සුන්දර බොට්ස්වානාවට පය ගැසූ පළමු අතරමන් වීම මෙතැනින් කියවන්න.
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම)
———————————————————————————————————————————–
මුල්ම ප්‍රශ්නය වුනේ ගමනාගමනයයි.හැඹරොන් නගරයේ සිට කිලෝමීටර 500කට එහා දුරකින් පිහිටි ලිංපොපෝ නිම්නයට අප යා යුතුව තිබුණ.රියැදුරෙක් සහිත රථයක් අපගේ එදිනෙදා ගමනාබිමනය වෙනුවෙන් අපට ලබා දී තිබුනත් එය මෙම පෞද්ගලික ගමන සඳහා භාවිතා කිරීමට අපට අවසර නොතිබිණි. එහෙයින් වාහනයක් සපයා ගත යුතු විය. බොට්ස්වානාවේ ප්‍රසිද්ධ වාහන කුළියට දීමේ ආයතන කීපයකට කතා කීරීමෙන් පසු අපට අවැසි මෙන්ම අත ඇති මුදලට සරිලන වාහනයක් සපයා ගැනීමට අපට හැකි විය.
සැලසුම් කරගත් පරිදි සති අන්තයේ සෙනසුරාදා දිනෙක උදෑසනින්ම අපි හැමරෝනයෙන් පිට වීමු. උදෑසන හය පසුවන විට වැටුණු ලාහිරු කිරණින් සුන්දර අප්‍රිකාව උද්දීපනය වන මොහොතක අප සිව්දෙනා රැගත් මෝටර් රිය බොට්ස්වානාවේ නගරබද පෙදෙස් පසුකරමින් සත්‍ය අප්‍රිකානු ගම්බද පෙදෙසක් වෙත ඇදෙමින් තිබිණ.
අපගේ මාර්ගයේ වැටී තිබුනේ මහලාපේ, පලාපේ නගර සහ බොබොනොංග්, මොතමැංග් යන ගම්මාන පසුකරමිනි. මපාටු ගමන ගොස් නැවත පැමිණෙන තුරු අප දැන නොසිටි කරුණක් පසු දිනෙක කාර්යාලයේ සගයෙක් අපට එලි කළේය. ඒ බොබොනොංග් යනු මුළු අප්‍රිකාවේම ප්‍රසිද්ධ මායාකරුවන්ගේ ගම්මානයක් බවයි¡ එහි වෙසෙන මායාකරුවන් වශී මෙන්ම වස් මායාවන් සඳහා ඉතාමත්ම ප්‍රසිද්ධියක් උසුලන බවට පැවසූ වදන් අප සිත තුළ පුංචි බියක් ඇති නොකලාද නොවේ. ඊට හේතුව අපි බොබොනොං වලදී වාහනය නවතා පාරේ යන්නවුන්ගේත් වටපිටාවේත් ඡායාරූප ගැනීමයි.
බොබොනොං වලින් පසුව අපට ගමන් මාර්ගය තරමක් අපැහැදිලි වන්නට විය.හරිමග යැයි සිතූ තැනින් අපි වාහනය හැරවීමු. තාර දමා නොතිබූ බොරළු මාර්ගය ඉතා රළු එකක් විය. අප ගමන් ගත් කොරොල්ලා 141 රථය එම මාර්ගයට කොහෙත්ම උචිත නොවන බව අපට වැටහුනේ පාරේ තිබූ ගල් ටකරමකට අඩ වැටෙන්නාක් මෙන් ඩොග් ඩොග් හඬින් වාහනයේ දැසියේ වදින්නට පටන් ගත් පසුවයි.අපි බොරලූ සහිත මගේ තවත් දුර ගමන් ගත්තෙමු. තව ඉදිරියට ඇදෙත්ම මාර්ගය කටුක වූවා සේම මේ නිවැරදි මාර්ගයදැයි යනු සැකයක් සිත් කොනක මෝදු වන්නට පටන් ගත්තේය.වාසනාවට හෝ අවාසනාවට බොරලූ මගේ ඉදිරියෙන් පිරිසක් පටවාගත් පුංචි ලොරි රථයක් අපට හමුවිය.අපි ඔවුනගෙන් තතු විමසීමු.අපගේ රියදුරු තෙමේ සෙත්ස්වානා භාෂාවෙන් “ලිම්පොපෝ ගුවන් තොට”කොහිදැයි විමසනු අපට ඇසින. අනෙක් රථයේ වුනු සියල්ලෝම අප පැමිණ තිබූ මග වැරදි බව හගවන හස්ත මුද්‍රාවන් ඉදිරිපත් කළෝය. අපි වාහනය නැවත හරවා ගතිමු.
එම වාහනයේ පැමිණියවුන් සිම්බාවේ දේශ සීමාව හොරෙන් පසුකර එන අනවසර සංක්‍රමණිකයන් බව අපගේ රියදුරා අපට දන්වා සිටියේය. අපි බොරලූ පාර තරණය කොට නැවත ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමු. එතැන් සිට තවත් සැතපුම් හැත්තෑවක් ගිය තැන අපි යමක් වටහු ගතිමු. අපිට මග වැරදී තිබිණ.අසන්නට කවරකුවත් නැති, ජංගම දුරකතන සංඥාවක් සොයාගත නොහැකි අති දුෂ්කර ජනශන්‍ය පෙදෙසක අපි අතරමං වී සිටියෙමු. ඒ වනවිට වේලාව උදෑසන 11.30ත් පසුවී තිබිණ. අපට ලබා දී තිබුණු උපදෙස් අනුව පස්වරු 1වන විට අපි ලිම්පොපෝ ගුවන් තොටට යා යුතුව තිබිණ. නැතිනම් ඔවුන් අප දමා යයි.නැවත වාහනයක් ගෙන්වා ගන්නට එක් අයෙකු වෙනුවෙන් ඩොලර් 25ක් වැඩිපුර ගෙවිය යුතුය. සියල්ලටම වඩා අප සිටින්නෝ කොහිදැයි අපට කිසිදු හෝඩුවාවක් නැත.
තරමක් චකිතයකින් යුතු බැරෑරුම් මුහුණින් අපි සෙමෙන් ඉදිරියට ඇදුනෙමු. ගමන්ගත් මාර්ගය අවසානයට ළං විය. එතැන තිබූ මාර්ග සංඥාව අපට ගම වැරදී ඇති බව ස්ථීර කර දුන් නමුත් අපි සිටින්නේ ලෝකයේ කොතැනදැයි පුංචි ඉගියක් ලබා දුන්නේය. සරලවම ඒ බොට්ස්වානාව සහ දකුණු අප්‍රිකාව වෙන් කරන දේශ සීමාවයි. මාගේ ජංගම දුරකථනයට පමණක් එතැනදී සංඥා ලැබිණ. අප ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන අප සතුව තිබූ සියලූ අංක ඇමතීමු.වාසනාවට එක අංකයක් ප්‍රතිචාර දැක්වීය. ඔහු අපට නිවැරදි මග කියා දුන්නේය. සරලවම පෙර අප ගමන් ගෙන නැවත පැමිණි බොරලූ පාර නිවැරදි මගයි.
අපි රිය හරවාගෙන නැවත ගමන් ගතිමු.බොරලූ පාර දිගේ සැතපුම් සියයකට ආසන්න ප්‍රමාණයක් ගමන්ගත යුතුව තිබිණ. වාහනය පිළිබඳ ආශාව සිතින් අත් හළ අපි පිම්මේ ලිංපොපෝ නිම්නයේ ගුවන්තොට සොයා ගත්තෙමු.
ලිංපොපෝ ගුවන්තොට පෙනි පෙනී අපි අපගේ පළමු අප්‍රිකානු වනජීවී අත්දැකීම විඳගත්තෙමු. තිහකින් පමණ සමන්විත තේජාන්විත අප්‍රිකානු අලි රංචුවක් පාරේ දකුණු ලසින් අපි දිස්විය. එය කෙතරම් චමත්කාරජනක දර්ශනයක් වුවත් ඒ වන විටත් ප්‍රමාද වී සිටි අපි ඡායාරූප කිසිත් නොගෙනම ඔවුන් පසුකර ගියෙමු.
උපට දන්වා තිබූ වේලාව පසු වී තිබුනත් මෂාටු වනෝද්‍යානයේ වාහනයක් අප එනතුරු එහි රැදී සිටියේය.අපි ගෙනා සියළුව අඩුමකුඩුම එහි පටවාගෙන කැලය ඇතුලට යන ගමන ආරම්භ කළෙමු. ලිංපොපෝ ගුවන් තොටේ සිට පැයක පමණ ගමනක් වනය තුළට යා යුතුව තිබිණ. අප නවාතැන්ගත් “මෂාටු ටෙන්ට් කෑම්ප්” භූමිය පිහිටා තිබුණේ ඒ ගමනාන්තයේය. සුන්දර සිනහවෙන් මුව සරුසාගත් සැබෑ අප්‍රිකානු කලූ මිනිසුන් කිහිපදෙනෙක් අපි එනතුරු බොහෝ උද්යෝගයෙන් පිළිගැනීමේ කවුලූවේ රැඳී සිටියහ.
දුමෙලා රා.. දුමෙලා මා.. කියමින් ඔවුන් අප සැම පිළිගත්තේ මහත් භක්තියෙනි. හැඩිදැඩි කලූ මිනිස් සිරුරුවල සගවාගත් ලෙංගතුකම ඔවුන් තවත් උත්දීපනය කළෝය.(දුමෙලා යනු, සෙත්ස්වානා ඩසින් “ආයුබෝවන්” යන්නට සමාන කමක් ඇති පදයකි. “රා” යනු, මහත්මයා යන්නයි. “මා” යනු, මහත්මිය යන්නයි.
ඔවුන් අපට අපගේ නවාතැන් පෙදෙස පෙන්වා දුන්හ.පුංචි සංග්‍රහයකින් පසුව අපි අපගේ අප්‍රිකානු වන සෆාරිය වෙනුවෙන් ජිප් රථයට නැග ගත්තෙමු. අපි සිව්දෙනාට අමතරව තවත් ඉන්දියානු ජාතිකයින් කීප දෙනෙක් අප ගමන්ගත් රථයටම ගොඩවූහ. සියල්ලන් ගොඩවූ පසුව ලෑන්ඩ් කෘසර් රථය පන ගැන්විණ.
අප්‍රිකානු කැලද, ආසියාවේ බොහෝ කැලෑ මෙන් විශාල ගස් වලින් ගහන නැත. බොහෝවිට දක්නට ඇත්තේ ලඳු කැලෑ ස්වභාවයකි. එහෙයින් ඉතා ඈතින් ඇති සතුන් පවා හඳුනා ගැනීමට හැකියාව ඇත. බොට්ස්වානාවේ වියළි කාලය වුනු අගෝස්තුව වන සතුන් නැරඹීමට හොඳම කාලය යැයි ඇතැමුන් පවසයි. වියළි දේශගුණය නිසා වනය වඩාත් ළංවූයේ දුඹුරු පැහැයටයි. නමුත් වනයේ තැන් තැන් වල තේජාන්විතව සිටගත් දැවැන්ත හරිතවන් ගස් කීපය පිළිබඳ අපි විමසිලිමත් වීමු¡ එම වනඋද්‍යානයට මෂාටු යන නම ලැබුනේ ඇයිදැයි අපට ඒ අනුව පැහැදිලි විය. එම දැවැන්ත හරිතවන් ගසේ නම “මෂාටු” යි. ඔවුන් එම ශාකය හඳුන්වන්නේ සදාහරිත ශාකය ලෙස වන අතර බොට්ස්වාරින් ලිංපොපෝ නිම්නයේ ඉතා සුලභව දැකිය හැකි බව ඔවුන් පැවසීය. මෙම වනඋද්‍යානය මෂාටු ලෙස නම් කර ඇත්තේ එබැවිනි.
අප ගමන්ගත් ජිප් රථය සෙමෙන් ඉදිරියට ඇදින.තැන තැන රංචු වශයෙන් සහ තනි තනිව සිටින ඉම්පාලා මුවන් දහස් ගණනකි. මුලින් මුලින් ඉම්පාලාවෙකු ඡායාරූපයට නගා ගැනීමට අපි බොහෝ උත්සුක වූ නමුත් පහුවත්ම ඔවුන් කෙරෙහි ආශාව අපෙන් නික්ම ගියේ ඔවුන් ඕනෑවටත් වඩා කැලෑව තුළ සිටි බැවිනි¡ බොට්ස්වානාවේ ජීවත් වන ඇතැම් සිංහල ජනයා ඉම්පාලාවන් හැඳින්වූයේ “සෝමපාල” නමිනි. ඒ ඔවුන් දුටු දුටු සැමතැනම සිටි නිසාය.
ඉදිරියට ඇදෙත්ම අපි විශාල අලි රංචුවක් අතර අතරමං වීමු. තේජාන්විත අප්‍රිකානු අලියන් විස්සක පමණ රංචුවක් ජල පොකුණු ළග දිය බොමින් සෙල්ලම් කරමින් සිටිති. අපි ඇති වන තෙක් අලින් සමග ගැවසීමු. අපි ඔවුන් දෙස බලා සිටිනා බවට ඔවුන්ට හෝඩුවාවක්වත් නැත. ඔවුන් ඔවුන්ගේම ලෝකයකය. ඇතැම්විට එක් අලියෙක් පමණක් තම හිස සොලවා අප දෙස බැලූවේ අප්‍රිකානු වන සංචාරයක ත්‍රාසයට පුංචි ඉඩක් ලබාදෙමිනි.
අපි අලි රංචුව මැදින් ඉදිරියට ඇදුනෙමු.රථයේ රියදුරුගේ වෝකි ටෝකි යන්ත්‍රයේ හඩ යන්තම් ඇසේ¡ සිංහයෝ….. කියමින් ඔහු වාහනය ක්ෂණිකව හරවා ගත්තේය¡
ගල්තලාවක් මතින් ඇදීගිය වාහනය වියළී ගිය දිය මංකඩකින් ගොඩවී තැනිතලා පෙදෙසකට ලගා විය. ඈතින් සියුම් මුත් තේජාන්විත ගෙරවුම් හ~ක් ඇසේ. මගේ හදගැස්ම සෙමෙන් සෙමෙන් තීව්‍ර විය.කැලෑවට රජ පෙළපත සිංහයින් තිදෙනෙක් මා දෑස මානයේ මීටර් සියයකටත් මෙහායින් නිදැල්ලේ හැසිරෙමින් සිටියි.තවත් ළගට යත්ම මට ඔවුන් ඉතා හොඳින් දැකගක හැකි විය. එතැන සිංහ ධේනුවන් දෙදෙනෙක් ද මදක් මෙහායින් තේජාන්විත සිංහයෙක්ද විය.
තිදෙනා විසින් මරා දැමූ ඊලන් කුළු හරකෙකුගේ මලකුණක් මදක් දුරින් ඇත.අඩක් කා ඉතිරිව තිබූ මලකුණ දෙස ගිජුලිහිණියන් ආශාවෙන් බලා සිටී.අපි එතැන බොහෝ වේලාවක් නැවතී සිටියෙමු.සිංහයින් අප සිටි බව තැකුවේ නැත. ගොදුරක් ගිල කුසගින්න සංසිඳුවාගෙන සිටි ඔවුනට අපෙන් ඵලක් නොවීය. අපි පසෙකට වී ඔවුනගේ චරියාවන් විඳ ගතිමු.පිරිමි සිංහයා සිංහ ධේනුවන්ට වඩා බොහෝ කම්මැලි බව අපට පසක් විය.රියදුරා නැවත යාමට වාහනය පණ ගැන්වීය.අඩ නින්දේ සිටි කේසර සිංහයා තිගැස්සී හිස එසවූයේ අප හද තුළද තිගැස්මක් ඇති කරමිනි.නමුත් අපි වාහනය හරවාගෙන යන තුරු බලා සිටියා මිස ඔහු කිසිත් නොකළේය.
උැතැම්හු කියනා පරිදි සිංහයන් වාහනයක් දකින්නේ එක් පද්ධතියක් ලෙසිනි.එහෙයින් විශාල පද්ධතියක් ලෙස දකින වාහනයට ඔහු අනතුරක් නොකරයි. ඔවුන් පහර දෙන්නේ තනි තනිව සිටින දුර්වලයන්ටයි.මෙය බොහෝ දෙනා අතර ප්‍රචලිත කතාවක් වුවත් එහි සත්‍ය අසත්‍යභාවය ගැන මම හරිහැටි නොදනිමි.
සිංහයෝ බලාගත් අපි ඔවුනට කරදර නොකරම සෙමෙන් වියළී තිබූ ගං ඉවුර දිගේ ඉදිරියට ගමන් ගත්තෙ සිංහ ත්‍රාසය සෙමෙන් මුදා හරිමිනි. වියලූනු ගං ඉවුරේ කොනෙක තේජාන්විත දිවියෙක් ගිමන් හරිමින් සිටී. අපි බොහෝ වේලා එතැන රැඳී සිටියෙමු. දිවියා වරෙක තම හිස ඔසවා අප දෙස බලයි. තවත් වරෙක නැගිට ටික දුරක් ඉදිරියට ගොස් නැවත කම්මැලියකු සේ නිදාගනී කැමරා කීපයක් අටවාගත් විදේශීය කාන්තාවක් පටවාගත් සෆාරි රියක් අප අසලටම විත් නවතාලුයේ ඒ විදෙස් කතට රිසි සේ දිවියා තම ඡායා රූ තුළට ග්‍රහණය කරගන්නට ඉඩ සලසමිනි.ඈ නිතරම මෂාටු වන පියස ඡායාරූපගත කරන්නට එහි පැමිණෙන බව අප රියදුරා අපට පවසා සිටියේය.
අප කොතෙක් ඔහු දෙස බලා සිටියත් දිවියා තම කම්මැලි දින චරියාවෙන් ඔබ්බට යමක් කලේ නැත¡ එහෙයින් අපි නැවත සෆාරි මාවතට රිය පැදවීමු.වියළී ගිය `ග`ගදිගේ අපි ඇදී ගියෙමු. උස් වූ `ගං ඉවුර මත අලි ඇතුන්, ඉම්පාලාවන් මෙන්ම තවත් බොහෝ සතුන් අහර සොයමින් ඔබ මොබ ඇවිදිති. ඉම්පාලාවන් සහ වඳුරන් සහයෝගයෙන් ආහාර සොයා ගන්නා අපූරු දසුනක් අප නෙත ගැටිණ.මෂාටු ගස් මතට වඳුරන් නැගි වහා ඉම්පාලාවන් ගස යටට පැමිණෙති.වඳුරන් ගස උඩ බුදින අතරේ බිම වැටෙන නොයෙක් ඵල රස විඳීමට ඉම්පාලාවන් ප්‍රියකරනා බව අපට පෙනෙන්නට විය.
ලිංපොපෝ නිම්නයේ හිරු සෙමෙන් අවරට යමින් තිබිණ. සවස සෆාරියේ කාලය අවසන් බව අපට වැටහුනේ තවදුරටත් අඳුරේ ෂතුන් පැහැදිලිව නොපෙණුනු බැවිනි. අපි රැගත් ජිප් රිය තරමක් උස කඳු ගැටයක නතර කළේ, ගමන් විඩාව නිවා ගැනීමට බව රියදුරා දැන්වීය.අපි ජීප් රියෙන් බැස ඔබමොබ ඇවිදීමු. තේජාන්විතව සිටගත් මෂාටු ගසකට මුවා වෙමින් සෙමෙන් නොපෙනී ගියේය.
සිසිල් බීම වීදුරුවකින් සප්පායම් වුනු අපි නැවත අප නවාතැන වෙත යන අරමුණින් සෆාරි රියට ගොඩවීමු.රාත්‍රිය ලිංපොපෝ නිම්නය වෙලාගෙන ඇත.ජීප් රියේ ප්‍රධාන ලාම්පු එළිය හැරෙන්නට තවත් ලාම්පුවක් රථයේ සවිකර තිබුණේ රාත්‍රියේ කුමන හෝ සතකු දුටුවහොත් එය හොඳින් බලා ගැනීමටය. නමුත් නවාතැනට පැමිණෙන තුරු ඉම්පාලාවන් හැර වෙනත් සතකු අපට හමු නොවීය.
අපි අපගේ නවාතැන් තුළට ඇදුනෙමු. එදින ටෙන්ට් කෑම්ප් සංකීර්ණය සම්පූර්ණයෙන් සංචාරකයින්ගෙන් පිරි ඇති බව එහි සගයින් අපට පැවසූහ. එම සංකීර්ණයේ සංචාරකයින් 32කට එකවර නවාතැන් ගත හැකි බව ඔවුන් පැවසීය. වනය තුළ තාවකාලිකව නිර්මාණය කරන ටෙන්ට් ලෙසින් එම නවාතැන් නිර්මාණය කර තිබිණ. මෙතැන මෂාටු ටෙන්ට් කෑම්ප් ලෙෂ නම් කොට ඇත්තේ එබැවිනි.
—————————————————————————————————
මෂාටු වනපෙතේ තවත් ගමනක් සහ ලිම්පොපො ගුවන් තොටේ පැය කිහිපයක් ඊලග අතරමංන් වීමෙන්.
අපූරු සටහනක්
Excellenet Garu…Pl publish the part 3 soon