පශ්චාත් නූතනවාදයනම් ගොන්පාර්ට් එක හදුනාගනිමු – 2 කොටස – නූතනවාදය

පශ්චාත් නූතනවාදය (post-modernism) කියන නමින්ම තේරෙනව ඒක තව මොකක් හරි එකකට විරුද්ධව හැදුන දෙයක් කියල. එතකොට මොකට විරුද්ධවද මේක හැදුනෙ? මේක හැදුනෙ නූතනවාදයට (modernism) විරුද්ධව. පශ්චාත් නූතන්වාදය එතිහාසිකවත්, දාර්ශනිකවත් නූතනවාදයට විරුද්ධයි. ඒවගේම ධනවාදයට විරුද්ධයි. වාමවාදියි. ඒකත් පුදුම වැඩක් තමයි. මොකද යතාර්ථයක් නැහැ, සත්‍යයක් කියල දෙයක් නැහැ කියල කියද්දි අපි හිතන්නෙ එක එක පශ්චාත් නූතනවාදින් එක එක දේශපාලන දර්ශන තෝරගනියි කියල. ඒත් ඔවුන් හැමෝම වාමවාදින්, හරියට මාස්ක්වාදය විතරක් සත්‍යයක් වගේ. ඒ කොහම උනත්, අපි මුලින්ම නූතනවාදය කියන්නෙ මොකද්ද, පශ්චාත් නූතනවාදය එයින් වෙනස් වෙන්නෙ කොහමද කියන එක කතා කරල ඉමු.

ඔබ දන්නව ඇති මීට ශතවර්ෂ කිහිපකට පෙර යුරෝපයෙ ඇති වුනා පුනරුදය (Renaissance) කියල දෙයක්. ග්‍රීක, රෝම යුගයෙන් පසු ශතවර්ෂ ගණනාවක් කිසිම ලොකු වැඩක් කරන්නැතුව අදුරු යුගයක ගිලිල හිටපු යුරෝපය පහළොස් වන සියවසේදී එකපාට්ටම ඉතාලියෙ ෆ්ලෝරන්ස් නගරයෙන් නැගිටින්න පටන් ගත්තා. මයිකල් ඇන්ජලෝ, ලියනර්ඩො ඩවින්චි, ගැලීලියෝ ගැලීලි වගේ අය බිහි වුනේ මේ කාලේ. මේ සිදුවුන වෙනස තවත් ලොකු වෙනසක්ට අඩිතාලම දැම්ම. ඒ තමයි Enlightenment.

ෆ්‍රැන්සිස් බේකන් (Francis Bacon 1561-1626), රෙනේ ඩේකාර්ට් (Rene Descartes 1596-1650), ජොන් ලෝක් (John Locke 1632-1704) වගේ දාර්ශනිකයන් මේකේ පුරෝගාමින්. මොවුන්ට ලොකු විශ්වාසයක් තිබ්බා විද්‍යාව ගැන. ඒ කාලෙ විද්‍යාව (science) කියන නම වත් හැදිල තිබුනෙ නැහැ. නිව්ටන්, කෙප්ලර් වගේ අය හැදින්නුවේ natural philosophers හෙවත් ස්වභාවික දාර්ශනිකයන් කියල. ඒත් එන්ලියිටන්මන්ට් එකේ පුරෝගාමින්ට මේ ස්වභාවික දර්ශනය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒත් එක්කම් ඔවුන්ට ලොකු විශ්වාසය්ක් තිබ්බ තර්කය (reason) ගැන. ඔවුන් විශ්වාස කලා රීසන් හරහා ලෝකය තේරුම් ගන්න පුලුවන් කියල. ඒත් එක්කම මොවුන් පුද්ගලවාදින් (individualist).  එනම්, ඔවුන් විශ්වාස කළා සමාජය තනි තනි මිනිස්සුවෙනුවෙන් පවතින්න ඕන මිසක් සමාජය වෙනුවෙන් මිනිස්සු ජීවත් වෙන්න ඕන නැහැ කියල. (සමාජය වෙනුවෙන් මිනිස්සු ජීවත්වන සමාජවාදය, කමියුනිස්ට්වාදය වැනි දර්ශන පොදුවේ හදුන්වනව සමූහවාදී (collectivist) දර්ශන කියල.)

නූතනවාදය හදුනාගන්න ලේසිම ක්‍රමය තමයි ඒක පුර්ව නූතන යුගයත් එක්ක සන්සන්දනය කිර්‍රිම. පූර්ව නූතන යුගයේ පාරහෞතිකය (metaphyscs) වුනේ යතාර්ථවාදය. නූතන යුගයෙත් එහෙම්මමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනව. පූර්ව නූතන යුගය යතාර්ථවාදී වුනත් එක අධිස්වභාවික (supernatural) යතාර්ථයක්. මිනිස්සු ස්වභාවික හේතු හරහා අත්දැකීම් පැහෑදිලි කරනව වෙනුවට අද්භුත දේවල් හරහා ඒව පැහැදිලි කළා. උදාහරණයක් විදිහට මිනිහෙක්ට කරදරක් වුනාම එහෙම වුනේ කරල තිබුන පව් නිසා කියල වගේ දේවල් මීනිස්සු බහුල ලෙස විශ්වාස කළා. මේ වගේ විශ්වාස අදටත් බටහිර රටවල තිබුනත් උගතුන් අතර ජනප්‍රිය නැහැ. ලංකාව මේ අතින් තාම ඉන්නෙ පූර්ව නූතන යුගයක කියල කෙනෙක්ට හිතන්න පුලුවන්.

අනෙක් අතට නූතනවාදයේ පාරභෞතිකය යතාර්ථවාදී වෙනව විතරක් නොවෙයි,එය ස්වභාවික යතාර්ථයක්. මිනිහෙක්ට කරදරයක් වුනාම ඒක වෙන්නෙ පිං පව් වගේ අද්භූත දෙවල් හින්ද නෙවෙයි, සරළ ස්වභාවික හේතු නිසා. ගෙදට්ට හෙන ගැහුවේ දෙයියො කෝප වෙලා නිසා නෙවෙයි, අකුණු ගැසීම ස්වභාවික සංසිද්ධියක් නිසා.

පුර්ව නූතන යුගයෙත්, නූතන යුගයෙත් ඥාණ විභාග ක්‍රමවලත් ලොකු වෙනසක් තියනව. පුර්ව නූතනවාදින් විශ්වාසය, සම්ප්‍රදාය, ආගම වගේ අද්භුත දේවල් ආදිය හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහ කළත් නූතනවාදින් උත්සහ කළේ සංවේදනය හා තර්කනය හරහා ලෝකය තේරුම් ගන්න. මේක දිගින් දිගටම විස්තර කිර්‍රම මම හිතන්නෙ අනවශ්‍යයයි. තර්කානුකූල, යතාර්ථවාදී මනසකත්, අතාර්කික අවිද්‍යාත්මක මනසකත් වෙනස පාඨකයින්ට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැහැ.

ඒත් එක්කම පුර්ව නූතන යුගයෙත්, නූතන යුගයෙත් මිනිසාගේ ස්වභාවය පිළිබද දැක්ම අහසට පොළව වගේ. පුර්ව නූතනවාදින්ට අනුව මිනිසා යනු පව්කාරයෙක්. මේ සිතුවිල්ලට හේතුව තමයි ආදම් හා ඒව කළ පව ගැන ක්‍රිස්තියානි ඉගැන්වීම. අනික් අතට නූතනවාදින්ට අනුව මිනිසා යනු තර්කානුකූලව හිතන්න පතන්න පුලුවන්, අලුත් අලුත් දේ නිර්මාණය කරන්න පුලුවන්, යහපත සදහා ලෝකය වෙනස් කරන්න පුලුවන් විශිෂ්ඨ සත්වයෙක්. ඒත් එක්කම පුර්ව නූතනවාදින්ට යම් හැගීමක් තිබ්බ අතීතය අදට වඩා හොදයි කියල. ඇත්තටම එක මුලාවක්. මේ වගේ අදහස් ලංකාව වගේ රටවල තවමත් ජනප්‍රියයි. නූතනවාදින් මේ මතය පිළිගත්තේ නැහැ. ඔවුන්ට අනුව අනාගතය සුභ දායකයි. අනාගතය අතීතයට වඩා හොදයි.

කළින් කිව්ව පරිදි පුර්ව නූතන යුගය සමූහවාදියි (collectivist). එනම් ඔවුන්ට අනුව සමාජය/රට/රාජ්‍යය ආදී දේවල් වෙනුවෙනුයි මිනිස්සු ජීවත් විය යුත්තේ. පසු කාලීනව මාක්ස්වාදය, නාසිවාදය ආදීය ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි විසි වෙනි සියවසේදිත් මේ සමූහවාදී හැගීම් මිනිසුන් තුළ ඉතිරි වෙලා තිබීම කියල කියන්න පුලුවන්. නූතනවාදින්ට අනුව සමාජය සෑදිය යුත්තේ තනි පුද්ගලයාගේ සුභ සිද්ධිය සැලසෙන පරිදි. ඒත් එක්කම පුර්ව නුතන දේශපාලන ක්‍රමය වුනේ වැඩවසම් ක්‍රමය. නූතනවාදී දේශපාලන ක්‍රමය වුනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය.

දහ අටවන සියවස වෙද්දි පුර්ව නූතනවාදය දාර්ශනික වශයෙන් සම්පුර්ණයෙන්ම වගේ පරාජය වුනා කියල කියන්න පුලුවන්. මේක දාර්ශනික විප්ලවයක්. එක අතකින් බැලුවොත් මේක අන්තිම දාර්ශනික විප්ලවය කියල කියන්න පුලුවන්. පසුකාලීනව ලෝකයේ විවිධ තැන්වල විවිධ වර්ගයේ දාර්ශනික අදහස් ඉදිරිපත් වුනා. නමුත් ඒ කිසි දෙයක් දාර්ශනික විප්ලව වශයෙන් හදුන්වන්න අමාරුයි. සිදුවුන සාර්ථක වෙනස්කම් සියල්ලම සිදුවුනේ නූතනවාදී පදනම තුළ ඉදලා. විසිවෙනි සියවසේ සාර්ථක දාර්ශනිකයන් වුන බර්ට්‍රන්ඩ් රසල්, ඩ්බ්ලිව්.වී.ක්වින්, ජී.ඊ.මුවර්, ඩැනියල් ඩෙනට් ආදී සියලු දෙනාම මේ පදනම තුළ සිටයි තම මත ඉදිරිපත් කළේ. මේ පදනමෙන් පිටයන්න හදපු මහද්වීපික දර්ශන සියල්ල අසාර්ථකච්යි. පශ්චාත් නූතනවාදයත් ඒ අසාර්ථක දර්ශන වලින් එකක්. මාක්ස්වාදය ගත්තොත් ඒක නූතනවාදී පදනම තුළ රැදුනා. නමුත් එය සමූහවාදි දර්ශනයක්. මාක්ස්වාදය දේශපාලන විප්ලවයක් ඇති කළත් එය අවසානයේ අසාර්ථක වුනා. මේ සියල්ල පිළිබද ඉදිරි ලිපි වලදී කතා කරමු.

නූතනවාදින් සියලු දේනා එකිනෙකා සමග හැම දෙයක් ගැනම එකග වුනේ නැහැ. නූතනවාදය තුළ ක්‍රියාත්මක වුන දර්ශනය පිළිබද ප්‍රධාන දැක්මවල් දෙකක් තිබුනා. ඒ තමයි බුද්ධිස්වතන්ත්‍රවාදය (rationalism) හා අනුභූතිවාදය (empiricism). ඩේකාර්ට්, ලීබ්නිස් ආදින් බුද්ධිස්වතන්ත්‍රවාදියෙක්. ලෝක්, හියුම්, බේකන් ආදින් අනුභූතිවාදින්. ශතවර්ෂ කිහිපයක් තිස්සේ නූතනවාදී දාර්ශනිකයන් අතර තිබුන ප්‍රධානම විවාදය මේක කියල කියන්න පුලුවන්. අද වෙනකොට මේ විවාදය ඉවරයි, ලංකාවේ සමහරුන් තාමත් මේක ඉවර නැහැ කියල හිතුවට. ඒ කොහම උනත් මේ සියලු දෙනා නූතනවාදින්. මොවුන් සියලු දෙනා පුර්ව නූතනවාද විරෝධීන්. මොවුන් සියලු දෙනා තර්කය විශ්වාසයට වඩා වැදගත් කියල හිතපු පිරිසක්.

ඊලග ලිපියේදී නූතනවාදය නිසා සිදුවුන විද්‍යාත්මක හා දේශපාලන විප්ලවය ගැන කතාකරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න