ජනාධිපතිතුමනි! මරණ දඬුවම එපා

මරණීය දණ්ඩනයට නියමවන අපරාධකරුවන් එල්ලුම්ගස් යැවීමට අවශ්‍ය ජනාධිපතිතුමන්ගේ අත්සන එතුමන් විසින් යොදන්නේ නැතිබව මුළු රටම දනී. මෙය මහා දුර්වලකමක් යයි පෙන්වීමට විරුද්ධවාදීන් මෙන්ම ඇතැම් රාජ්‍ය පාක්ෂිකයින් ද වෑයම් කරති.

මානසික රෝගියෙකු නොවන මිනිසෙකු මෙතෙක් හිතාමතා ඕනෑකමකින් තවත් මිනිහෙකු මරා නැත. සිහි විකල වූවන් හා මත්පැනින් සිහිය අවුල් කරගත් අය මිනීමැරීමට පෙළඹෙති. හොඳ සිහියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයෙකු අතින් කිසි කලෙක තවත් මිනිසෙකුගේ ජීවිතය නැසීමක් හිතා මතා ඕනෑකමකින් යුතුව සිදු නොවේ.

සිහි විකල වූවන් මිනිස් මිනිසුන් මරා දැමූ පසු ඔවුන් අල්ලා නඩු අසා ජූරි සභාවක අනුමැතිය ලබා ඔවුන්ට මරණ දඬුවම නියම කරනු ලැබේ. මිනීමරුවා මරා දැමීමෙන් එය ඔහුට දඬුවමක් වන්නේ නැත. ඔවුන් නොමරා තැබීමෙන් අතිගරු ජනාධිපතිතුමා ඔවුනට නිසි දඬුවම ලබා දී තිබේ.

වර්තමාන ජනාධිපතිතුමා බෞද්ධයෙකි. දාර්ශනිකයෙක් හා නීතිවේදියෙකි. එතුමා මුළු ලොව පිළිගත් දේශපාලනඥයෙකු ද වන්නේය. මිනිසුන් මරා දැමීමට දෙනු ලබන නඩු තීන්දු වලට අත්සන් කරන ලෙස එතුමාට බල කළ හැකි අයෙකු නැත.

බුද්ධිමත් පාලකයින් බුද්ධිමත් ලෙස කටයුතු කරන විට අඥානයින් එම පාලනය අවුල් කිරීම සඳහා විවිධ වාද භේද හා දාමරික හිංසා පීඩා වලට නැඹුරු වෙති.

අද හිරගෙවල් පිරී ඉතිරී ඇත්තේ රටේ අපරාධ වැඩි නිසා නොවේ. මේ හිරගෙවල් ඉංග්‍රීසි පාලන සමයේ ඉදි කල ඒවාය. එකල තිබූ ජනගහණයට ඒවා ඔරොත්තු දුනි. අද පෙරට වඩා සිය ගුණයකින් ජනගහණය වැඩි වී ඇත. එවිට අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ද වැඩිවීම ස්වභාවයකි. කාලයට ගැලපෙන පරිදි යෝධ ඉස්පිරිතාල, යෝධ හිරගෙවල් එමෙන් ම විශාල පාසැල් ගොඩනැඟිලි අවශ්‍ය වේ.

අතිගරු ජනාධිපතිතුමනි! ඔබතුමා මෙතෙක් ලංකාවට කර ඇති සේවය ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිවෙකු විසින් කර නැත. අවංක ජනයා සහ කෙලෙහිගුණ දන්නා අය ඒවා අගය කරති. විරැද්ධවාදීන් කවදත් කොයි දෙයටත් විරුද්ධ වෙන මානසික දුබලයන්ය.

ඔබතුමා මරණ දඬුවම හා අපරාධ වැඩිවීම ගැන විමසා බැලීමට පත් කරන්නට යන කොමිටිය මොළයෙන් වැඩගන්නා කොමිටියික් වෙනවාට සැකයක් නැත. බැරිවෙලා ඒ කොමිටිය විසින් මරණ දඬුවම් වලට ඔබතුමා විසින් අත්සන් තැබිය යුතු යයි නිගමනය කළහොත් එම අලුගෝසු ක්‍රියාව කිරීමට ඔවුන්ටම බාර දෙනවා ඇතැයි සිතමි.

ද්වේෂය, ක්‍රෝධය වැනි පහත් සිත් වලින් පිරුණු අඥානයින්ගේ සිත් සතන් පුබුදු වීමට මෙම කතුවැකිය හේතු වේවා යැයි පතමි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1