පෞරුෂත්වය පුද්ගලයා වාසනාවන්තයෙකු කරයි

සංසුන් නමුත් කාර්යශීලී කෙනෙකු මෙන් පෙනී සිටීම ධනවත්වීමට අතිශයින් වැදගත්ය. අලසයෙකු, මෝඩයෙකු, තුෂ්නිම්භූත වූ අයෙකු නැත්නම් නිතරම කඩි කුලප්පුව හැදුනු කෙනෙක් ලෙස හැසිරෙන පුද්ගලයා ධනවත් කෝටිපතියෙකුගේ ලක්ෂණ පිළිබිඹු කරන්නේ නැත. ඔබ සංසුන් ගති ඇති අයෙක් ද?

කෙනෙකුගේ පෞරුෂය එම පුද්ගලයා වාසනාවන්තයෙකු කරයි. සමහරු මෙය වරදවා තේරුම් ගනිති. එනම් ලොකු වැදගත් පෙනුමක් තිබු පමණින් හොඳ පෞරුෂයක් ඇතැයි සිතීමය. හොඳ පෞරුෂයක් සඳහා වැදගත් පෙනුමක් මෙන්ම උසස් මානුෂික ගතිගුණ ද තිබිය යුතුය.

මිතුරන්ට ද්‍රෝහී විම, අනුන්ගේ පහනින් එළිය බැලීම හා තමන් නොදන්නා විෂයයක එල්ලී කටයුතු කිරීම ඕනෑම කෙනෙකුගේ කීර්තියට හානි කරයි. එසේ කීර්තියට කැළල් ඇති වූ විට හොඳ නමට වඩා නරක නාමය වහා පැතිරී යන නීතිය යටතේ එම පුද්ගලයා වැඩි දෙනෙකුගේ පිළිකුලට භාජනය වන්නේය. උසස් රැකියාවකට කෙනෙකු තෝරා ගැනීමට පෙර ඔහුගේ පසුබිම සොයා බලනු ලැබේ. කලින් ණය තුරුස් වී සිටීම හා මිල මුදල් වංචා කර තිබීම නිසා උසස් පදවි අහිමිවන අය බොහෝය. කෙනෙකු පිළිබඳ සැබෑ තත්වය දැන ගැනීම සඳහා ඔහු ඇසුරු කළ අයගෙන් විමසා බැලීම සමාජයේ සිරිතකි.

අසවලා අසවල් වෙළඳ සමාගමෙන් අස් කළේ ඇයි? ඔහු අසවල් අය සමඟ දැන් අමනාප ව සිටින්නේ මන්ද? මේ විදියට කෙනෙකු ඔබ ගැන විපරම් කරන විට කුමක් කියවේ ද? නරකක් කියවේ නම් එය ඔබේ ධනවත්වීමට බාධාවක් බව සලකන්න. නිතරම ඔබට එවැනි බාධාවන් ඉවත්කර ගැනීමට පුළුවන. ඒ සඳහා විශේෂ ඥානයක් හෝ උපදෙසක් අවශ්‍ය නොවේ. කළ යුත්තේ වැරදි හරිගස්සා ගැනීම පමණය.

කෝටිපතියෙක් ලෙස සිතන්නේ නැතිව ඔබට කෝටිපතියෙකු වීමට බැරිය. කෝටිපතියෙක් ලෙස නොසිතන උගතා නිතරම උගත් දුප්පතෙකි. පණ්ඩිතයා නුවණින් වැඩි දුප්පතෙකි. ගුරුවරයා අනුන්ට සිප් සතර දෙන නමුත් තමන්ගේ අතමිට හිඟ කමින් පෙළෙන්නෙකි.

ලද දෙයින් සතුටු වීම යන රුවන් වැකිය අලසයා විසින් තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ. යම් කෙනෙකු වසර තුනකට වඩා කාලයක් රැකියාවෙන් උසස්වීමක් නොලබන්නේ නම් ඔහු කරන රැකියාවට ආදරයක් නොදක්වන්නෙකි. උසස්වීමක් ලබන පුද්ගලයා අලස හා කළකිරුණු පුද්ගලයෙකු නොවේ.

ධනවත්වීමට ඕනෑ කරන පුද්ගලයා ජීවත්විය යුත්තේ නිදහස් සිතකිනි. කුලමල, කෝන්තර, ණය තුරුස්, නැති බැරිකම්, පලිගැනීම් වැනි චේතනා ඉස්මතු කරගෙන සිටිය දී ධනවත්වීමේ චේතනාවට මතුවිය නොහැකි බව මතක තබාගන්න. ඔබ බිරිඳගේ දේපල වලින් හා නෑයන් ගෙන් යැපෙන්නෙක් නම් එයින් ද නිදහස් වීමට සිතන්න. අනුන්ගෙන් යැපෙන්නෙකු විමේ ආශාව අත්හරින්න. දියුණුවීමේ මුල්ගල එයම වන්නේය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 අගෝස්තු 1