ඔබ ගැන ඔබ දරණ මතය හරි ද?

ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? එසේ නම් ඔබ දියුණු වන්නෙකි. කිසිම දියුණුවක් නැත්තේ වැරදි මත දරා සිටින අයටයි.

අනිකුත් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම ද කෙනෙකුගේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. විසඳීමට අපහසු ප්‍රශ්න මතු වූ විට අපි ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද? අපේ ජීවිත හැඩ ගැසෙන්නේ අප ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව හා ඒවා විසඳන වේගය අනුවය.

සිංහල ජනයා තම කුඩා දරුවන්ට ඉතා සුළු කාරණයක දී පවා පිහිට වෙයි. මෙසේ පිහිට වීම නිසා දරුවා අනුන්ගේ පිහිට බලාපොරොත්තු වන්නට පුරුදු වන්නේය. දරුවෙකුට හෝ වෙනත් වැඩිහිටියෙකුට හෝ ආධාර උපකාර විය යුත්තේ ඔහුට එය තනිවම කරන්නට බැහැයි කියා නොව ඔහුට එය තනිවම කරන හැටි උගන්වා දීමෙනි.

සමහරු ඉතා දුෂ්කර ප්‍රශ්න විසඳීම සඳහා ඉමහත් වෑයමකින් කටයුතු කරති. එහෙත් ඉතා සුළු ප්‍රශ්න වලට බයේ හැකිලී සිටිති. තනිවම තැනකට යන්නට බැරි හා තනිවම යමක් කරන්නට බැරි හැඩිදැඩි පිරිමි දකින විට අපිට ඇතිවන්නේ දුකකි. ඔබත් නිතරම පසුබට වන්නෙක් ද? එසේ පසුබට වීමට හේතුව සොයා එය නැති කරගන්න. බියකින් හෝ හීනමානයකින් පෙලෙන පුද්ගලයා ඒවාට උඩින් ධනය හා දියුණුව ගොඩ ගසන්නට තැත් කළාට අසුවන්නේ ඉතා ටිකකි.

සායමක් පෙවීමට පෙර රෙදිකඩ පැල්ලම් රහිත පිරිසිදු එකක් බවට පත්කර ගත යුතුය. දුබලකම් වසා ගැනීම සඳහා කටින් පමණක් වීරකම් දක්වන සෑම කෙනෙක්ම ක්‍රියාවෙන් වීරකම් නොදක්වන බව අපට පෙනී ගොස් තිබේ.

ඔබේ ප්‍රශ්නය ඉතා හොඳින් දන්නේ ඔබයි. එය විසඳීමේ මාර්ගය ඇත්තේ ඔබේ මනස තුලය. පසුබට වීම, අදිමදි කිරීම, කල්දැමීම, අන් අය පිට දොස් පැවරීම යනාදිය ඔබේ සිරිතක් නම් එම සිරිත ඉතා බාල පහත් පුරුද්දක් බව තේරුම් ගන්න. වීරයෙකු වීමට ඕනෑ කරන්නේ ඉතා සුළු වෙනස්කමකි. එනම්, තමන්ගේ සිත තුල ඇති බිය පහකර ගැනීම පමණකි.

අනුන්ගේ අඩුපාඩු හා දුබලකම් ගැන නිතර නිතර කියන්නේ තමන් ළඟ එයටත් වඩා අඩුපාඩු හා දුර්වලකම් ඇති අයයි. ඔව්හු අනුන්ගේ දුබලකම් හා තමන්ගේ දුබලකම් සසඳා බලමින් තමන් ඔවුනට වඩා හොඳ යැයි තීරණය කරති. ඒ අන්දමින් ඔව්හු තෘප්තියක් ලබනවා මිස කිසි කලෙක තමන්ගේ දුබලකම් ජයගැනීමට කටයුතු නොකරති.

ඕනෑම කෙනෙකුට තමන්ගේ බොහෝ දුබලකම් ජයගැනීමට පුළුවන. ගතවන්නේ සිත වෙනස් කර ගැනීමට යන සුළු කාලය පමණි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1