් පෙළඹ වේ.

ඔවුන් හිසරදයක් ලෙස සළකන්නේ නම් ඔවුන් සැබෑ හිසරදයක් විය හැකි බව සැබෑ ය. ඔවුන් ලෙඩ ගැන අනතුරු අගවන රෝග ලක්ෂණයක් ලෙස ගන්නේ නම් එයින් ආයතනයේ සෞඛ්‍ය ඉක්මණින් යහපත් කර ගත හැකි ය.

නායකත්වයක දක්ෂතාවය මේ අමාරුකාරයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීම ය. එහෙත් බොහෝ නායකයින් කරන්නේ ඉක්මණින් ඔවුන්ගෙන් ගැලවීමට උපා සෙවීම ය. ඔවුන් ආයතනයෙන් ඉවත් කරන්නේ කෙසේ ද ඔවුන් සෙසු අය ගණනටම මෙල්ල කර ගන්නේ කෙසේ ද යන්න බැලීම ය.

වෙස්වලාගත් ආශිර්වාදයක් විය හැකිව තිබූ දෙයක් මෙසේ අවසානයේ කරදරයක්ව අයින් කරනු ලැබීම හෝ නිශ්ක්‍රීය කරනු ලැබීම ආයතනයට විශාල පාඩුවකි. නායකයින්ට පෙනෙන මායිමෙන් එහා බැලීමට හැකි විය යුතු යැයි අප කලින් සටහනක කී කාරණය මෙයින් වඩාත් තහවුරු වේ.

One thought on “ආයතනවල ඉන්නා අමාරුකාරයෝ නොහොත් ට්‍රබල්මේකර්ස්ලා

  1. Aruna Devendra says:

    එසේම ආයතනයක පැවැත්මට වින කැටීමටම බලා සිටින නිෂ්ශබ්ද අමාරුකාරයන්ද සිටී. ඔවුන් හදුනාගැනීමට ඔබ ඉදිරිපත් කර ඇති වහා කිපෙන සුළු හිසරදකාරයන්ට වඩ ඉතා අපහසුවේ. ඔවුන්ගෙන් පොදුවේ ආයතනයට මෙන්ම කළමනාකරුවන්ට පෞද්ගලිකව ද අභූත චොදනා එල්ල විය හැකියි. මෙම ප්‍රභේදයේ අමාරුකාරයින්ගෙන් ආයතනයකට, කළමනාකරුවකුට හෝ පොදුවේ රටට වන යහපතක් ඇත්තේම නැති තරම් ය. ඔවුන් හදුනාගැනීම හා උපක්‍රමශීලීව ඉවත් කිරීමටත් කළමනාකරුවකු වගබලා ගතයුතුම වේ.

Leave a comment