ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය – Resignation is better

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායන මහත්මිය මේ මොහොතේ කලයුත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම යයි අපි යෝජනා කරමු.

අප එසේ කියන්නේ නිකම්ම නොවේ. ඇය සටන් වදින්නට සැරසෙන්නේ අතිශයෙන් බලගතු පාලනයක් සමගය. විධායක බලතල, ව්‍යවස්ථාදායකය තුල 2/3 බලය, රජයේ හොරනෑ මගින් ඇදබාන ඕනෑම බේගලයක් හිස්මුදුනින් පිලිගන්නා ජනතාවක්. හිමි මේ පාලනය සමග හැපෙන්නට ගිය බොහෝදෙනාට සිදුවූයේ පරාජය භාරගෙන පැත්තකට වීමටය. ආසන්නතම උදාහරණය නම් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රමුඛ සරසවි ආචාර්ය සංවිධානය (FUTA)ගෙන ගිය අරගලයයි. තම වැටුප් වැඩිකරගැනීමේ පුද්ගලික අරමුණට එහා ගිය රටේ අධ්‍යාපනය වෙනුවෙන් දල දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතුය යන වඩා පුලුල් සටන් පාඨය මුල්කරගනිමින් එය සිදුකල වෘත්තීය අරගලය මාස 3කට අධික කාලයකට පසු නිමා වූයේ කිසිදු ජයග්‍රහණයක් නොලබාය. (කෙසේ නමුදු මේ අරගලය ජනතාවගේ ඇස් ඇරවූ අරගලයක් වූ බව ඊට සහභාගී වූ ආචාර්ය වරුන්ට ගෞරවයක් ලෙස සටහන් කල යුතුය – එමෙන්ම ෆූටාව රජය සමග ස්වෙච්චා බේරුම් කරණයකට [voluntary Arbitration] යොමුවූවා නම් යම් ජයග්‍රහණයක් ලබාගත හැකිව තිබූ බව ද ලේඛකයා ගේ අදහසයි).

 මෙවන් පරාජිත සටන් වලට උදාහරණ ඕනෑ තරම් ගෙන ආ හැකි නමුදු පාලකයන් සමග හැප්පී ජයලැබූවන් පිලිබඳව නම් කිවහැක්කේ ඔවුන් ඉතාම අතලොස්සක් පමණක් ම බවයි.පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනත පැරදූ සේවක ප්‍රජාව (මෙහිදී  රොෂේන් චානක නම් කරුණයා තම ජීවිතය ද කැපකලේය),  ප්ලාස්ටික් කූඩ නීති පැරදවූ ගොවියන් හා වෙළද ප්‍රජාව, බඳු අතේ ඇඟිලි ගණනටත් අඩු අවස්ථා ගණනකදී පමණි මේ පාලනය පරාජය වී ඇත්තේ.

එවන් පසුබිමක අගවිනිසුරුවරියට එරෙහි විස්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව පැහැදිලිය. කොමිනියුට්ස්/සමසමාජ වැනි පක්ෂ වල සාමාජිකයින් කීප දෙනෙක් මේ යෝජනාව සම්බන්ධයෙන් රජයට එරෙහි ස්ථාවරයක සිටිය ද ඒ අඩුව පිරිමසාගැනීමට එදා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනයට අවශ්‍ය 2/3 බලය සපයාදීම වෙනුවෙන්  ඉදිරිපත් වූ උපේක්ෂා ස්වර්ණමාලිලා ද මනූෂ නානායක්කාරලා ද වැන්නවුන් ඕනෑම මොහොතක සපයා ගැනීමට රජයට හැකියාව ඇත. අනෙක විස්වාසභංගයක් ජයගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක් පමණි.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පත්ව ඇති තේරීම් කාරක සභාව තුල විනිශ්චයකරණයේ හසල අත්දැකීම් ඇති අය කෙසේවුව ද , නීතිය පිලිඹද ප්‍රාමාණික දැනුමක් නොමැති අය ද ඇතුලත් වීම හාස්‍යජනකය. (ඔවුන් විනිශ්චයට ලක්කිරීමට යන්නේ නීතිය පිලිඹද ආචාර්ය උපාධිධාරිනියකි)

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා වලට පිලිතුරු පසුගිය දා එතුමියගේ නීතිඥවරුන් විසින් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට තිබිණි. එසේම තේරීම්කාරකභාවට මුහුණදීම සඳහා එතුමිය සති 6 ක කාලයක් ඉල්ලා ඇති බව ද අද පුවත්පත් වල පලවිය. එසේ නම් එතුමිය මෙයට මහුණදීමට සූදානම්ය. අපි ඊට සුභපතමු.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 17/11/2012, in කාලීන. Bookmark the permalink. 14 Comments.

  1. මෙහෙමයි ජය ශ්‍රී. ඔය වැඩේ හිතන තරම් ලේසී නෑ, නීත්‍යානූකූලව ඉදිරියට ගෙන ගියොත්. නමුත් එළවන එක එලවනවමයි. කාළය පිළිබඳ ප්‍රශ්ණයක් තියෙන්නේ. මේ නෝනට වෙන්නෙත් ජනරාලට වෙච්ච දේමයි. අන්තීමට පැන්ෂොන් එකත් නැතුව යන්න වෙන්නේ. කොතරම් ජාත්‍යන්හර බලවේග ආවත් ඒවා සත පහකට ගනන් ගන්න කෙනෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඕන නම් පොදු රාජ්‍ය මන්ඩල රැස්වීම නැතිවෙයි. එච්චරයි. ඒවා මෙයාලට ගානක් නෑ. හරක් සෙට් එක එයත් එක්ක ඉන්න එකයි එයාට වැදගත්. සුද්දෝ මේක ගහල ගන්නෙත් නෑනේ. මොකෝ මේකේ තෙල් තියෙනවා කියලයි.

    • ඇත්තටම මාතලන්, දැන්ම නම්බු පිටින් අයින් වුනොත් විශ්‍රාම වැටුපවත් බේරගන්න පුලුවන්.

  2. අඩුගානෙ පැන්ෂන්එක බේරගන්න පුළුවන් වෙයි නේද? ලිපියට එකඟයි. හැප්පෙන්න අමාරුයි. මාත් මේ ගැන ලිපියක් ලියල පබ්ලිෂ් කලා හෙටට!
    මොකෑ ජයශ්‍රී පේන්න නැත්තෙ‍?

  3. අර තේරීම් කාරක සභාවට පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට සහායට එක් පක්‍ෂයක් නීතීඥයො පත්කළා කියල අද පත්තරවල තියෙනව මම දැක්ක. කොහොමටත් දැන් දැන් පාර්ලිමේන්තුවෙ තත්ත්වෙ හැටියට දැන උගත් මන්ත්‍රීවරු හොයා ගන්න එක එන්න එන්නම අමාරුවෙනව. ජෝකර්ලට, නළු නිළියොන්ටනේ ජනතාව වැඩිපුර මනාප.

    අල්ලස් කොමිසමෙනුත් ඇයට විරුද්ධව ඔවුන්ට ඇවිත් තියෙන චෝදනාවලට නිදහසට කරුණු දක්වන්න කියල ඇයට දන්වන්න යනවළු. තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්නයි කස්ටියගෙ සූදානම. එකාතකට ස්ත්‍රීයකට විරුද්ධව සමස්ථ රජයකම ශක්තිය වැය කිරීම හාස්‍යජනකයිනේ.

    අනෙක් අතට ඔවුන් මෙයින් දෙන පණිවිඩය, අපිත් එක්ක ඉන්න තුරු මොන බලු වැඩේ කරත් කමක් නෑ-අපිටවිරුද්ධ වුනොත් උඹට බුදු සරණයි. පහුගිය දවස්වල බර්ටි පොඩ්ඩක් රඟන්න ගත්ත, එයාගෙ පරණ ෆයිල් එකක් ඕපන් කරන්න යනවය කියල පොඩි රාවයක් ගියා, මිනිහ හිටියටත් වඩා කීකරු වුනා. පැහැදිලිවම රජය දිගින් දිගටම පෙන්වමින් ඉන්නෙ තමන්ට නීතිය සාධාරණත්වය ඉෂ්ඨ කිරීමට අනවශ්‍ය බවත් එය ඕනෑම අවස්ථාවක තමන්ගෙ වාසියට යොදා ගැනීමට තමන් මැලි නොවන බවත්.

    මම නම් හිතන්නෙ ඇය ඉල්ලා අස්විය යුතු නැහැ. එය ප්‍රසිද්ධියෙ වරද පිළිගැනීමකට සමානයිනේ. ඔවුන් මේ කරන්නෙ මොකක්ද කියල ඔළුවක් තියෙන හැමෝම දන්නව, ඉතිං ඇයට මෝඩකමින් ඉදිමිච්ච රජයක් සමඟ සටන් කිරීමත් අසීරු බව ඇත්ත, ඉතිං විශ්‍රාම වැටුපට කෙළවුනත් ඇයට තියෙන්නෙ එයාල ධූරයෙන් නෙරපන තුරු ඔළුව කෙලින් තියන් ඉන්න. (පරීක්‍ෂණය කෙරෙන අතරතුර නම් ඇය ධූරයේ කටයුතුවලින් ඉවත්වෙල සිටින එක හොඳයි.) අනාගතයෙ කෙදිනක හෝ එතුමියට යුක්තිය ඉෂ්ඨ වේවි. අපි බලා සිටිමු.

    • අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ පැවැත්වීම ගැන එතරම් ප්‍රශ්නයක් නෑ. මොකද එතනදි උත්තර බඳින්න තැනක් තියනවනේ. නමුත් දෝෂාභියෝගයේදි උත්තර බඳින්නෙ කාටද?

      මේකත් හරියටම ෆොන්සේකට විරුද්ධව නැඟුන චෝදනාව වගේ තමයි. ඉල්ලා අස්වීමකින්/සමාව ගැනීමකින් තොරව ගැලවිල්ලක් නෑ. සියල්ල නැතිකරගෙන ඔලුව කෙලින් තියාගෙන ඉන්නවද කියන කාරණාව එතුමිය විසින්ම සිතා බැලියයුත්තක්.

      • අර හැරෙන හැරෙන පැත්තට කතාකරන සරත් එන් සිල්වා ගිය සතියෙ කියල තිබුණෙ ඔය උත්තර බඳින්න තැනක් නැති වුනේ අනුර බණ්ඩාරනායක වීරයවෙන්න ගිය නිසා කියල.

        සියල්ල නැති වුනත් ඔළුව කෙලින්තියන් ඉන්න එක වැදගත් කියලයි මම නම් හිතන්නෙ.

  4. ලංකාවේ මලල ක්‍රීඩකයෙක් හිටිය. ඔහු ජපානයේ පැවති ඔලිම්පික් උළෙලට ලංකාව නියෝජනය කළා. ඔහු සහභාගි වුනේ මැරතන් තරගයට. ඔහු තරගය අවසන් කළේ අන්තිමයා හැටියට. ඒත් ක්‍රීඩා රසිකයෝ මැරතන් රන් පදක්කම දිනූ තැනැත්තාටත් වඩා ඉහළින් අත්පොලසන් දෙමින් ඔහුගේ අවසානය පිළිගත්ත. ඔලිම්පික් තරගයකදී ලංකාවේ නම වඩාත් ඉදිරියට ගෙන ගිය තැනැත්තා හැටියට ඔහු නම් කරන්නට පුලුවන්. එන්එච්කේ රූපවාහිනිය ඔහු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් තැනුව. ඒ විතරක් නෙවෙයි ඔහු ජපානයේ විරයෙක්, අපට අමතකව ගිය. ජය කියන්නෙ අපුරු දෙයක්. ජය ගන්න සමහරු පරදින අතරෙ පරදින සමහරු ජය ගන්නව. රාත්‍රිය අවසන් නැහැ. මේ මලල ක්‍රීඩකයාගේ නම ඔබ සමග බෙදාගන්නට නොහැකි වීම ගැන මා කණගාටු වෙනව. ඒ නමත් අරගෙන බ්ලොග් අඩවියට ආයෙත් වෙලාවක ගොඩ වෙන්නම්.

  5. අපට වීරයෙක් නොවූ ජපානයට වීරයෙක් වූ මැරතන් ධාවකයාගේ නම කුරුප්පු කරුණාරත්න.

  6. චෝදනා බරපතලයි. ඒ නිසා නිසි විනිශ්චයකට ලක් කල යුතුයි කියලයි මා කියන්නේ.

  7. ඉන්ද්‍රජිත්

    ඔලුව ගලේ ගහගැනීමේ උපහැරණය ගැන කියනකොට මට මතක් වෙන්නේ ඉස්සර අහලා තිබුන චීන කතාවක්.
    එක කාලෙක මහලු මිනිහෙක් මහා දුර්ග මාර්ගයකින් නගරයෙන් වෙන් වෙච්ච කඳුකර ගමක පැල්පතක එයාගේ පුතුන් දෙන්නාත් එක්ක ජීවත් වුනා. මේ මිනිස්සුන්ට සමාජය එක්ක ගනුදෙනු කරන්න සිදු වුනේ ඇති දුෂ්කර ගමනක් යමින් කඳුවැටි තරණය කරමිනුයි. බොහෝ කලක් මෙහෙම ජීවත් වුනාට පසුව, දවසක් මේ මහලු පියාට මෙහෙම අදහසක් ආවා .
    ” මේ කන්ද නිසා අපේ ජීවිත මොන තරම් දුෂ්කරතාවකට පත්වෙලාද තියෙන්නේ.. මේක කපලා අයින් කරගත්තොත් මීට වඩා අපි කාගේත් ජීවිත පහසු වෙයි නේද.?” මෙහෙම හිතපු වෙලාවේ පටන් මිනිහා උදල්ලකුයි කූඩෙකුයි අරන් ගිහින් කන්ද කපන්න පටන්ගත්තා. පුතාල දෙන්නත් උදවුවට ආවා.
    මේ පාරෙන් දෝලාවක නැගලා ගමනක් යන පඬිවරයෙක් මේ වැඩේ දිහාව කීප දවසක් බලාගෙන ගියා. දවසක් පඬිවරයා දෝලාව නවත්වන්න අණ කරලා මහලු පියාට කතා කළා. කතා කරලා ඇහුවා මොකක්ද මේ කරන්න යන්නේ කියලා. ” මම මේ කන්ද කපලා නගරයට යන්න පාරක් කපනවා!” කියලා පිළිතුරු ලැබුනා.
    මේක අහලා පඬිවරයා කොක් හඬ දී සිනාසුනා . “උඹ මහලු මිනිහෙක්. මේ කන්ද චීනයේ විශාලම කන්දක්. උඹලා කොහොමද මේක කපලා ඉවර කරන්නේ… නිකන් මැරෙන්න හදන්නේ නැතිව ගහක් කොලක් වවාගෙන ජීවත් වෙයල්ලා”
    මහලු පියා දුන්න පිළිතුර මෙන්න.
    “ඔබතුමා පඬිවරයෙක් වුනාට මගේ නූගත් පුතුන්ට තිබෙන මොලේ වත් ඔබතුමාට නැහැ. මා මහල්ලෙක් බව හැබැව. මම නැති කාලෙක මගේ පුතුන් දෙන්නා කන්ද කැපීම නොකඩවා කරාවි. ඔවුන්ට පුතුන් ඉපදුනාම ඔවුනුත් නොකඩවා ඒක කරගෙන යාවි. මේ විදියට මට දැකගන්න නොලැබුනත් කවදා හරි ඔවුන් නගරයට පහසුවෙන් යන්න වැඩ සලසාගනීවී. මගේ මී මුනුපුරු පරපුර දක්වා අපි මේක නතර කරන්නේ නැහැ. ඔබතුමාට එකක් මතක නැති වුනා. මොකක්ද ඒ? මේ කන්ද එක පස් කූඩෙකින් වත් කුඩා වෙනවා මිස ලොකු වෙන්නේ නැති බව…”

  8. Thanks all who post your comments here.

  1. Pingback: ශිරානි බණ්ඩාරනායක ඉල්ලා අස්විය යුතු ද? « Management in Sinhala

  2. Pingback: තේරීම් කාරක සභා විමර්ශනය අවසන් ! PSC’s investigation finished « මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................