ඒකාකාරී….
ක්රීං….. ක්රීං……. එලාමය
නින්දට පෙරම වදින
දෑත වත දොවන
සිත තවම නිදිය
කලිසම් කමිස සපත්තු
තත්පර ගණනකි මෙමට
හිසකෙස් අවුල් කර
බස් නැවතුමට දුවන
කොන්දොස්තර මහ තැන
පැක් කරයි සෙනඟ
ඔතනින් පස්සට!
නෑ නෑ ඉස්සරහට!
කොහේ උන්නත් කම් නැත
සල්ලිනම් ගන්න
මාරු අත නොමැත
ඉතුරු ඉල්ලං යන්න!
ලැජ්ජාව එහි නැත
ගැහැණු පිරිමි තෙරපෙන
දාඩිය මුගුරු බේරෙන
මේකප් සේදී,
සාරි මත පෙරෙන….
හන්සයින් තෙරපෙන
වෙහෙස මා නසන….
නැවතත් සවසට
කඩි මුඩිය ගෙදර දුවනට
කෙල්ලන් කොල්ලන් බල්ලන්
එක පිම්මේ දුවන
මා නිශ්චලව නරඹමි
වෙහෙස වූ නගරය
ගෙදර යන්නට පොරකන
රෑ බෝවී යළිත් නිවසට
බස් රථයකට පැක් වෙන
හන්සයින් තෙරපෙන
වෙහෙස මා නසන….
රාත්රී කෑම වේලට
ලයිව් ඇට් එයිට් ගිලින
හෙට වැඩට යන්නට
අදම සූදානම් වෙන
සියල්ල අවසන
ඇඳ දකින සඳ
ක්රීං….. ක්රීං……. එලාමය
නින්දට පෙරම වදින!