අරුණි ශපීරෝ‍ වෙතින්

කල්ලි භේද තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය බිඳ දැමීමට පාලන බලය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2013

b8d0cfd7a7394d5bd591a2eab1d318fd

“හොඳින් ගොඩ නඟන යුනියනයක වැදගත් ප්‍රවණතාවයක් වෙන කල්ලි භේද තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය බිඳ දැමීම සහ පාලනය කිරීම කළ යුත්තේ කෙසේද යන්න ප්‍රවේසමෙන් විමසා බැලිය යුතුය. මේ අනතුරුදායක වූ පාපයට ඇති නැඹුරුව දැකීම, ජනප්‍රිය ආණ්ඩු වලට හිතවත් සෑම අයෙක්ව ම තැති ගන්වන්නකි. ඉතින් ඒ නිසා ඔවුන් තමන් ඉතා අගයන නිදහස් සිද්ධාන්තයන් උල්ලංඝනය නොකරන විසඳුමක් ගෙනෙන ඕනෑම සැලසුමකට කැමැත්ත දක්වති.

අස්ථීර බවෙන්, අයුක්තියෙන් සහ අන්දබූත කමෙන් පිරී ඉතිරෙන මහජන කවුන්සිල තමයි ලෝකයේ ඕනෑම තැනක ඇති ජනප්‍රිය ආණ්ඩුවක් මරා දමන මරාන්තික රෝගය. නිදහසට විරුද්ධ වූවන් මේ මහජන කවුන්සිල් දක්වමින් ඔවුන්ගේ වේදිකාවල මහා ව්‍යක්ත ලෙසින් හඬ නඟා, එය රටේ සැබෑ තත්වය සේ දක්වා කියන්නට මහත් වෙහෙසක් ගනිති.

ඇමෙරිකාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාවන් ඉතා අගනා වෙනස්කම් කරමින් පැරණි හා නූතන අනුරූප අනුසාරයෙන් ජනප්‍රිය ආණ්ඩු හදති. ඒවා එතරම් වැඩියෙන් අගය කළ නොහැකියි. ඒවා බලාපොරොත්තු වෙන ආකාරයට අවදානම් සියල්ල ඉතා කාර්යක්ෂම ලෙසින් ඉවත් කරන්නේ යැයි කීම ඒවාට දක්වන පක්ෂපාතීත්වයක් පමණි.

අපේ ඉතා කරුණාවන්ත සහ ස්දගුණවත් පුරවැසියන් පවා, පුද්ගලික හා මහජන යන දෙපැත්තට ම එක හා සමාන ලෙසින් මිතුරු වූ අය, මහජන මෙන්ම පුද්ගලික වූ ස්වාධිපත්‍යයක් අගයන අය ද, පැමිණිලි කරන්නේ අපේ ආණ්ඩු එතරම් ශක්තිමත් නැතැයි කියාය. ඔවුන් කියන්නේ කල්ලි භේද ගැටුම් වල දී මහජන සුවසෙත සැලකීම බැහැර දා ඇතැයි කියාය. නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ සාධාරණ නීති පද්ධතියක් ගෙන ඒම නොව, සුළු ජාතිකයන්ගේ අයිතීන් සලකා බැලීම නොව, අහංකාර මහා ජාතියේ කැමැත්ත අනුව දැඩි බලයෙන් කරන නිර්දේශයන් තීරණය වීමයි.

අපි ඉතා ජ්වලිත ලෙසින් පතන්නේ මේ පැමිණිලි වල කිසිදු පදනමක් නැති වේවා කියාය. එහෙත් සාක්කි පෙන්වන්නේ ඒවා යම් තාක් දුරකට සත්‍යය බවයි.

අවංක සමාලෝචනයක දී දකින්නට හැකිවන්නේ අපිට විඳින්නට සිද්ධ වූ සමහර කම්කටොළු වලට අපි වැරදීමෙන් ආණ්ඩුවේ මෙහෙයුම් වලට දෝෂාරෝපණය කර ඇති බවයි. එහෙත් අපේ දැඩි ම වූ අවාසනාවන්ත අලාබ හානියන් ගැන සලකද්දී, ඒවාට පාදක වූ හේතු අපේ වැරදි යැයි පමණක් කියන්නට කිසිසේත්ම නොහැකියි. විශේෂයෙන්ම දැනට පවතින සහ එන්න එන්නම වැඩිවෙන පුද්ගලික අයිතීන් අහිමි වේ යැයි තැති ගැන්මත්, මහජන කටයුතු ගැන ඇති අවිශ්වාසයත්, ඇමෙරිකාවේ එක කොණක සිට අනික් කොණ දක්වා දිව යන්නකි. කල්ලියකට බෙදුනු පිරිසක් විසින් කරන අයුක්ති සහගත කටයුතු මෙවැනි වාතාවරණයක් ඇති කිරීමට සම්පූර්ණ වශයෙන් නොවන්නේ නම් අඩුගානේ විශාල වශයෙන් තුඩු දෙන්නකි.

යම් පුරවැසියන් පිරිසක් සමාජයේ යහපතට එරෙහිව කටයුතු කරන්නේ නම්, ඔවුන් සුළු ජාතිය හෝ මහ ජාතිය නියෝජනය කරනා අය වුවත්, ඔවුන් අතර යම් සමාන වූ දැක්මක් අනුව හටගන්නා ලාලසයක් අනුව, ඔවුන් අනෙක් පුරවැසියන්ගේ අයිතීන් වලට එරෙහි වන්නේ නම්, සමාජයේ මුළු එකතුවේ ඇති කැමැත්තට පටහැනිව කටයුතු කරන්නේ නම්, එවිට ඔවුන් බෙදුම්වාදී කල්ලියකි.

බෙදුම්වාදී කල්ලියක නොහොබිනා කටයුතු වලට පිළියමක් වශයෙන් ඇති විධි ක්‍රම දෙකකි. එකක් එහි හේතූන් ඉවත් කිරීමයි, අනෙක එහි ප්‍රතිඵල පාලනය කිරීමයි.

බෙදුම්වාදයේ හේතූන් ඉවත් කරන්නට ද විධි ක්‍රම දෙකකි. එම හේතු වල පැවැතීමට අත්‍යාවශ්‍යයම වූ නිදහස අතුගා දැමිය යුතුය. නැත්නම් සෑම පුරවැසියෙකුටම තම මතයන්ට, තම ලාලසයන්ට සහ තම කැමැත්තන්ට ඉඩ දිය යුතුයි.

නිදහස විනාශය නම් වූ පළමු ප්‍රතිකාරය මේ මාරාන්තක රෝගයට වඩා දරුණු වූවකි. බෙදුම්වාදී කල්ලියකට නිදහස යනු ගින්නකට අවශ්‍ය වායුව වැනිය. නිදහසෙන් ලැබෙන පෝෂණය නොමැති නම් බෙදුම්වාදී කල්ලියක් ක්ෂණයෙන් මරණයට පත්වේ. එහෙත් දේශපාලන ජීවිතයට ඉතා වැදගත් වූ නිදහස අහෝසි කිරීම හරියට ගින්නක් නිවා දමන්නට යැයි කියා හුස්ම ගන්නට තිබෙන වායුව ද නැතිකර දැමීම වැනිය.

මේ පළමුවැනි ප්‍රතිකාරය අඥානවන්ත වෙනවා සේ ම, දෙවැනි ප්‍රතිකාරය කිසිම ලෙසකින් කළ හැකි වූවක් නොවේ. මිනිසාගේ විචාරයන් දෝෂ සහගත වෙන්නට ඉඩතිබෙනා තාක් කල්, මිනිසාට විචාරය එසේ පාවිච්චියට ගත හැකි නිසාම, විවිධ මත උපදිනු ඇත. ස්වාර්ථකාමය සහ විචාරය අතර සම්බන්ධයක් තිබෙනා තුරා, මතයන් සහ ලාලසයන් ද එකිනෙකට බලපෑම් කරනු ඇත. විශේෂයෙන්ම ලාලසයන් විසින් මතයන් වෙනතක ගෙන යන්නට උත්සාහ කරනු ඇත.

දේපල අයිතියේ මූලාරම්භය හටගන්නේ ජනතාව වෙතින්. එහෙත් මිනිසා තුල ඇති හැකියාවන් වල විවිධත්වය එක හා සමාන ලෙසකින් අයිතිකරගැනීමට ලැබෙන හැකියාවට දැවැන්ත බාධකයකි. මේ හැකියාවන් ඔහු වෙනුවෙන් ආරක්ෂා කර දීම ආණ්ඩුවේ ප්‍රධාන කාර්ය භාරයයි. දේපල අයිති කරගනු සඳහා වෙහෙසන අයට, ආණ්ඩුවක් විසින් ඔවුන්ගේ වෙනස් වූ අසමාන වූ හැකියාවන් ආරක්ෂා කර දීමෙන්, ජනතාව විවිධ අගයෙන් හා විවිධාකාරයෙන් වූ දේපල අයිති කරගනිති. මේ නානාවිධ දේපල අයිතිය සමාජයක ඉන්නා පුරවැසියන්ව වෙනස් වූ කැමැත්තන් හා වෙනස් සිතිවිලි වලින් වූවන් අනුව විවිධ කණ්ඩයාම් වලට විභජනය කරයි.

කල්ලියක් යනු මිනිස් ස්වභාවයේ ඉතා සත්‍යය වූ කොටසකි. එය වෙනස් වෙනස් තරමින් පිහිටා තිබීම විවිධ අවස්ථා වල දී අපිට දැකිය හැකියි. ආණ්ඩුව ගැනත් ආගම් ගැනත්, එහි ප්‍රායෝගික හා න්‍යාය පිළිබඳවත්, විවිධ මතවාදයන් තිබීම අපිට දැකිය හැකියි. නායකයන් අතර විවිධ අභිලාෂයන් අපට දැකිය හැකියි. මිනිසුන් අතර විවිධ ලාලසයන් අපිට දැකිය හැකියි. විවිධ කැමැත්තන් හඹා යන පුද්ගලයන් යනාදී මේ වෙනස්කම් මිනිස් වර්ගයා සමහර අවස්ථා වල දී කොටස් කොටස් වලට වෙන් කර ඔවුන් අතර දැවෙන ද්වේෂයන් වලින් පුරවයි. ඔවුන්ගේ යහපත වෙනුවෙන් නොව එවිට ඔවුන් එකිනෙකාව තව තවත් පීඩනයට පත් කර ගනිති.

එකිනෙකා කෙරෙහි ඇති වෛරයෙන් උසිගැන්වෙන හැදියාවෙන් යුතු මිනිස් වර්ගයා අනතුරුව ඊටත් වඩා වැදගැම්මකට නැති, සැලකිල්ලට පාත්‍රවිය නොයුතු සුළු දේවල් පවා ප්‍රචණ්ඩ ගැටුම් ඇති කරගන්නට ප්‍රමාණවත් හේතු බව දකියි.

දේපල එක හා සමානව බෙදී නොමැති වීම තරම් කැරලි කෝලාහල පටන් ගන්නට හැකි වෙනත් හේතුවක් නැත. දේපල ඇති අය හා දේපල නැති අය අතර නිතරම දකින්නට ඇත්තේ වෙනස් කැමැත්තන්. එසේම ණය දෙන අය හා ණය ලබාගන්නා අය අතර ද වෙනස් කැමැත්තන් දැකිය හැකියි.

අවශ්‍යතාවය නිසා ශිෂ්ඨාචාර වූ ජාතීන් දේපල අයිතිකරුවන්, කාර්මිකයන්, වෙළඳුන්, බැංකුකරුවන් හා අනෙක් විවිධ වෘත්තීන් වලට යොමු වෙමින්, ඔවුන්ගේ වෙනස් සිතැඟියාවන් සහ වෙනස් දැක්මන් අනුව විවිධ පංති හදති. ඔවුන් අතර පොදු රෙගුලාසිකරණය වර්තමාන නීති සම්පාදනයේ ප්‍රධාන කාර්ය භාරයයි. ඒ නිසා කල්ලි යනු ආණ්ඩුවේ සාමාන්‍ය මෙහෙයුම් අතර කොටසකි.

-මෙහි දෙවන කොටසට මෙතැනින් සහ තෙවන කොටසට මෙතැනින් යන්න.

[ජේම්ස් මැඩිසන් විසින් රචිත මෙම ෆෙඩරලිස්ට් රචනා අංක 10 ප්‍රකාශිත වී ඇත්තේ 1787 නොවැම්බර් 22 වැනිදා.]

ප්‍රතිචාරයක් ලබාදෙන්න