අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 19)

බ්‍රෙන්ඩන් කුරුප්පු

බ්‍රෙන්ඩන් කුරුප්පු

ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු සහ කඩුළු රකින්නෙකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පු තම මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කළේ 1987 අද වගේ දවසක. ඔහු මේ දස්කම කළ ලොව තුන්වැන්නායි. එසේම මෙය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි. ඒ විතරක් නෙවෙයි, රිචඩ් හැඩ්ලි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව කොළඹ CCC පිටියේදී මිනිත්තු 777 ක් පුරාවට පන්දු 548 කදී බ්‍රෙන්ඩන් නොදැවී රැස්කළ ලකුණු 201 ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ මන්දගාමීම ද්විත්ව ශතකය ලෙසත් වාර්තාගත වෙනවා.

අප්‍රේල් 19 වෙනිද ලෝක ප්‍රකට වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුගේම උපන්දින යෙදී තිබෙනවා. එදා මෙදා තුර බිහිවූ දක්ෂතම පන්දු යවන්නන් කිහිප දෙනා අතරින් එක් අයෙක් වන එංගල්න්තයේ සිඩ්නි බාර්න්ස් උපත ලැබුවේ 1873 අද වැනි දවසක. 1913 දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී ඔහු ලකුණු 159 කට කඩුළු 17ක් දවා ගන්නට සමත් වුණා. මෙය ටෙස්ට් තරගයක වාර්තා වූ දෙවන හොඳම පන්දු යැවීමයි.

ඊට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වූ පෝල් රයිෆල් සහ ජේසන් ගිලස්පි අද උපන්දින සමරනවා. හෙටත් හමුවෙමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න