ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම)

Posted: February 6, 2013 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

මම ගුවන් යානයේ කවුලූවෙන් පිටත බැලීමි.උදෑසන හිරු කිරණින් පිබිදුනු අප්‍රිකානු භූමිය ශුෂ්ක බව මැදින් මුත් ලෙංගතුව සිනාසෙයි.මුල්වරට අප්‍රිකානු භූමිය ගුවනේ සිට දුටු මා එයින් අමන්දානන්දයට පත් වී සිටියෙමි.ගුවන් කවුලූවෙන් පහත පිහිටි දිදුලන පොළවේ ඡායාරූපයක් ගන්නට උත්සාහ කළ නමුත් මා සිතූ තරම් එය සාර්ථක නොවීය.

IMG_9514

පෙරදා, එනම් සිංහල අවුරුදු දා රාත්‍රියේ හදිසියෙන්ම ගුවන් ගත වුනු මා ඒ වනවිට පියඹමින් සිටියේ කෙන්යා රාජ්‍යයට ඉහළිනි.ගමනාන්තය දකුණු දිග අප්‍රිකාවේ දියමන්ති ආකරය බොට්ස්වානාවයි.

PA…ladies and gentlemen…. On to your left you can see the great sight of mount ‘Kilimanjaro’

ගුවන් නියමුවාගේ හඬින් යානයේ උන් සියල්ලෝම පාහේ වම්පස කවුලූවලින් පිටත බලන්නට උත්සාහ ගත්හ.ලෝ ප්‍රකට කිලිමන්ජාරෝ කඳුමුදුන හිමෙන් වැසීගෙන ඇති දර්ශනය අතිශයින්ම අලංකාරය.ලෝක ප්‍රකට සංචාරක භූමියක් වන ටැංසානියාවේ පෙරදිගට වන්නට පිහිටා ඇති කිලිමන්ජාරෝව සැබැවින්ම තේජාන්විත පිහිටීමක් බව සිතමින් මම හිස නැවතත් ආසනයට බර කරගතිමි.

පළමු වරට අප්‍රිකානු රාජ්‍යයකට ගොඩබැසීමේ ආශාව මෙන්ම, ඒ අතරින් මතුවුනු චකිතයකුත් හිතේ සෙමෙන් හොල්මන් කරයි.මාගේ වීසා ලියුමේ ගමන් බලපත්‍ර අංකය වැරදිය.එය ප්‍රශ්නයක් වේ දෝයි, නොවේදෝයි සිතමින් මම පියඹා ගියෙමි.

ටැංසානියාව, සිම්මාවේ මෙන්ම නිමීබියා අහසට උඩින් තවත් පැය කීපයක් ගමනකින් පසු බොට්ස්වානාවේ සර් සෙරෙක්සේ කාමා ගුවන් තොටට කෙන්යානු ගුවන් සේවයේ KQ110 යානය ගොඩබස්වනු ලැබීය.මම පළමු වරට අප්‍රිකානු භූමියකට පය ගැසීමි.මුලූ ගුවන් තොටම අතිශයින් නිශ්ශබ්දය.මා සමගම ගුවන් යානයෙන් බට කලූ ජාතිකයෙක් උස් හඬින් සිනාසෙනු මට ඇසෙයි.මම ඔහු දෙස බැලීමි.

see my bro…. see how quite this country is … this is worlds most quite this country ….ඔහු නැවත හිනැහෙයි.

Are you from Botswana?  මම ඔහුගෙන් ඇසීමි.

Oh yeah my bro… Im a proud Motswana … කියමින් ඔහු මා පසුකොට ගියේය.

ආගමන විගමන අංශයේදී මට කරදරයක් නොවීය.වීසා ලිපියේ ගමන් බලපත් අංකය වැරදියට සටහන් වුවත් ඔවුන්ගේ පරිගනක පද්ධතියේ එය නිවැරදිව සඳහන් වී තිබිණ.එනමුත් මගේ ගමන්මලූ බොට්ස්වානාවට පැමිණ තිබුණේ නැත.ඒ පිළිබඳ පැමිණිල්ලක් සටහන් කළ මා ගුවන් තොටින් පිට සැබෑ බොට්ස්වානා වාතලයට හුස්මක් පිට කළෙමි. ඒ වන විටත් එහි දින කීපයක් ගෙවා සිටි “යොහාන්” මා කැඳවා යාමට ගුවන් තොටට පැමිණ සිටියේය.

ඒ පළමුවරට මා බොට්ස්වානාවට පය තැබූ අවස්ථාවයි.

ඉන්පසු තවත් දෙවතාවක් බොට්ස්වානාවේ පය තබන්නට මට හැකිවිය.ඒ තෙවතාවේම ලක්දිව වේගවත් ජීවිතයක් බොට්ස්වානාවේ සැහැල්ලූ, සාමකාමී මෙන්ම අඩුවේගී ජීවිතයක් අතර වෙනස මට හොඳින් වැටහිණ.මේ තෙවතාවේම මා නවාතැන් ගත් මොතෙයෝ නිවාස සංකීර්ණය සැබැවින්ම මාගේ දෙවන නිවස ලෙස සැලකිය හැක.

තුන්වන වතාවේ බොට්ස්වානා ගමන ඉතාමත්ම විශේෂ එකක් විය.ඊට හේතු කීපයකි. පළමුවැන්න නම් අපි බොට්ස්වානාවට පැමිණීමේ රාජකාරි කටයුත්ත මේ ගමනත් සමග නිමවීමයි.දෙවැන්න මෙතෙක් නෙදුටු බොට්ස්වානා ස්වභාව සෞන්දර්යය දැකීමට අපට හැකිවීමයි.

බොට්ස්වානාව අප්‍රිකානු මහද්වීපයේ දකුණට වන්නට පිහිටි තරමක් විශාල මුත් සිව් දෙසින්ම වෙනත් රාජ්‍යයන්ගෙන් වට වුනු රටකි.ඒ නිසාවෙන්ම ඔවුන් බොහෝ දෙනා මුහුදක් දැක තිබුණේ නැත.මුහුද දකින්නට ඔවුනට තම අසල්වැසි දකුණු අප්‍රිකාවේ කේප්ට්වුන් නගරයට හෝ වෙනත් මුහුදුබඩ නගරයකට පියාසර කළ යුතුව තිබිණ.වත්කම් ඇති අයට ඒ ගමන කළහැක්කක් වුවත් බොහෝ බොට්ස්වානා ජනයාට එය අපහසු කර්තව්‍යයකි.මා නවාතැන්ගෙන සිටි තැන ආරක්ෂාවට සිටි දුප්පත් ජෝශප් දිනෙක මා හා ඒ ගැන කතා කළේ, හැගුම්බරවය.ඒ වචන කීපය මා හද තුළ කවි සිතිවිල්ලක් උත්ඨානය කළේය.දෙවන වර ලක්දිව පැමිණෙද්දී මම ගුවන් සේවිකාවකගෙන් කොලයක් සහ පෑනක් ඉල්ලාගෙන එම කවිය කුරුටු ගෑවෙමි.

ඈත දුර රටෙක….
සීතලේ ගැහි ගැහී…..
රියැදුරා එනතුරු …..නවාතැන් දොර ලග…
පාලු කැපුවා…..”ජොසප්”…….

මුහුදක් නැති රටෙක….
දුප්පත්ව..උපන්නෙන්….
දැක නැතිය ඔහු ….මුහුදක්.. හරිහැටි…….
රූපවාහිනියෙන්වත්………

ළගම ඇති මුහුද දක්නට…
යා යුතුය ඔහු …ගුවන් නැව් නැග….
වත්කමක්…නැත ඔහුට….
ආසාව…ඇති..වුවද……..

අසා මා රට තොරතුරු…….
උගෙන…රට වට මුහුද බව……
හිනැහුනා…..විස්මයෙන්….
මා පින් කරැත්තෙකු……කියමින්…….

රියැදුරා ඇවිදින් !!!

සමුදුනිමි මම ඔහු හට….
අත වනා ඔහු කීයේ…..මෙලෙසට……
දුඹුරු පැහැ…දසන්……ආදරෙන් පෙන්නා…….,

“ගිය වහා….නුඹෙ රටට…..
යන්න මා වෙනුවෙන් …වෙරලට……..
රැගෙන හුස්මක් ඉහලට…..පතන්න….
වාසනා වේවා….මා හට……..
කෙදින හො…….මුහුද…….දක්නට “…………!!!!!

බොට්ස්වානාවට උතුරින් කොංගෝවත් වම් පසින් නැම්බීයාවත්, නැගෙනහිරින් සිම්බාබ්වේ රාජ්‍යය සහ දකුණින් දකුණු අප්‍රිකාවත් පිහිටා තිබේ.මේ සියලූ රටවල් අතරින් බොට්ස්වානාවේ වන ජීවිය බොහෝ සංචාරකයන් මේ රටට ආකර්ෂණය කරන්නේය.බොට්ස්වානා අගනගරය වන “හැබරෝන්” නගරයෙන් තරමක් දුරට ගියවිට මහපාරේ බොහෝ සතුන් දැකගත හැක. සීබ්‍රාවන්, ඉම්පාලාවන්, අලි පමණක් නොව සිංහයන් පවා පාර අද්දරදී මුණ ගැසෙයි.එමෙන්ම ලෝ ප්‍රකට කලහාරි කාන්තාරය බොට්ස්වානා භූමියෙන් තුනෙන් දෙකක පමණ තම අණසක පතුරුවාගෙන සිටී.එහෙයින් ලක්දිව මෙන් විසිගුණයකටත් වඩා විශාල මුත් ජනගහනය ලක්දිව ජනගහනයෙන් විස්සෙන් එකක් පමණය. එයිනුත් වැඩි කොටසක් හැබරෝනි නගරය කේන්ද්‍රකොටගෙන තම වාසස්ථාන ගොඩ නගාගෙන ඇත. හැබරොනයට අමතරව, ෆැරැන්සිස්ටව්න්, මවුන්, හන්සි, මෙලොපොලොලෙ වැනි නගර ආශි්‍රතවද ජනගහනය කේන්ද්‍ර වී ඇත. වැදගත් කාරණය නම් මෑතක් වන තුරුම (ස්වාසිලන්තය එම ස්ථානය උදුරා ගන්නා තෙක්ම) බොට්ස්වානාව වැඩිපුරම ඒඩ්ස් රෝගීන් ස්ට්න රටවල් අතර අංක එක ස්ථානයේ තම නම රඳවා ගත්තේය.අදටත් බොට්ස්වානා ජනගහනයෙන් සියයට 30ත් 40ත් ජනතාවක් රෝගයෙන් පීඩා විඳියි. දැන් එය ඔවුන්ගේ ජීවිත වලට එක්කාසු වී හමාරය. ඔවුන්ගේ සෙල්ලක්කාරී ජීවන රටාව මෙන්ම සංස්කෘතියද එයට ආවඩන බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

මේ එයට හොඳම සාක්ෂියයි.බොට්ස්වානාවේ මාගේ මිතුරන් බොහොමයක් තවම විවාහ වී නැත. නමුත් ඔවුන් සියල්ලන්ටම පාහේ දරුවන් සිටී.ඇතැමුන්ට දරුවන් හතර පස් දෙනෙකි.විවාහ වූ ඇතැම්හූ තම විවාහ මංගල ඡායාරූප පෙන්වත්දී මේ ඉන්නේ මගේ පුතා,මේ ඉන්නේ මගෙ කලින් පේමව්නතයාට දාව උපන් දියණිය කියමින් කුඩා දරුවන් පෙන්වයි.එය අපට අමුත්තක් වුවත් ඔවුනගේ සංස්කෘතිය අනුව එය අමුත්තක් නොවේ.

ඔවුන් විවාහයට අදිමදි කරන්නේ විවාහය හා බැඳුනු බොහෝ චාරිත්‍ර ඉටු කිරීමට ඇති කරදරකාරී බව සහ ගතවන කාලය නිසාවෙනි. මා ඔවුන්ගේම උගත් පරිදි ඔවුන්ගේ විවාහයට අවශ්‍ය චාරිත්‍ර ආරම්භ කළ යුත්තේ, වසරකටත් පෙර සිටය. එමෙන්ම මෙම චාරිත්‍ර අතර මූළික දෙයකි.විවාහ වීමට නියමිත පුරුෂයා විසින් විවාහයට නියමිත කාන්තාවගේ පවුලට ගවයන් අටක් සැපයීම.පුරුෂයා විසින් සපයන ගවයන්ගේ තත්ත්වය සලකා බලා කාන්තාවගේ පවුලේ උදවිය විවාහයට අවසර දෙනු ඇත.මෙවැනි කාරණා වල ඇති අපහසුතාවය නිසාම ඔවුන් විවාහයට අදිමදි කරති.

මා මිත්‍ර මගේ රියදුරු “ලෙසේදි” (ලෙසදි යන සෙත්ස්වානා වචනයේ අරුත ආලෝකය යන්නයි.සෙත්ස්වානා යනු බොම්ස්වානා ජාතිකයින්ගේ භාෂාවයි) මා හා ඔහුගේ විවාහය පිළිබඳව කියා සිටියේය.ඔහු රැකියාව කර එක්රැස් කරගත් මුදලින් ගවයන් අටක් මිලදී ගත් බවත් එක් ගවයකු පූලා 3000ක් පමණ වූ බවත් (පූලා යනු බොට්ස්වානාවේ මුදල් ඒකකයයි. පූලා1 = රුපියල් 17-20) අවාසනාවක එක් ගවයෙක් මිය ගිය බවත් පැවසූ ඔහු, දැන් නැවතත් ගවයකු මිලදී ගැනීමට මුදල් එක්රැස් කරන බව පැවසීය.ඒ හේතුව නිසාවෙන් ඔහුගේ විවාහය දින නියමයකින් තොරව කල් ගොස් ඇත.

රාජකාරි කටයුතු නිසා බොට්ස්වානාවේ ගත කළ දින ඔහේ ගෙවී යමින් තිබුණත් මෙවන් රටකට පා තබා එහි සුන්දරත්වය නොවිඳ ආපසු යාම තරම් අනුවණකමක් තවත් නැති බව හැගුනු නිසාවෙන් කෙසේ හෝ වන සංචාරයක යන්නට අපි කතිකා කරගත්තෙමු.මේ වනවිට බොට්ස්වානාවේ මා ඇතුලූව සිව්දෙනෙක් එකම රාජකාරි කටයුත්ත සඳහා පැමිණ සිටියහ.එම නිසාවෙන් ගමන සංවිධානය කර ගැනීම එතරම්ම අපහසු කාරණයක් නොවීය.ප්‍රශ්නය වූයේ සතර දෙසින් ලෝ ප්‍රකට වන අඩවි පිහිටි මෙම රම්‍ය භූමියේ කුමන අඩවියට යා යුතුද යන්න තීරණය කිරීමයි.

ඒ සඳහා අපි බොට්ස්වානාව අධ්‍යනය කළෙමු.තතු දත් අයගෙන් ඇසීමු.නමුත් සුපුරුදු පරිදි බොට්ස්වානා ජාතිකයින් වැඩි පිරිසක් වන සතුන් ඇලූම් නොකළහ.තමා සතු හොඳම දේ අගය නොකිරීම ශ්‍රී ලාංකිකයන්ගේම පමණක් වන වරදක් නොවන බව එයින් අපට වැටහින.

කෙසේ නමුදු අවසානයේ යා යුතු තැන අපි තීරණය කර ගතිමු.චෝබ් ඔකවැන්ගො ඩෙල්ටා, සෙන්ටලේ කලහාරි, කටේසි යන මේ වනෝද්‍යාන සියල්ල අභිබවමින් තීරණය වූයේ බොට්ස්වානාවේ නැගෙනහිරට වන්නට සිම්බාවේ සහ දකුණු අප්‍රිකානු දේශසීමාවන්ට මියාම් වුනු “මශාටු”වන උද්‍යානය අප බලාපොරොත්තු වන දේ අපට ලබා දේවී යන්නයි.එහෙයින් අපි එතැන් සිට මෂාටු ගමන සංවිධානය කළෙමු.
——————————————————————————————————————–

මෂාටු වන පෙතේ අතරමන් වුනු ත්‍රාසජනක හොරා කීපය දෙවැන් අතරමන් වීමෙන්…

Blog Tatoo

 

Comments
  1. Excellent Gaiyya!! awaiting for the second part very soon…..

  2. ruvini says:

    අපි සල්ලි එකතු කරලා ජෝසෆ්ට මේහේ එන්න ටිකට් අරන් දෙමු. මුහුද පෙන්නන්න. 🙂

  3. sam says:

    How many josephs are in sri Lanka What a beautific poem All the Best Brother

Leave a comment