ඒ බංකුව…
නුඹයි ඔහුයි
වෙරළ අද්දර බංකුවේ ඉඳං
උන්නත් කුඩෙන් මූණු වහං
ඔහුගේ දෙ අතේ
පැටලි නලියන
ඔය ඇඟිලි තුඩු
හොඳටෝම ඇති මට
අඳුන ගන්නට නුඹව
ඔහොම්මම මූණ වහං
හිමීට ලං වෙලා බංකුවට
අහලා බලං බංකුවෙන්
නුඹ එනකං මං
මඟ බලං උන්නු තරම්…
පැය වලින් නම් ලොකු වැඩි ඇති
බංකුවට ගාණ හදන්න
ඔව්! ඔය බංකුවට!
එලෙස මඟ බලා
දුටු ගමං නුඹ
වෙනස් වන මා
හදේ රිද්මය
දැනුණෙත් බංකුවටමයි
බංකුවට විතරමයි
ඔව්……
නුඹයි ඔහුයි
ඈදිගෙන මුකුළු කරන
ඔය බංකුවටමයි!
දැන්නම් පෙනෙද්දිත්
ඔරවගෙනමයි මං යන්නේ බංකුවට
නුඹේ හොර හිත ගැන
නිකමටවත් මට නොකීව….
ඔව්! ඔය බංකුවට!