ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (අවසාන අතරමංවීම)

Posted: February 18, 2013 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts
Tags: , , , ,

බොට්ස්වනාවත පය තැබූ පලමු අතරමන් වීම මෙතැනින්

ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම)

 
මෂාටු වනපෙතේ දෙවන අතරමන් වීම මෙතැනින්

ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම)

—————————————————————————————————————————————————————-

ඇගපත සෝදාගත් අපි රාත්‍රී ආහාරය වෙනුවෙන් නැවතත් ප්‍රධාන කඳවුරු භූමියට පිවිසීමු.විදුලි ආලෝකයෙන් දූෂිතව නොතිබූ අපූරු පරිසරය එළිය කළේ, ලන්තෑරුම් ඉටිපන්දම සහ සඳ එළියයි. එදින පොහෝ දිනයක්දැයි අපට අවබෝධයක් නොතිබූ නමුත් මුළු වනයම එකලූ කරමින් සඳ පායා තිබුණේ අපගේ ගමනට අපූරු චමත්කාරයක් එක් කරමිනි.
රාත්‍රී ආහාරය සූදානම් කර තිබුනේ ඒ සඳ කිරණින් එළිය වුනු එලිමහනකය.අඩ සඳක ආකාරයට මේස සකසා ඉටිපන්දම් එළි දල්වා තිබූ ඒ කෑම මේසය සැබෑ ඉටිපන්දම් එළි රාත්‍රී ආහාරයකි.(candle light dinner) විවිධ මස් වර්ග, එලවලූ වර්ග මෙන්ම අප්‍රිකානු ආවේනික කෑම වලින් කෑම මේසය පිරී තිබිණ. ඒ සියල්ල අපි පෙරේත කමින් අවසන් කෙරුවේ එහි ඇති රස නිසාම මෙන්ම ඒ අත්දැකීමේ තිබුණු අපූර්වත්වයද හේතුවෙනි.රාත්‍රී ආහාරය ගත් එළිමහන් පෙදෙසට ඈතින් සද්ධන්තයෙකු සැරි සරනු අපට සඳඑළිය අතරින් පෙනිණ.එමෙන්ම කැලෑව පීරාගෙන දුවන වල් ඌරන්ගේ හඩ අපට ලබා දුන්නේ සැබෑම වූ අප්‍රිකානු වන සෆාරියක අත්දැකීමකි.අප මේ වෙනුවෙන්  වියදම් කළ සතයක හෝ නොවටිනාකමක් නැතැයි අපට එවෙලේ සිතිණ.

රාත්‍රි ආහාර මේසය

රාත්‍රි ආහාර මේසය

ලන්තෑරුම් එලියෙන් දිලෙන කෑම මේසය

ලන්තෑරුම් එලියෙන් දිලෙන කෑම මේසය

රාත්‍රී ආහාරයෙන් පසු අපි කෙළින්ම අපගේ නවාතැන් වලට ඇදුනෙමු.ගත ගල් කරනා සීතල සුළග නිදි දෙව්දුව අප වෙත ඉක්මණින් ළං කලේය..ඇඳ උණුසුම් කිරීමට තිබූ උණුසුම් වතුර බෑගය පැයකටත් අඩු කාලයෙන් සීතල වී ගියේ ලිංපොපෝ නිම්නය වෙළාගෙන තිබූ සීතලේ තීව්‍ර බව අපට පසක් කරමිනි.

හරියටම උදෑසන පහයි තිය වනවිට කඳවුරේ නියෝජිතයෙක් අප සොයා පැමිණියේය.උදෑසන හය වන විට ප්‍රධාන කඳවුරු භූමියට යා යුතුව තිබුණේ උදෑසන සෆාරියට සහභාගී වීමටයි.ප්‍රධාන කඳවුරු භූමියෙන් උණු තේ කෝප්පයක රසවිඳි අපි නැවත ජිප් රියට නැගගත්තේ වෙනමම වූ අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණෙනි.

උදෑසන දැඩි සීතල අතරින් ඇදී යන ජිප් රිය තුළ අප සිරුරු ගල් වී තිබිණ.ඇස් පමණක් නිරාවරණය වන පරිදි මුළු ඇගම ආවරණය කරගෙන සිටි අප වඩාත් සමීප වූයේ තලෙයිබාන් සටන් කරුවන්ටයි. ලිංපොපෝ නිම්නයේ සීතල කොතෙක්ද යත් විවෘත භූමිය හරහා සිහිල් සුළග හමායන හෝ හෝ හඩ අපගේ ගමනේ ත්‍රාසජනක බව තීව්‍ර කරවීය.

තලේබාන් සටන් කරුවො

තලේබාන් සටන් කරුවො

උපට මූළින්ම හමුවූයේ ඊලන් කුලු  හරකෙකි. ඊලන් ස්වභාවයෙන්ම ලජ්ජාකාරයකු වන බැවින් සෆාරි රියේ ශබ්දය ඇසුණු වහා ඈතට දිවයයි.නමුත් උදෑසන මුන ගැසුණු ඊලන් හරකා අප ගැන වැඩි තැකීමක් නොකළ බැවින් ඔහුව හොදින් අධ්‍යනය කරන්නට අපට හොඳහැටි ඉඩ ලැබිණ.

ඊලන් හරකා සිටි තැනට මදක් ඔබ්ඛෙන් භූමිය හරහා මලකුණක් ඇදගෙන ගිය සලකුණු පෙනෙන්නට වූයෙන් රථය එම සලකුණු ඔස්සේ කැලය තුළට ධාවනය කරන්නට අප රියදුරා උත්සුක වීය.රළු නොවුනු කැලයේ එක් තැනකින් භූමියේ වූ සලකුණු නැවතී තිබුණු අතර ඒ අසළම වූ මධ්‍යම ප්‍රමාණයේ ගසක දෙබලක අඩක් කා ඉතිරි වුණු ඉම්පාලා සතෙකුගේ මලකුණක් අපට දැකගත හැකි විය. මෙම දඩයම දිවියෙකුගේ බවත් දිවියා ඒ අසළම සිටිය යුතු බවටත් අප සමග ගිය මග පෙන්වන්නා අනුමාන කළේය.ඒ අනුමානය මත ඒ පෙදෙස දෙස ඉතා ඕනෑකමින් බලා සිටියත් දිවියා සොයාගත නොහැකි විය. එහෙයින් අපි නැවතත් සීතලේ ගැහෙමින් ගමන් ඇරඹීමු.

දිවි ගොදුර තිබූ තැනට මදක් ඔබ්ඛෙන් අප ජීවිතයේ විඳි අපූර්වතම සෆාරි අත්දැකීම විඳීමට අපට හැකිවිය¡.වනයේ දැවැන්ත ගොළුවන් වූ ජිරාෆ් සතුන් අටක් පමණ රංචුවක් ආහාර බුදිමින් සිටි ඒ දර්ශනය අප ගමනට සැබෑ අපූර්වත්වයක් එක් කළේය.වරෙක තම දිගු ඛෙල්ල තවත් දිගු කරන්නට උත්සාහ කරමින් ගස් මුදුන්වල ලා දලූ ආහාරයට ගනිමින් සිටි ඔවුන් අහිංසකත්වයේ සැබෑ ප්‍රතිමූර්තියන්ය. අපි වාහනය නවතා ඔවුන් දෙස බොහෝ වේලා බලා සිටියෙමු.ඔවුන්ගෙන් ඇතැමෙක් බොහෝ විමසිල්ලෙන් අප දෙස බැලූවේ කොයි මොහොතේ හෝ අපෙන් තර්ජනයක් වේදෝයි කල්පනා කරමින් විය යුතුය.

වනයේ ගොලුවො..ජිරාෆ්

වනයේ ගොලුවො..ජිරාෆ්

අපි ජිරාෆ් පසුකර තවත් ඉදිරියට ඇදුනෙමු. දෙපසින්ම කඳු සහික බවක් පෙන්වූ මිටියාවතක් බදු පෙදෙසකට සෆාරි රිය ළගා විය. ඉතා විශාල අලි රංචුවක් නිදැල්ලේ ඔබමොබ සැරිසරමින් සිටි අතර දෙපස වූ කඳු වල සෑම තැනම වුන් සද්ධත්තයන් අපට මතක් කර දුන්නේ ජුරාසික් පාක් චිත්‍රපටයයි. මෂාටු භූමිය පිහිටි ටූලි පෙදෙස දැවැන්තයින්ගේ භූමිය (land of the giants) ලෙසින් ඇතමුන් හඳුන්වන්නේ ඇයිදැයි අපට වැටහුනේ එම දර්ශනය දැකීමෙන් අනතුරුවය.

අලි අතරින් අපි ඉදිරියේ වූ මිටියාවතට පිවිසීමු.හාත්පස හොඳින් පෙනෙනා විවෘත භූමියක් වූ එම ප්‍රදේශය හරහා හැමූ සුළග වඩාත් සීතල බවක් ඉසිලීය.අප මේ යන්නේ චීටාවන් සොයා බව අපගේ රියැදුරු පවසා සිටියේය. පෙර දිනයේදී චීටාවන් පහක පමණ රංචුවක් එම පෙදෙසේ සිටි බවත් එම අනුමානය මත එම ගමන යන බවත් ඔවුන් පවසා සිටියහ. නිම්නය දිගේ බොහෝ දුර ගමන් කළත් චීටාවන් හමු නොවුනු නිසා බලාපොරොත්තු කඩ වූ සිතින් අපි නැවත රිය හරවා ගතිමු.ඒ ගමන තුළ අලූත් සතෙකු ලෙස අපි දැක්කේ සුදු පිටැති අප්‍රිකානු නරියා පමණකි.ඊට අමතරව නැවත හරවාගෙන එන අතරතුර තවත් ජිරාෆ් සතුන් දෙදෙනෙකුද ඉම්පාලාවන් දහස් ගණනක්ද මුන ගැසින.නැවත හරවාගෙන එන ගමන විශාල මෂාටු ගසක් අසළ රිය නැවතූයේ පරිසර ස්වභාව සෞන්දර්යය විඳිනා අතරම උණුසුම් කෝපි කෝප්පයක් රස විඳින්නට හොඳම වේලාව එය වූ බැවිනි.ගත ගල් කරමින් විවෘත භූමිය හරහා ඇදී ගිය සුළගට මෂාටු ගස සෙලවිය නොහැකි වුවත් මෂාටු ගස යට එකතු වුණු සීතල අප උණුසුම් කෝපි කෝප්පය ඉක්මණින්ම සීතල කරන්නට සමත් විය.

අපි නැවතත් රියට ගොඩ වූ අතර, එය උදෑසන සෆාරි ගමනේ අවසාන අදියර බව රියැදුරු අපට දන්වා සිටියේය.එය තරමක් දුක් දායක ආරංචියක් වුවත් ලබාගත් අත්දැකීම් වල වටිනාකම මෙනෙහි කරමින් අපි සැනසීමු. නමුත් එක්වරම මට ප්‍රශ්නයක් මතු වූයේ මා බොහෝ ප්‍රියකළ පැස්බරාවකු මේ සෆාරි ගමන් දෙකේදීම මුන නොගැසුනු බැවිනි. එහෙයින් මම පසුපස හැරී අපට මග පෙන්වන්නාගෙන් ඒ බව විමසා සිටියෙම්.

Do you have “‏‏Pasbara” here in Mashatu?

මග පෙන්වන්නා තුෂ්ණිම්භූතව මා දෙස බලමින් ‘what’ කියමින් ඇසුවේ මා ඇසූ ප්‍රශ්නයේ යම් වරදක් ඇති බව මට පසක් කරමිනි. ඒ ක්ෂණයෙන් පැස්බරා යනු ඉංග්‍රීසි වචනයක් නොවන බව මට වැටහුනේය. ඒ වන විටත් මගේ ප්‍රශ්නය නිවැරදි කරන්නට මා මිතුරිය ප්‍රභා සමත් වී සිටියාය.

කෙසේ නමුත් අදටත් මා ඇසූ පැස්බරා ප්‍රශ්නය මතක් කර හිනැහෙන්නට ඔවුන් අමතක නොකරයි.කෙසේ නමුත් ප්‍රශ්නයට පිළිතුර වූයේ පැස්බරාවන් බොහෝ සෙයින් සිටින නමුත් අප ඔවුන් දකින්නට තරම් වාසනාවන්ත නොවූ බවයි.

අපි තරමක් උස් වූ ගස් සහිත කැලෑ පෙදෙසක් අතරින් ගමන් ගතිමු. උදෑසන තම රාජකාරි සඳහා පිටව යන අපූරු කුරුල්ලන් බොහොමයක් අපට මුණ ගැසිණ. අප ගමන් මග පෙන්වන්නා ඔවුන් කවුදැයි විස්තර කළ මුත් කුරුල්ලන්ගේ නම් මතක තබා ගන්නට තරම් අවශ්‍යතාවයක් එවෙලේ නොතිබීම ගැන දැන්නම් සිතේ ඇති වන්නේ දුකකි. කුරුල්ලන් පසු කරමින් නැවතත් එළිමහන් පෙදෙසකට රිය ළගා විය. එම පෙදෙස තරමක් හුරු බවක් පෙනෙන්නට වූ අතර නාසය හාරාගෙන යන දැඩි දුර්ගන්ධයක් ද ඒ අතරින් ගලා එන්නට විය.

එම පෙදෙස පෙර දිනයේ සිංහයන් මරා දැමූ ඊලන් හරකාගේ මලකුණ තිබූ පෙදෙසම බවත් නරක් වූ මල සිරුර ඒ වන විට ගිජුලිහිනියන්ගේ ආහාරය බවට පරිවර්තනය වී ඇති බවත් අපට දැකගන්නට ලැබිණ.ඒ සමගම අප රියට ඔබ්ඛෙන් සියයක පමණ ගිජුලිහිණි රංචුවක් වටකරගත් මල සිරුර දැකගන්නට අපට හැකි විය.මදක් වේලා එහි රැඳී සිටි අපි නැවත ගමන් ඇරඹීමු. ඉන්පසු රියැදුරා අපිව රැගෙන ගියේ හයිනාවන් සිටීයැයි ඔවුන් සැක කරනා ස්ථානයකටය.

ඊලන් මලකුන වටකරගත් ගිජු ලිහිනියො

ඊලන් මලකුන වටකරගත් ගිජු ලිහිනියො

සැක කරනා ස්ථානයට පැමිණෙන විටත් එක් හයිනාවෙකු එතැන සිටි අතර පොළවේ දක්නට තිබූ ගුල්වල හයිනා පිටවුන් සිටිනා බව මගපෙන්වන්නා අපට පැවසීය.අපි මදක් රැදී සිට බලාගන්නා අතරතුර තවත් හයිනාවන් පහක් පමණ සෙමෙන් ඒ දෙසට පැමිණෙන්නට විය. ස්වභාවයෙන් තරමක් බල්ලෙකුගේ හැඩය ගත් හයිනාවන්ට තිබුණේ පහත් වූ පසුපස කොටසකි.එමෙන්ම හයිනාවන්ට සිංහයින්ටත් වඩා දරා ගැනීමේ ශක්තිය ඇති බවද ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ වෙනත් සතකු විසින් මරා දැමූ මලකුණු ආහාරයට ගැනීමට බව අපට දැනගන්නට හැකිවිය.

හයිනාවො

හයිනාවො

හයිනාවන්ගේ වාසභවන අසළ මිනිත්තු විස්සකටත් වැඩි කාලයක් රැඳී සිටි අපි නැවත ගමන් ඇරඹීමු. ඒ වන විට වේලාව උදෑසන 10ට ළං වී තිබිණ. නැවත අපගේ නවාතැනට ළං වන අතරමගදී ගිනිකුකුලන් සියයකට වැඩි රංචුවක් මුන ගැසින.හරියටම උදෑසන 10වනවිට අපි නැවත ප්‍රධාන කඳවුරට ළගාවීමු. ඊළගට ඉතිරිව තිබුණේ උදෑසන ආහාර ගෙන මෂාටු කඳවුරට සමුදීමයි.රසවත් ප්‍රණීත උදෑසන ආහාර වේලකින් සප්පායම් වුණු අපි අපගේ බඩු බාහිරාදිය අසුරා ගත්තෙමු.මෂාටු කඳවුරේදී ආහාරයට ගත් අප්‍රිකාණු පාන්ගෙඩියේ රස කොතෙක්ද යත් පසුව හැබරෝනි නගරයේ සියලූ සුපිරි වෙළඳසැල්වල අපි එය සෙවීමු.නමුත් එය සොයාගැනීමට නොහැකි විය.

සියලූ බඩු අසුරා සියලූ ගෙවීම් සපුරා අපි නැවත ජිප් රියට නැග්ගේ සිත් කොනේ මෝදු වූ පුංචි දුකක්ද සමගය.අපි්‍රකානු මහ වන මැද මිතුරන් වූ සුන්දර බොට්ස්වානා සගයන්ට සමු දී අපි සද්ධන්ත මෂාටු ගස් අතරින් නැවත ලිංපොපෝ ගුවන් තොට වෙත ගමන් ගතිමු.ඒ ගමන අතරමගදී තවත් විශාල ජිරාෆ් රංචුවක් අපට හමුවිය.අප රැගත් රිය ලිංපොපෝ ගුවන් තොටට පැමිණෙන විට වේලාව සවස 2පමණ වී තිබිණ.අප කුළියට ලබාගත් වාහනය ලිංපොපෝ ගුවන් තොට පරිශ්‍රයේ සුරැකිව තිබිණ. ජිප් රියෙන් අප අඩුම කුඩුම බා ගන්නා අතරතුර ගුවන්තොට පරිශ්‍රය තුළ අපි සෙමෙන් ඇවිද්දෙමු.අප්‍රිකාවේ මහ වනයක් මැද පිහිටා තිබූ මෙම ප්‍රාදේශීය කුඩා ගුවන්තොට බොහෝවිට භාවිතා කරන්නේ පෞද්ගලික ගුවන් ගමන් සඳහා බව එහිදී අපට දැනගන්නට ලැබිණ.එමෙන්ම තවත් මිනිත්තු පහළොවක් ඇතුළත එවන් ගුවන් යානයක් ගුවන් තොටට ළං වන බව එහිදී හමු වූ සිම්බාවේ ජාතික කළමනාකරුවා අපට දැන්වීය. එම ගුවන් යානය පැමිණෙන තුරු අපි පොඩි එවුන් මෙන් බලා සිටියේ එය වෙනමම අත්දැකීමක් වූ බැවිනි.

මෂාටුහි කළමනාකරු සමග

මෂාටුහි කළමනාකරු සමග

මද වේලාවකට පසු අප බලාපොරොත්තු වූ යානය ගුවන් තොටට ළගා විය. දකුණු අප්‍රිකාවේ සිට සංචාරකයන් පිරිසක් රැැගන පැමිණි එය ඉතා පැරණි නමුත් ප්‍රෞඩ වූ යානයකි.ගුවන් තොටක ගුවන් යානයක් ගොඩබානා තුරු එතරම් ළගින් සිටින්නට වෙන කිසිම ගුවන් තොටකදී අවස්ථාවක් නොලැඛෙන බව දත් නිසා අපි බොහෝ උද්දාමයට පත් වී සිටියෙමු.තවත් පමා වුවහොත් හැබරොනයට යෑමට පමාවනු ඇතැයි අප රියදුරා අපට අනතුරු ඇගවූ හෙයින් අපි අකමැත්තෙන් වුවත් ගුවන් තොටට සමු දීමට තීරණය කළෙමු.

ඒ වනවිටත් ලිංපොපෝ ගුවන් තොට වාර්ෂික බයිසිකල් සවාරියකට සූදානම් වෙමින් තිබිණ.මෙම වාර්ෂික බයිසිකල් සවාරියේදී ස්වේච්ඡා බයිසිකල් කරුවන් දහසක් මපණ ලිංපොපෝ ගුවන් තොටේ සිට සිම්බාවේ දේශය තෙක් කැලය මැදින් බයිසිකලයෙන් ගමන් ගන්නා බව එහි සංවිධායකයෙක් අපට පැවසීය.එම බයිසිකල් කරුවන් වෙනුවෙන් කූඩාරම් දාහක් පමණ ඒ වනවිටත් ගුවන් තොටේ ඉදිකර තිබිණ.

අපි ලිම්පොපො ගුවන් තොටේ

අපි ලිම්පොපො ගුවන් තොටේ

ගුවන් යානය අසලටම ගිහින්

ලිම්පොපො ගුවන් තොටේ කූඩාරම්

ලිම්පොපො ගුවන් තොටේ කූඩාරම්

අපි වාහනය නැවත හරවා ගතිමු.අපි අපූරු අත්දැකීමක් එක්කර දුන් මෂාටු භූමියත් ලිංපොපෝ ගුවන් තොටත් සෙමෙන් නොපෙනී යයි. නමුත් වන අසිරියේ අවසානයක් නැත. පාරේ වම් පසට වන්නට තවත් අලි රංචුවක් සහ පැස්බරාවන් කීප දෙනෙක් දැකගන්නට අපට හැකිවිය.නැවත බොබොනාංග් ප්‍රධාන මාර්ගයට පිවිසීමට පෙර තිබූ ලී වැටක් අසළ වාහනය නවතා ඉන් බැස යාමට අපට සිදුවිය. වාහනයත් අපිත් ඛෙහෙත් වතුර ගැල්වූ කුඩා කාණුවක් මතින් ගමන්ගත යුතු විය. එසේ කරනු ලබන්නේ හරකුන්ට වැළඳිය හැකි කුර රෝගයක් පාලනය කිරීමේ අටියෙන් බව රියදුරා අපිට පැහැදිලි කර දුන්නේය. මහලාපේ සිට හැබරෝනය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ තැනකත් එවැනිම අත්දැකීමක් විඳීමට අපට සිදුවිය. බොට්ස්වානාවේ ප්‍රධාන ආදායමක් වූ හරක් මස් අපනයනය සඳහා ලෙඩ රහිත සෞඛ්‍යමත් සතුන් භාවිතා කළ යුතු වූ බැවින් එම සෞඛ්‍යමත්භාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රියුරා තවත් පැහැදිලි කර දුන්නේය. කෙසේ නමුත් එයින් අප අත්දැකීම් ගොන්නට තවත් අත්දැකීමක් එකතු විය.ගම් නගර එකින් එක පසු කරමින් අපි නැවත මිනිස් ශිෂ්ඨාචාරයට පිවිසීමු. සැබෑ හරිත වන් වනය වෙනුවට මිනිසා ගොඩනැගූ කොන්ක්‍රීට් වනාන්තරය වෙත අපි නැවත ළගා වීමු. දූෂිත වාහන දුමත්, විදුලි ආලෝකයත් අපි සමවැදී සිටි වනගත ධ්‍යානයෙන් අපය ක්ෂණයෙන් ගලවා දැමුවේය. රාත්‍රී 11පමණ වන විට අප නැවත හැබරෝනයේ ප්‍රධාන නගරයට සේන්දු වීමු.එතැන සිට නැවතත් හැල්මේ දිවීමු. බොට්ස්වානාව තුළ තවත් මසකට වැඩි කළක් රැඳී සිටි අපි එහි ගිය රාජකාරි කටයුත්ත සාර්ථක ලෙස නිමවා සැප්තැම්බරයේ ලක්දිවට පැමිණියෙමු.

 

—————————————————————————————————————————————————————

ප.ලි – බොට්ස්වානාවේදී අපට බොහෝ ශ්‍රී ලාංකිකයන් මුණ ගැසින.විවිධ රාජකාරි කටයුතු සඳහා එහි ගොස් සිටි ඔවුන් තුළ සැබෑ ශ්‍රී ලාංකිකත්වය ගැබ් වී තිබුණේය.අඩුම ගණනේ වචනයකින් හෝ අපට සංග්‍රහ නොකළ ශ්‍රී ලාංකිකයෙක් එහිදී අපිට මුණ නොගැසින. මේ අතරින් මීට තිස් වසරකට පමණ පෙර සිට බොට්ස්වානාවේ පදිංචි ශ්‍රියානිමාලා රවින්ද්‍රන් සහ රවී රවින්ද්‍රන් යුවල අපට සැලකුයේ ඔවුන්ගේම දරුවන් ලෙසිනි.බොට්ස්වානාව තුළදී ඔවුන්ගේ නිවස අපගේද නිවස වූයේය. ඒ ලබාදුන් ආගන්තුක සත්කාරයට මේ ලිපිය  උපහාරයක් වේවා. එමෙන්ම කපිල, ධම්මික, මහාචාර්ය කෙහෙල්පන්නල ඇතුලූ එහිදී මුණගැසුණු අනෙකුත්සොඳුරු ශ්‍රී ලාංකිකයන්ටත් මේ ලිපිය උපහාරයක් වේවා.අවසානයේ රාජකාරි කටයුතු සඳහා බොට්ස්වානාවට ගියත් එහිදී එකම සොයුරු දමින් බැඳී සිටි යොහාන්,ජුලියන්, ප්‍රභා, සහන් සහ මෛත්‍රීවත් මතක් කරමින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතරින් නික්මෙමි.අවසරයි.!!

 

ශ්‍රියානිමාලා රවීන්ද්‍රන් සහ රවී රවීන්ද්‍රන් සොදුරු ශ්‍රි ලාන්කිකයින් දෙදෙනා සමග.

ශ්‍රියානිමාලා රවීන්ද්‍රන් සහ රවී රවීන්ද්‍රන් සොදුරු ශ්‍රි ලාන්කිකයින් දෙදෙනා සමග.

Blog Tatoo

Comments
  1. kkrox says:

    අපුරු විස්තරයක් හොදටම තියනවා මගේ බ්ලොග් එක පැතෙත්ත් ඇවිල්ලා බලන්න මම වැඩ කරන්නෙත් ඔබ තුමා වැඩ කරන තැනම තමා 🙂

  2. Gayan Sri Garusinghe says:

    බොහොම සන්තොසයි සයිබර් අවකාෂයේ මුන ගැසුන එක ගැන.හෙට එහෙනම් කැෆේ එකෙදි සෙට් වෙමු. :).

Leave a comment