Sinhala story Blog

පෙබරවාරි 23, 2013

කිබිසිනි -ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන වගේ පොත් වල ද?

Filed under: Uncategorized — arunishapiro @ 7:46 පෙ.ව.

මේස ලාච්චුවේ කොණක තැන්පත් කර තිබූ ලියුම් කවරය ලීලාට අමතක වී ගිය ලද්දක් නොවේ.

ඇයගේ උපන් දින වලට, අවුරුදු උත්සව වලට තාත්තා ගෙන් හා නොයෙකුත් ඥාතීන් විසින් තෑගි කරන ලද මුදල් නෝට්ටු වලින් පැරණි ලියුම් කවරය පිරී තිබුණි. එහි මුදල් පාවිච්චියට ගත යුත්තක් ලෙසින් ලීලා සලකා තිබුනේ නැත. ඇය ලාච්චුවේ තිබුණු ලට්ටලොට්ට ඈත් මෑත් කර ලියුම් කවරය අතට ගත්තේ එය පිරී ඇති ආකාරයෙන් සතුටට පත්වෙමින්.

“අම්මා කොහෙවත් යන්නෙ නැත්නම් මම ඉල්ල ගත්තු පොතක් දෙන්න යන්න ද?”

ඇස් කණ්ණාඩි යුගලක් පැළඳ ගෙන තාත්තාගේ කමිසයක් එළලන අම්මා හිස ඔසවන්නේ නැතිවම යාන්තමින් හිස වැනුවාය. පොත දෙන්නට යන්නේ කා ගේ ගෙදරට ද, එහෙ එන අනිත් යාළුවෝ කවුද, කොච්චර වේලාවක් එහෙ ඉන්නවා ද, මොකක් ද ඇඳගෙන යන්නේ යනාදී වශයෙන් ප්‍රශ්න ගණනාක් වෙනදා අසන අම්මා අද යන්න යැයි හඬ පිටකර කීමට පවා විඩාබරිත වී සිටින්නීය.

ගෙයින් පිටතට අඳින ගවුමක් ඇඟ ලා ගත් ලීලා ඒ ගවුම දෙස බැලුවේ පුදුමයෙනි. සෑහෙන දවසකින් වත්තෙන් පිටට අඩියක් නොතැබුවත් අපූරු ගමන් යන්නට ඇය සමත් වී තිබුණි. මයුරීට දෙනු පිණිස ඇය ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා පොත තවත් පොත් දෙකක් මැද්දේ හිර කරගත්තාය. ලියුම් කවරයෙන් ගත් මුදල් නෝට්ටු කිහිපය පන්කොළ පසුම්බියක දමාගත්තාය.

ඇය අම්මාට දණගසා වැඳ නිවසින් පිට වී ගියේ මයුරිලාගේ ගේ ළඟ සීනි ගන්න කඩයක් ඇත්දැයි කල්පනා කරමිනි.

“මාත් එනවා බේබි, නෝනා කිව්වා බේබි එක්ක ගිහින් එන්න කියලා.”

හති දමමින් කුඩයක් ඔසවා ගෙන මෙහෙකාරිය ඇය පසුපසින් දුව එයි.

“පොඩ්ඩක් කල් ඇතිව කිව්වා නම් යනවා කියලා, මට චීත්තෙ විතරයි මාරු කරගන්න ලැබුනෙ,” ඇය පැමිණිලි කරයි.

“සීනි ඕන කියල දවස් ගාණක් නැහැයෙන් අඬනවා .. ඊ ළඟට ගේන්න යද්දීත් මළ කරදරේ,” ලීලා කීවේ සිනා වෙමිනි.

මෙහෙකාරිය නොරිස්සුම් ලෙස අහක බලාගත්තාය. ලීලා අඩිය ඉක්මන් කළාය. ඇය ද අඩිය ඉක්මනින් තියන්නට ගත්තාය. ලීලා විගසින් ගොස් හිටිහැටියේ හිමිහිට අඩි තැබුවේ මෙහෙකාරියට ඇයව පසුකරගෙන යන බව නොදැනෙන්නටය.

“ඒ ගමන සීනි රහ මතක් වෙලා ද කොහෙද මාවත් දාලා යන්න හදනවා!”

“බේබිට විහිළු,” ඇය අමනාපයෙන් වූ මුහුණ වෙනස් කරමින් සිනාවක් පෑවාය. ලීලා එනතෙක් ඇය නැවතී බලා සිටියාය. ලීලා තවත් හිමිහිට අඩි තබමින් ඇය වෙත ගියේ ඇයව සිනා ගස්සවමිනි.

“නෝනා කතාබහක් නැතිවුනාම මුළු ගෙදරම පාළුයි. කෝ බේබි හිටියා කියල පොත්වලම එබිලා ඉන්නවා මිසක් අපිත් එක්ක කතා කරනවායෑ.”

“අම්මා සීනි ගන්නෙ කොහෙන් ද?” ලීලා කතාව වෙනතක ගෙන ගියාය.

“නෝනා යන්නෙ හංදියෙ සියදෝරිස් අයියලැයි කඩේට. ඒත් ටවුමේ මාකට් එක ඇතුලෙ තියෙන සතොසෙන් ගන්න පුළුවන් මෙතෙන්ට වඩා ලාබෙට. ටිකක් දුරයි.”

“මයුරිගෙ ගෙදර ගිහින් පොතක් දෙන්න තියෙනවා. ඊට පස්සෙ අපි බස් එකක නැඟලා යමු ටවුමට.”

ඔවුන් දෙදෙනා මයුරිලාගේ ගෙදරට ගොඩවෙද්දී තලතුනා කාන්තාවන් කිහිප දෙනෙක් සාලයේ රැස්වී බර කතාබහක යෙදී සිටියහ. මයුරිගේ කාමරයට ගිහින් ඇයට පොත බාර දී කඩේ යන්න තියෙනවා යැයි ලීලා ඒ නිවසෙන් පැනගත්තේ වැඩිහිටියෙක් පොතේ නම අහාවි යැයි බිය වූ නිසයි.

සෙනඟ පිරිච්ච බසයක එල්ලී ගත් දෙදෙනා ටවුමෙන් බැස්සේ දහදිය ඉහින් කනින් පෙරාගෙන. ආපහු යන්නට අවශ්‍ය බස් ගාස්තුව වෙන්කර තබාගත් ලීලා ඉතිරි මුදල් සියල්ලෙන් ආහාර මිල දී ගත්තේ මෙහෙකාරියගේ උවදෙස් වලට සවන් දෙමිනි. අල්ලා ඔබා අතේ කිරා යමක හොඳ නරක සොයන හැදියාවක් ඇයට තිබුණි. එසේම ගෙදර අගහිඟය දන්නා ඇය ලීලා ලවා අනවශ්‍ය දේ මිල දී ගන්නට උත්සාහ කළේ ද නැත.

පොත් දෙක එක අතකට ගත් ලීලා අනෙක් අතෙන් බඩු පිරුණ මල්ලක් ද ඔසවා ගත්තාය.

“මට අරන් යන්න ඇහැකි බේබි, ඕකත් දෙන්න මෙහාට” මෙහෙකාරිය කියයි.

ලීලාට එය ඇසුනේ නැත. ඇය බලාගෙන හිටියේ පුස්තකාලයට යන පාර යැයි පාර අයිනේ ගසා තිබූ පුවරැවක් දිහා. පුස්තකාලයට යන පාර දිගේ ගියාම පුස්තකාලයට යන්න පුලුවන්. පුස්තකාලයට ගියාම පොත් ගැන හොයාගන්න පුලුවන්. ලේඩි ෂැටර්ලි කතාව අරුම පුදුම ගමන් වල දී තාත්තා ගිය තැනක් නම්, ලීලා ගිය තැන්වල විස්තරයක් කිව්වොත් ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන වගේ පොත්වල දැයි පුස්තකාලයාධිපති කෙනෙක් ගෙන් දැනගන්නට පුලුවන් ද?

ලීලා ඉක්මනින් අඩිය තැබුවේ පුස්තකාලයට යන පාර දෙසට.

තමනට නැවතත් විහිළු කරනවා යැයි සිතූ මෙහෙකාරිය ලීලා බස් නැවතුම්පොල පසුකරගෙන යන දෙස බලා සිටියා මිසෙක ඇය හා එකට එක අඩිය තියන්නට නොගියාය. එහෙත් ලීලා ආපසු නොබලාම දිගටම කඩිනමින් යන හැටි දුටු ඇය බඩු මළුත් උස්සාගෙනම ලීලා හා එක්වන්නට හති දමමින් දිව ගියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.