ධවල තිමිරය – The white mist

Tea estate

(සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි)

බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස  නම් තම මූලික අවශ්‍යතාවන් තමා අවටින් ම සපයාගෙන මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් සාපේක්ෂව අඩු අවශ්‍යතාවන් ගෙන් හෙබි මෙරට වැසියන් තම එදාවේල සොයා ගැනීමට නොරටට අතනොපෑ බව නම් සත්‍යයකි. මෙරට ඒ ස්වයංපෝෂිත ආර්ථික රටාව බිඳවැටීම ඇරඹුණේ  ක්‍රි.ව. 1505 දී සිදුවූ යුරෝපා ආක්‍රමණයත් සමගයි.

විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට ඇතුලුව සමස්ථ ශ්‍රී ලංකාව ම යටත් කරගැනීමෙන් පසු අපේ ආර්ථිකය අනුන් මත යැපෙන ආර්ථිකයක් බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ විය. යටත්විජිතවාදින් අලුත් අලුත් රටවල් යටත් කරගන්නේ අල්ලාගන්නා රටේ ජනතානගේ සුභසිද්ධිය තකා නොවන බව සත්‍යයකි. ඉංග්‍රීසීන් ද අපේ දිවයින අල්ලාගත්තේ තම මව් රටේ ආර්ථිකය තවතවත් දියුණු කරගැනීමේ ලා මෙරට ස්වාභාවික සම්පක් උපයෝගී කරගැනීමේ අභිලාශයෙන් මිස වෙනකක් නිසා නොවේ. මෙරට බහුල ව  තිබූ මිනිරන්, ඛණිජ වැලි, හුණුගල් ආදී ස්වාභාවික සම්පත් අපනයනය කළේ තම රටේ කාර්මික දියුණුව උදෙසාමය.

ඉංග්‍රීසීන්  වාණිජ වගාවන් ලෙස මෙරට භූමිය තුල කෝපි, තේ, රබර් ආදිය වගා කළේ මෙහි ස්වාභාවික පරිසරය තම උන්නතිය උදෙසා යෙදවීමේ තවත් පියවරක් ලෙසය. නමුත් මේ වාණිජ භෝග වගාව මෙරටට කළ විනාශය සුලු පටු නොවේ. අද ද අප පීඩා විදින සමාජ, ආර්ථික, දේශපාලන, පාරිසරික ගැලටු බොහොමයක මූලාරම්භය මෙයයි.

තේ යනු මෙරටට ආවේණික ශාකයක් නොවේ. එහි නිජබිම මධ්‍යම ආසියාවයයි (මා වැරදි නම් නිවැරදි කරන්න). ඉංග්‍රීසි ජාතිකයන් වාණිජ භෝගයක් ලෙස තේ මෙරටට හදුන්වා දෙන්නේ පුස් රෝගයක් පැතිරීම නිසා කෝපි වගාව මෙරටේ අසාර්ථක විමත් සමගය. මෙහි කඳුකර දේශගුණය, භුවිෂමතාව ආදී පාරිසරක සාධක තේ වගාවට මනාව ගැලපුනේ අපගේ ම අවාසනාවයට යැයි ලේඛකයාට විටෙක සිතේ. සුද්දා තේ වගාවට අවශ්‍ය මෙරට කඳුකර ඉඩම් ලබා ගත්තේ පැහැදිලිවම බලහත්කාරයෙනි. අපේ මුතුන්මිත්තන් බුක්ති විඳි (නමුත් සුද්දා ගේ නීතියට අනුව නිසි ලෙස අයිතිය තහවුරු කළ නොහැකි වූ) ඉඩම්  “මුඩු බිම් පනත“ මගින් රජයට පවරා ගනු ලැබිණි. අපෙ ් ජනතාව උපන් බිමවලින් පන්නා දන්නේ ඉන් අනතුරුවය. ඊට අමතරව කඳුකරයේ ව්‍යාප්තව තිබූ තෙත් කලාපීය කඳුකර වනාන්තර එලි පෙහෙලි කරන්නේ ද තේ වගාව උදෙසාය.

තේ අධික ලෙස තම්කරු ශ්‍රමය අවශ්‍ය වන වගාවකි. සුද්දාගේ තේ වගාවට අවශ්‍ය කරන ශ්‍රමය මෙරටින් ම සම්පාදනය කරගරනීමේ හැකියාව තිබුණ ද තමන්ගෙන් මංකොල්ලකෑ ඉඩම් වල වැටුපකට සේවය කිරීමට අපේ මුතුන්මිත්තන් අකැමැති වූහ. එය ඉතා සාධාරණය.  අපි ආඩම්බර ජාතියක් වීමු.

තේවතු වල සේවයට ඕනෑ තරම් ලාබ ශ්‍රමය තිබූ දකුණු ඉන්දීය කුලීකරුවන් මෙරටටගෙන එන්නේ මේ හේතුවෙනි.මෙය අප රෙට් තවත් සමාජ ගැටලු ගණනාවක ආරම්භයයි.මේ ආගන්තුක ජනකොටස නඩත්තු කිරීමට අමතරව පත්වන රජයන්ට තම බලතුලනය උදෙසා මේ ජනතාවෙග් ඊනියා නායකයන්ට කප්පම් ලබාදීමට සිදුවීම අද දක්වාම අප අතිවිඳිනඛේදවාචකයකි.

තේවගාව නිසා කඳුකර නොඉඳුල් වැසි වනාන්තර ඛේදජනක ‍ලෙස විනාශයට පත්විය. ආදේශ වන වගා ලෙස සුද්දා මේ ප්‍රදේශ වලට හදුන්වා දුන් ෆයින්ස්, ටර්පන්ටයින් ආදී වගාවන් තවතවත් මේ පරිසර හානිය  වර්ධනයකලේය. පරිපර තුලනය මුලුනමින් බිඳ වට්ටන මේ ෆයිනස් කැලෑ තුල කුරුල්ලෙක් වත් නොරැඳේ. සාමාන්‍ය යෙන් ගසක කොළයක් ගසෙන් ගිලිහී කෙටි කලක් තුල දිරා ගොස් පස් බවට පත් වන නමුදු ෆයිනස් ශාක පත්‍ර සෑ‍හෙන කාලයකට දිරා නොයයි. ෆයිනස් කැලැයක් තුලට පිවිසෙන්නෙකුට   ගස් අතර දක්කට ලැබෙන්නේ පස් නොව අඩි කීපයක ගනකමට ඇති දිරා නොගිය දුඹුරු පැහැ වියලි ෆයිනස් පත්‍රයන් ය. කඳු ගැට වල තේ වගාවෙන් සිදුවන පාංශු ඛාදනය අද දින විශාල පාරිසරික ගැටලුවකි. මෙහි තරම වටහාගැනීමට වැසි කලක නඳුකරයෙන් පහලට ගලාබසින බොරපැහැ ගංඟාවන් දෙස බලා සිටීම ප්‍රමානවත්ය.

සුද්දා ගෙන් අපට වූයේ අගතියක් ම පමණකැයි කීමට තරම් ලේඛකයා අන්තගාමී නොවේ. මෙරට ස්ථාපිත කළ අධ්‍යාපන පද්ධතිය, (අද අප විසින් වැරදි වැරදි ලෙස භාවිත කරන මුත්) වෙස්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය  , අද පවා භාවිතයට ගන්නා මහාමාර්ග, දුම්රිය මාර්ග, රාජ්‍ය පරිපාලන ආයතන ආදිය සුද්දා‍ ගෙන් අප ලැබූ දායාදයන්ය. සත්‍යය වශයෙන් ම මේවා තම යටත් විජිතය පාලනය කිරීමේ පහසුව උදෙසා තම  ප්‍රයෝජනය උදෙසා ම සුද්දා විසින් ඇති කළ දේ වුව ද අද ඉන් පල ලබන්නේ අපය.

එ සුද්දා ලබා දුන්දේය. ලබා නොදුන් දේ පිලිබදව ද සටහනක් තැබිය යුතුමය. සුද්දා තම කාර්මික හෝ තාක්ෂණික දැනුම මෙරට වැසියන්ට ලබා දුන්නේ නැත. ඒ වෙනුවට කළේ මිනිරන්, ඛණිජ වැලි ආදිය අමුද්‍රව්‍ය ලෙස රට පටවා යුරෝපයේ කර්මාන්ත කිරීමය. මෙහි රබර් ෆීට් අපනයනය කර විදේශයන්හි නිපදවන ටයර් නැවත මෙරටට ගෙන්වීමය.

මේ ලිපිය ලිවීමෙහිලා ලේඛකයා පෙලබූ මුඛ්‍ය කාරණය වෙත දැන්  ප්‍රවේශ වෙමු. තම යටත්විජිතයේ ජනතාව ගේ ආර්ථික, සමාජීය සවර්ධනය කෙරෙහි කිසිදු වගකීමක් නැති බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් එදා එසේ කිරීමේ විශ්මයක් අපට නැත. නමුත් අප දැන් හැටපස් වසරකට පෙර ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වීමු. ඒත් එදාට වඩා වෙසක් අද තිබේ ද? අද ද අපේ ආර්ථිකය රැඳී පවතින්නේ එදා මෙන් ම මේ කෘශිකාර්මික භෝග කීපයක් හා කාර්මික අමුද්‍රව්‍ය කීපයක් අපනයනය කිරීම මතය (මැදපෙරදිග වහල් සේවය හා ඇඟලුම් කර්මාන්තය හැරුන විට). 1970 දශකයේ ශ්‍රී.ල.නි.ප රජය යටතේ ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ටයර් සංස්ථාව ආදිය පිහුටුවමින් මේ වලෙන් ගොඩ ඒමට සාධනීය පියවර ගත්ත ද පසු කාලීනව ඒ රජයේ අනුප්‍රාප්තිකයන් විසින්  ද, වෙනත් පාලක පක්ෂ විසින් ද, ඒ සියල්ල කනපිට හරවා තිබීම ඉතා කනගාටුදායකය. අපේ ම ඡන්දයෙන් පත්වන අපේ ම පාලකයන් එදා අපව බලෙන් යටත් කරගත් සුදු අධිරාජ්‍යයට විකල්පයක් වී නැති වීම බරපතල ම ඛේදවාචකයයි. 

අපි තවමත් ඒ ධවල තිමිරයෙන් වැසී සිටිමු !

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 10/03/2013, in කාලීන, මතවාද. Bookmark the permalink. 9 Comments.

  1. සුද්දාගේ එකල වැවු පයිනස් සහ ටර්පන්ටයින් ගස් තවමත් කඳුකරයේ නොනැසී පවතී…ඉන් පසුකාලීනව නවසිය හැත්තෑ ගනන්වලද මෙමවගාවන් කඳුකරය තුල ව්‍යාප්ත කෙරෙනි…
    සුද්දා අහම කලේය මෙහෙම කලේයැයි එයාලට බැන අඩගසා පලක් නැත…මේ පයින් ගස් ටර්පන්ටයින් ගස් ගැලවීමවත් අපෙ රජයන් වලට කරගත නොහැකි මහා මෙරක් ඇති වැඩක් වෙලා තිබේ..

  2. සුද්ද නැත්නම් තවම ඉන්නේ අර අප්‍රිකාවේ වගේ වැද්දො සෙට් එකකුයි. කකා බිබි පිස්සු කෙලින රජෙකුයි විතරයි. පන්සල්වලටත් කෙලවෙලා තිබුනේ. අතීතයේ බයිලා කතා කරලා වැඩක් නෑ. රැප් එකක් කියාගෙන ඉදිරියට යන එකයි කරන්න ඕන.

  3. ලංකාවට ඉංග්‍රීසින්ට ඉස්සෙල්ල ස්පාඤ්ඤ රටවලින් ආවා බුහුදුබඩ අල්ල ගත්තා මීට ඉස්සෙල්ල ලංකාව අල්ල ගෙන හිටියේ ඉන්දියාවෙන් ආපු සෙට් එකක් ඒ අපිද? මෙහෙම නොවුනානම් හොඳයි කියන තර්කයෙන් ආපස්සට යන්න ගියොත් අපිට විජය රජ්ජුරුවෝ ආවේ නැත්නම් හොඳයි කියල උනත් කියන්න පුළුවන් කුවේනියගේ කපු කර්මාන්තය දියුණු වෙලා අද ලෝකෙටම රෙදි හදන්නේ අපි වගේ දෙයක්.

    මෙහෙමයි අපි ස්පාඤ්ඤ රටවල යටත් විජිතයක් නොවී එංගලන්තේ යටත් විජිතයක් නොවී තිබුනනම් වෙන්න පුළුවන් මොනවගේ දෙයක්ද? වෙනස් විදියකට ඉතිහාසය සිදුවුනා නම් හොඳයි යන්න තේරුමක් නැති කතාවකි එසේ වුනා නම් වෙන්නේ කුමක්දැයි ඒ කාලයේ ලෝක ඉතිහාසය සමග සමගාමිව හිතා බලන්න.
    දැන්කාලේ සංකල්ප දැනුම වචන(ආර්ථිකය වගේ ) වලින් අතීතය retroactive විදියට නිර්වචනය කරන්න බැහැ.

    වියට්නාමයෙන් දේශසීමා මායිමකින් වෙන්වෙලා තියන කිසිදාක යටත් විජිතයක් නොවුන තායිලන්තය උදාහරණයට ගන්නත් අමාරුයි. අපි ඉන්දියාවෙන් පහුරකින් උනත් එන්න පුළුවන් දුරින් ඉන්නේ. ඒ කාලේ ලෝකේ උනේ රටේ එකරටක වුනත් රාජධානි කිහිපයක් යුද්ධ කරමින් සිටීම කලින් කලට හොඳ වැඩකාරයෙක් ආවම මේවා එකතු කරලා එක රාජධානියක් හැදෙනවා. ඉතින් අපි උඩරට චණ්ඩියාට උඩරට රජු කෝට්ටේ රජු අනුරාධපුර පොළොන්නරු චන්ඩියා බිහිවන පළාත අනුව රාජධානි හැදෙයි හැමදාම කලින් කලට ගහමරා ගනියි අපි අතරේම රාජධානී අතර දකුණු ඉන්දියාවේ වැඩකාරයෙක් රජ උනාම ඇවිල්ල අපිව අල්ලාගෙන රටම දැන් දෙමල කතාකරන රටක් වෙන්නත් තිබුනා. එහෙම නැත්නම් කලකදී එක රජෙක් ලංකාව එක්සේසත් කරලා දෙමළට ගහල ආයෙත් අපි අපි අතරේ විතරක් මරාගන්න තිබුන. ඒ කාලේ ලෝකේ හැම තැනම එහෙම තමයි යුරෝපේ චිනේ කොරියාවේ කොහේ බැලුවත් එහෙමයි කුඩා රාජධානී අතර සටන් වලින් ජයග්‍රහණය කරන රජා අධිරාජ්‍යක් පිහිටුවනවා ඊට පස්සේ ඒ හැම බල ප්‍රදේශයක් තුල ජයග්‍රාහකයාට අයිති භාෂාව ආගම තහවුරු කරනවා.
    ඔබ කියන්නේ වෙන විදියකට උනා නම් හොඳයි කියලද? මුස්ලිම් රජෙක් ඒ කාලේ යුද්ධේ දිනලා අපිවත් අල්ලාගෙන අපි ඔක්කොම දැන් මුස්‌ලිම උණානම් ෂරියා තමයි. එහෙම නැත්නම් දෙමල එළාර වගේ ඊටත් වඩා වැඩකාරයෙක් ආවනම් මොකද වෙන්නේ? අපි කුඩා රටක් විශාල හමුදා හදන්න ශක්තියක් නැහැ ඒ කාලේ ලෝක ඉතිහාසයේ ගමන වෙන්න තියන දෙයක් යුධවලින් ජයග්‍රාහී අධිරාජ්‍ය නැව් හදනවා අපි භාහිරට නිරාවරණය වෙනවාම තමයි.රාවණා ඉපදිලා අපිට ලෝකේ අල්ලන්න පුළුවන් වේවි කියන මතයේ ඔබ නැත්නම් මට අනුව ලෝකේ ඒ කාලේ සටන් වලින් නව නිර්මාණ වලින් යුරෝපය පැරදිලා ආරාබින්ට හරි තම්බි රජෙක්ට හරි දෙමල රජෙක්ට ලෝක බලය කේන්ද්‍රගත වෙලා තම්බි රජෙක්ට හරි දෙමල රජෙක්ට හරි යටත් වෙන්න නොවී ඉංග්‍රීසින්ට යටත් වෙන්න සිදුවීම මට අනුව නම් සිදුවූ හොඳම දෙයයි

  4. //සුදු අධිරාජ්‍යයට විකල්පයක් වී නැති වීම බරපතල ම ඛේදවාචකයයි. //
    ඇයි චීනය ගැන මොකද හිතන්නේ .විකල්පයක් නොවෙයිද?ඇමරිකාව උනත් සටන් කරලා එංගලන්තෙන් නිදහස් වුනා .. අනික දැන් අපේ මුලික අදායම් මාර්ගය තේ පොල් රබර් නොවෙයි අපේම ඔරිජිනල් එකක් අරාබියට වහල් කමට යවන ගෑනුන්ගෙන් ලැබෙන ආදායම තමයි අංක එක.
    // 1970 දශකයේ ශ්‍රී.ල.නි.ප රජය යටතේ ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ටයර් සංස්ථාව ආදිය පිහුටුවමින් මේ වලෙන් ගොඩ ඒමට සාධනීය පියවර ගත්ත ද //
    රාජ්‍ය ආයතන අසාර්ථක වෙලා වලෙන් ගොඩවිම කෙසේ වෙතත් තවත් අගාධයට වැටුණ නිසා නොකරම බැරි හින්ද තමයි මේවා නැතිවෙන්නේ. නැතිව කුමන්ත්‍රණ නොවෙයි. රාජ්‍ය ව්‍යාපාර ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ටයර් සංස්ථාව කියන්නේ ඔයා හිතන අපිව ගලවගන්න ආපු මිතුරෙක් නොවෙයි මාක්ස් කියන තවත් සුද්දෙක්ගෙම සමාජවාදී ක්‍රමයේ වපුරපු මිත්‍යාව වැළඳගෙන කලාපයේ අනිත් රටවල් ඉදිරියට යද්දී අපි වලක පතුලට බැහැපු අභාග්‍ය. ඇමරිකාව එංගලන්තෙන් මිදිලා මෝඩ සමාජවාදී ක්‍රමයට රාජ්‍ය අංශය මගින් ව්‍යාපාර කරන්න නොයා ඇමරිකානු පුරවැසියාට නිදහසේ පුද්ගලිකව ව්‍යාපාර දියුණු කරන්න දුන්නා. එකයි ලෝකේ හොල්ලන නිෂ්පාදන බිහිවුනේ.
    අපිත් කල යුත්තේ පුද්ගලික රටේ ජනතාවට ව්‍යාපාර කරන්න නිදහස හදල දෙන එක රාජ්‍ය මත පරපෝෂිතයෝ වගේ එල්ලිලා ඉන්නේ නැතිව. රජයට බෑ බෑ බෑම තමයි ඔයා කෙතරම් ආගමිකව ඇදහුවත් අද එයාර් ලංකා එකත් පාඩු වෙනවා. අපි කරන්න ඕන උපාලි විජේවර්ධනල වගේ පුද්ගලික නිෂ්පාදකයෝ බිහිවෙන්න රටේ පුරවැසියාට ආර්ථික නිදහස දෙන එක.
    ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැති කමයි අපේ වැරැද්ද. ඔයා පවා හිතන් ඉන්නේ ලෙනින් වගේ යුග පුරුෂයන්ටත් බැරිවුණ රාජ්‍ය අංශයේ සාර්ථකත්වය 70 77 නොකා නොබී අපේ අන්න්දු ආයිත් කලොත් හරි යයි කියල.
    මෝහයෙන් මිදෙන්න නැත්නම් අනාගතයක් නෑ.

    • නෑ මා කියන්නේ එය නොවේ. කුමන අර්ථක්‍රමයක් හෝ පාලන ක්‍රමයක් යටතේ අප රට කාර්මීකරණය විය යුතුයි කියන එකයි මා කියන්නේ. සුද්දාට කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ අපිට ඒ දැනුම ලබාදෙන්න, අපිට එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ – ඔවුන් මෙහේ ආවේ ඒකට නෙවෙයි නේ.
      මගේ අවනඩුව නම් දැන් වසර 65 තිස්සේ අපේ ම පාලකයන්ටත් ඒ දේ කරගන්න බැරිවී තිබීමයි.
      70-77 රජයට ප්‍රසාදය පල කළේ නොකා නොබී ඉන්න සැලැස්සුවට නෙවෙයි. රබර් රට යවනව වෙනුවට කැළණියේ ටයර් හදන්නත්, පුත්තලමේ හුණුගල් වලින් සිමෙන්ති නිශ්පාදනයටත් අතගැසුවේ ඒ රජය නිසා.
      ඔබත් සමහරවිට දන්නවා ඇති ගුවන් යානා වල ආලේපකරන මිල අධික තීන්ත වල අමුද්‍රව්‍යය තමයි ශ්‍රී ලංකාවේ (කහටගහ, කොලොන්ගහ පතල් වලින් ලැබෙන) මින්රන්. සුද්ද ගේ කාලේ ඉදන් අපි කරන්නේ අඩු මුදලට මිනිරන් අපනයනය කිරීම. ඒවායින් ලාබ ලබන්නේ වෙනත් රටවල්.

      • 65 තිස්සේ පාලකයන් පාලකයින් විතරක් නොවෙයි මෝහයෙන් වේලිලා ඉන්න ජනතාවත් මේකට වගකිව යුතුයි.
        මෙන්න මේ ලින්ක් එක බලන්න.
        http://www.divaina.com/2013/03/10/feature05.html

        දැන් මේ පුද්ගලයා අති දක්ෂ ලාංකිකයෙක් ඔහු පවා හිතනවා රජය උදව් කල යුතුයි කියල. මේක තමයි මිත්‍යාව. රජය කලයුත්තේ මේ දක්ෂයා හදන භාණ්ඩ වලට බදු නොගසා වෙළඳ පොලේ ඉල්ලුමක් තියේනම් නිදහසේ විකිනීමට සහ ලාභ ගැනීමට සහ ලාභයේ පුද්ගලික අයිතිය තහවුරු කර දීමයි. මේ පුද්ගලයා වෙනුවෙන් රජය ප්‍රාග්ධනය සපයල රජය උදව්වීම වෙනුවට වෙන්න ඕනෑ මුදල් තියන අය මෙයා හදන නිෂ්පාදනය වෙනුවෙන් මුදල් දාල ආයෝජනය කරන්න මේ වගේ කෙනෙක් එක්ක එකතුවෙලා කොම්පැනියක් දාන්න පුරවැසියන් භය නොවෙන සමාජ පරිසරයක් පුද්ගලික දේපල වල අයිතිය තහවුරු වන අලුත් ව්‍යාපාර ඇරඹීමට සුදුසු වාතාවරණයක් සැදීමයි. බදු අයකරන ආණ්ඩුව මුග්ධ ඇමතිවරු මහන්තත්ත රාජ්‍ය නිලධාරීන් හැමතැනම හරහට ඉන්න රටක මේක වෙන්නේ නෑ. ලංකාවේ ප්‍රධාන සතුරා අති විශාල හැම එකකටම ඇඟිලි ගහන ඇමතිවරු 200ක් විතර මෙගා වියදම් කරන රාජ්‍යයි. ලෝකල් වෙළඳ පොලේ නොවෙයි පිටරට ඉල්ලුම තියන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නවත් සල්ලි දාන්න ආයෝජකයෝ බයයි ලංකාව වගේ දේශපාලුවෝ නිලධාරීන් ඉන්න රටක. මේකයි වෙනස් වෙන්න ඕනෑ. ඔබට මුදල් තියනවා නම් ඔබ බය නැතිව ලංකාවේ ව්‍යාපාරයක් වෙනුවෙන් ආයෝජනය කරනවද? නැහැ ඉඩමක් ගන්න එක ඊට වඩා සේෆ් කියල හිතල ඉඩමක් ගන්නවා නේද ..ඇයි? මෙන්න මේ බිය නැති කලයුතුයි පුරවැසියාගේ ආර්ථික කටයුතු වලට ඇඟිලි නොගහා රජය සහ රජ පවුල් පුරවැසියාට ව්‍යාපාර කරන්න නිදහස දුන්න දවසක පුරවැසියා මේ නිදහස දිනාගත් දවසක ලංකාව දියුණු වෙයි.

  1. Pingback: 70-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a straight forward government | මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................