13

Red Tree _Ben Will
රතු ගස – බෙල් විල්ගේ සිත්තමක්

ඉපැරණිම සිතිවිලි
අලුත් හුස්මක් අරගෙන
ඉපැරණි හිතට පිවිසෙයි
අකුරු එහෙ මෙහෙ විසිකර

තැන් තැන් වලින් ඇහිලූ
නන්නත්තාර දුකඳුළු
සන්සුන් ඇසක තනිකර
නින්දෙන් සිනාසෙන්නෙමි.

ඉසියුම් හැඟුම් විරහිත
තනිකං දොසින් ආතුර
මැදියම් දිවිය පැමිණුනි
මැදියම් රැයට පළමුව

හැර දමා දොරගුළු
සිඳ බිඳ දමන්නට
එකදු වළඳක් නැති
පාළු ගෙදරකි දිවියම

ඉකුත් සිසිරයෙ හමුවුණු
රුහිරු මේපල් තුරු පත
සමාදානයෙ සැතපෙන
දෙණකි සිහිලැති හදවත

හිම පියලි පිස පිවිසෙන
පොල්මංකාර හුළඟට
අතීතය පවරමි
සින්නක්කරේට ම

දැන් ඉතින් දහතුන
නපුරුයි කියන්නට
කාටවත් නො හැකිය
නපුරු හිතකට මිස.

ප්‍රතිචාරයක් ලබාදෙන්න