ගල හිල් කළ ‍රැග් එක

නවක වදයට සම්බන්ධ කතාවක් කලින් දාපුවාම ඒකටම ටීකාවක් විදිහට එකතු කරන්න හිතාගෙන හිටියත් වෙන පැත්තකට යන ස්වභාවයක් හින්දා මේක මං වෙනමම දානවා.සාමාන්‍යයෙන් ඔය ‍රැග් සීසන් කියන එක ඇවිල්ලා හරියට අමු අඹ කනවා වගේ වැඩක්.මොකද ඒක කන එකාගේ දත් හිරි වැටෙනවා.ඒත් බලාගෙන ඉන්න එකාගේ කටට කෙළ උනනවා.මේ පාර ‍රැග් වෙන එකා ගොඩක් වෙලාවට අනිත් පාර ඇවිත් ‍රැග් කරන්න පෙළඹෙන හේතුවක් තමයි ඕක.

ඒත් එයාලා හිතන්නේ නෑ තමන් ‍රැග් වෙන කොට තමන් කොච්චර පීඩාවකට පත් වුනාද කියන එක.

නමුත් ඒ මොනවා වුනත් සාමාන්‍යයෙන් campus වල තියෙන සම්මතයක් තමයි එක පාරක් වත් ‍රැග් නොවුනු කෙනෙක් තවත් කෙනෙක්ව ‍රැග් කරන්න යන්නේ නෑ කියන එක.මොකද තමන් අත්වින්ද පීඩාව දන්න කෙනෙක්ම තමයි ඒකෙ රඟ දන්නෙ.

කොහොම හරි ඔය කාලෙදි හරි අපූරු අපූරු දේවල් සිද්ධ වෙනවා.සමහර වෙලාවට ‍රැග් කරන්න යන අදාල ජ්‍යේෂ්ඨ උත්තමයා විහින් ‍රැග් වෙනවා.(උත්තමයා කියලා කියන්නේ නෑ.ඒ වුනාට ලංකාවේ කොහේදෝ හද්ද ඩොටේ තැනක කියනවලු,අපි නම් කිව්වේ නෑ,අයියේ, අක්කේ කියලා තමයි කිව්වෙ.අනික අක්කලා අපිට ‍රැග් කිරීමට තබා ඇස ගැටීමටවත් හිටියේ නැත.එය අපේ අවාසනාවය.)

විශේෂයෙන්ම අලුතින් එන නවක ශිෂ්‍යයො දිහාට අර හද්ද ඩොටේ ඉඳන් ආපු ගොඩයො හරියට තමන් රොස්මිඩ් ප්ලේස් වලින් බැස්සා වගේ පෙන්නන්න යනවා.(මං මෙතන ගොඩයා කියන්නේ ගමයාට නොවේ).අර ඉතින් ඕනෑම මෝඩයෙක් කට අරිනකන් උගතෙකි කියන්නා වගේ එයාලා කට ඇරපු ගමන් පනිනවා ගමේ වග තුග.ඇයි ඔය තියෙනවනෙ ප්‍රාදේශීය ව්‍යවහාර කියලා දෙයක්.මේක කොච්චර හංගලා හරියට තමන් මේ කොළඹම ඉපදුනු එකෙක් හැටියට පෙන්නන්න හැදුවත් අර දිය යට හංගපු රබර් බෝලෙ වගේ උඩටම එනවා.

දවසක් ඔය ජ්‍යේෂ්ඨයෙක්ට කියන්න ඕන වෙලා ගෑනු ලමයි ටිකකට කුඩේ ඉහලන් යන්න කියලා.මේකා කියනවා

“”අටෝගනිං අටෝගනිං විගහට කුඩේ””

අනේ අර නංගිලා ටික බලා ඉන්නවා මේ මොකක්ද මේ කියලා.මොකද කුඩේ කියන්නේ උගුලක්යැ අටවන්න.ඒ වුනාට අර ජ්‍යේෂ්ඨයගේ ගමේ කියන්නේ කුඩේ ඉහලනවට කුඩේ අටවනවා කියලලු.අනේ අර ලොක්කගේ ඊනියා පොෂ් බැටලු හම යසට ගැලවිලා.ඊටත් තව පැත්තක කියන්නේ කුඩේ ඉහලනවට කුඩ දාගෙන යනවා කියලලු.

Image

අර තව පැත්තක අයියලා බනින්න ගියාම මොන හත්තිලව්වක්ද අහන්න ගිහින් ගමේ වරුනෙ කියලා එනවා.ඒ පැත්තෙමලු ලෑල්ලට ලැල්ල කියලා කියන්නෙ.

ලනුවට ලන්න කියන්නයි අපිත් කොළඹ හරිය කියන්න ගිහින් දවසක් අපේ අයියා කෙනෙක් නා ගත්තේ HFC කෙල්ලො ටිකක් ඉස්සරහා.ඉතින් හිතා ගන්න උන් හොස්ටල් ගිහින් කොහොම මොකක් කියන්න ඇත්ද කියලා.

අන්තිමට හොඳම වැඩේ වුනේ ජ්‍යේෂ්ඨ අයියා කෙනෙක් අපිට “”අරක වහ දාලා වරෙන් “”කියලා common එකට ගෙනාපු කෑම ටිකක් පෙන්නපු වෙලාවෙ.අපි කලබල වුනා විතරක් නෙවෙයි ඒ ගොල්ලන්ගේ සමහරුත් බැලුවා මේ මොකද වහ දාන්නේ කියලා.බලද්දි එයාලා වහනවට කියන්නේ වහ දානවා කියලා.

මේ විදිහට ජ්‍යේෂ්ඨයන්ටම කිව්වම හරි නෑනෙ.අපේ girl කෙනෙකුත් මහා ඔලමොට්ටල කතාවක් කියලා තිබුනා.එයා කතා කරන්නේ හරියට මතුරනවා වගේ.ඉතින් දවසක් ලඟට කතා කරලා නම ඇහුවාම  මෙලෝදෙයක් ඇහෙන්නේ නෑ හරියට මතුරනවා වගේ.ඒ පාර ඒ අයියලා කියලා පාරේ තියෙන ගලක් අහුලලා ගනින් කියලා.කෙල්ලත් අහුලලා අරගෙන පොඩි ගලක්.

“උඹ මතුරනවා වගේනෙ කතා කරන්නේ,දැං එහෙනං මතුරලා මේ ගල පලන්න ඕන.හ්ම්…..මතුරනවා”

දැං කෙල්ලත් බයටම වගේ ගල කට ළඟට අරන් මතුරනවා වගේ ඉඳලා.””ආ..දැන් දානවා බිම.”” කිව්ව විදිහටම දාලා.””දැන් අරන් බලපන් ගල පැලිලද කියලා”‘

මේ කෙල්ල කිව්වනෙ

“අයියේ ගල පැලිලා නෑ,හැබැයි මැදින් හිලක් හැදිලා”

කියලා.කෙල්ලට යන්න කියපු ඒ අයියලා ටික පස්සේ බඩවල් අල්ලගෙන හිනාවෙලා.අන්තිමට කෙල්ලට card වැ‍ටුනෙත් dough nut කියලා.

Leave a comment