මත්වීම හා මුලාවීම

මත්වීම හා මුලාවීම අතර ඇති වෙනස ඉතා අල්පය. මත් වු පුද්ගලයා බාහිර වශයෙන් ඒ බව පෙන්වයි. මුලා වූ පුද්ගලයා හඳුනාගත හැක්කේ ඔහුගේ කියුම් හා කෙරුම් අනුවය. බොහෝ උගතුන් තම උගත්කමින් මත් වී සිටිති. සමහරු මුලා වී සිටින තරම ඉතාම කණගාටුදායකය.

භෞතික දෙයකින් මත් වූ අයෙකු එයට ඇබ්බැහිවීමෙන් වලක්වා ගැනීම නිසා සුවකර ගත හැකිය. එහෙත් තමන්ගේම සිතුවිලි වලින්, තීරණ වලින් හා අන්ධ විශ්වාසයන් ගෙන් මුලා වී, මත් වී සිටින අය උගතුන් ද වී නම් ඒ අය ගලවා ගැනීමට කිසිවෙකුට බැරිය. හේතුව ඔව්හු තර්ක වලින් තමන්ගේ ම මතය (නොහොත් මත්වීම) සනාථ කරන්නට තරම් උගතුන් වීම ය. තර්කයෙන් පමණක් ජීවත්වීමට වෑයම් කරන උගත් හිඟන්නන්ගෙන් ලොවට අඩුවක් නැත.

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ කරුණු වලින් මත් වූවන් මුණ ගැසේ. රජයේ ප්‍රතිපත්ති වලට එරෙහි වීම නිසා සිහිය අවුල් කරගත් උගතුන් රාශියක් මට මුණ ගැසී ඇත. ආගම හා භක්තිය කරට ගෙන උමතු වී සිටින අය අපමණය. මෙසේ මත්වීම වස විස වලින් හෝ මත් ද්‍රව්‍ය වලින් මත්වීමට වඩා භයානකය. මෙම ආගමික මත්වීම් වලින් මිනිසා බේරා ගැනීම් ඒ තරම් අපහසු කාර්යයක් වන බැවිනි.

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් වැළඳ ගෙන බදාගෙන සිටින මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. එය සිහි මුලා වූ ගතියකි. මුලා වීමට කැමති ජනයා අතර මෝඩයින්ට විශේෂ වැදගත් තැනක් ලැබේ.

මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ජනයා සිටිති. ඔව්හු බාහිර වශයෙන් නරයින් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන් ම තවම පරිනාමය නොවූ වානරයින්ය.

-සුමනදාස සමරසිංහ