බටු.


බටුගොඩ , බටුගෙදර , බටුවත්ත , බටුවන්දර , බටුවන්තුඩාව , බටුවිට මේ ලංකාවේ බටු ගම්මානය. තවත් ඒවා තිබෙන්නට පුළුවන. මේ එකකවත් බටු වවනවාදැයි මා නොදනී.

සාමාන්‍ය කාළගුණ තත්වයන් යටතේ එතරම් කරදරයකින් තොරව වවා ගත හැකි එළවළුවකි, බටු. ඉඩ කඩ නැත්නම් මල් පෝච්චියක වුවද වැවිය හැකි, එතරම් උස නොයන පඳුරු වර්ගයේ පැළෑටියකි.

බටු වර්ග කීපයකි.

තිබ්බටු: ඉතා කුඩාය. ගෙඩිය කුඩා උනාට ගහ අඩි හත අටක් උසට වැවේ. තිත්තය. තිත්ත- බටු, තිත්-බටු වී පසුව තිබ්බටු වී ඇත. කොස් ඇට ටිකක් හාල් මැස්සන් හෝ තිත්තයින් සමඟ මලවා ගත් තිබ්බටු මැල්ලුම සමඟ සුදු හාලේ බත් බඩ පැලෙන්ට ගිල දැමිය හැක.

වම් බටු: වම් බටු ගෙඩියක් අඟල් පහේ සිට 10 ක් 12 ක් පමණට විශාලවේ. සමහර ඒවා තද දම් පාටය. සමහර ඒවා සුදු පාට පසුබිමේ දම් පාටින් වයිරන් මෝස්තරයක් වැටුනු ඒවාය.
හොද්දට උයන ලද වම් බටු සමඟ පාන් කෑමට මා ඉතා කැමතිය.

එළ බටු : තලන බටු කියාද කියයි. බිත්තර ගෙඩියක් බඳුය. යාන්තම් තිත්ත ගතියක් ඇතත්
රසවත් වෑංජනයකි. අපේ එක්කෙනා නම් තලන බටු උයන්ට වැඩිය කැමති නැත. ඒ සුද්ද කරන විට ඒවායේ කහටට ඇඟිලි කැත වෙන නිසාය. ගම්වල කාන්තාවන් තලන බටු කුඩා බෑගයක දමා පොල්ලකින් තලා මදය ඉවත් කරන නිසා ඒවාට තලන බටු කියා කියයි.

වල් බටු: පඳුර කටු සහිතය. තලන බටු වාගේම වුවත් කෑමට නුසුදුසුය. කැලෑවේ වැවෙන්නකි.

කටුවැල් බටු : මේ සිංහළ කෂායට ගන්නා බටු විශේෂයකි.

මා බටු ගැන ඇසුවේ ඉතාම කුඩා කාලයේ ;

අතුරු මිතුරු – දඹදිවතුරු
රාජ කපුරු සෙට්ටියා
අළුත ගෙනා මනමාලිට
හාල් පතක් ගරාලා
බටු කොරහක් උයාලා
ඉහළ ගෙටත් බෙදාලා –
පහල ගෙටත් බෙදාලා කියමින් සෙල්ලම් කරන විටය.

පසු කලෙක ඉලංදාරි කාලේ සිදාදියේ පාරක ඇවිදින්ට යන විට ගෑණු දෙන්නෙක් රණ්ඩු වෙන විටද බටු ගැන අසන්නට ලැබුණේය.

ඊටත් පසුව තරුණ කාලයේ නාරාහේන්පිට ගෙදරක බෝඩිම් වී ඉන්නා කාලයේ , බර්ගර් හෝ ලන්සි ගෑනුන් දෙන්නෙක් රණ්ඩු වෙන විටය. සිංහලෙන් හා ඉන්ගිරිසියෙන් හරි හරියට බැන ගත් එක් ගෑණියක් මදක් ඈතට ගොස් අනික් ගැහැණියට ” බ්‍රින්ජෝල් ” යයි කීවාය.

වම්බටු වලට ඉන්ග්‍රීසියෙන් බ්‍රින්ජෝල් brinjal කිව්වත් ඇමරිකාවේ කියන්නේ එග් ප්ලාන්ට් egg plant කියාය. ඇමරිකාවේ වම්බටු එතරම දිගට වැවෙන්නේ නැත. කුඩාවට බිත්තරයක හැඩයට ගෙඩි හැදෙන නිසා එසේ කියයි.

බටු යන වචනය ප්‍රමාණය පෙන්වීමට යොදා ගැනේ. බටු මිරිස් , බටු මීයා , බටු ගිරවා
යනාදී වශයෙන්ය.
බටු යන වචනය ආදරය ප්‍රකාශ කිරීමටද යොදා ගනී. මගේ සුදු බට්ටෝ , බට්ටී ආකාරයෙන්ය. මගේ දුවලා කුඩා කාලයේ බටු ගෙඩි දෙකක් වගේ හුරුබුහුටිය.

බාලාංශ පන්තියක බටු ගෙඩියක් වගේ කුඩා හුරුබුහුටි කෙල්ලක් විය. පන්තියේ තරුණ ගුරුතුමිය ඇගේ හිස අතගා හුරතල් කර , ” බබා.. බබාලාගෙ ගෙදර වෙන කවුරුද ඉන්නේ ?” ඇසුවාය.
” මමයි… තාත්තියි.. ගල් බට්ටියි..” ගුරුතුමියට හිනා ගියේය. ” කවුද මේ ගල් බට්ටි කියන්නේ?”
” ටීචර් දන්නෙ නැද්ද ? ගල් බට්ටි කියන්නෙ අපෙ අම්මට”
ගුරුතුමියට තවත් හිනා ගියේය. ” කවුද අම්මට ගල් බට්ටි කියන්නේ ?”
” අපේ තාත්තා”
සමහරවිට තාත්තා , ආදරේට එහෙම කියනවා ඇතැයි ගුරුතුමිය සිතුවාය.
” හරි බබාලගෙ ගෙදර බබයි , බබාගෙ තාත්තයි , ගල් බට්ටියි.. වෙන කවුද ඉන්නේ ..?”
” ඇයි සූකිරි බට්ටි ?”
” ඒ කවුද ඒ ?”
” ඒ අම්මගෙ නංගී…”

බාලිකා විදුහලක උගත් චාන්දනී නැවතී හිටියේ හොස්ටල් එකේය. ඇය හොස්ටල් එකේ කුස්සියෙන් වම් බටු හොරකම් කරනවා අතටම අසු විය. සියල්ල හෙලි විය. ලැජ්ජාව නිසා ඇය එම පාසලෙන් අස්වී උසස් පෙළ හැදෑරීමට ආවේ මිශ්‍ර පාසලක් වූ අපේ පාසලටය. අපිටද අර ” බටු ” කතාව ආරංචි විය. අපි ඇයට ඇහෙන්නට ” බට්ටේ රස නැට්ටේ” කීවෙමු. ඇය ගෙදර ගොස් එය ඇගේ පියාට කියා ඇත. රජයේ ඉහළ නිලයක් දරන ඔහු පසු දින මොරිස් මයිනර් රියෙන්ම පාසලට අවුත් කෙළින්ම ප්‍රින්සිපල්ගේ ඔෆීස් එකට ගියේය. ටික වේලාවකින් නිහාල් ගුරුසිංහ , උපාලි කොඩිකාර ,සූරිය බණ්ඩාර , පාලිත අබේකෝන් යන අයවළුන්ට ඔෆීස් එකට යන්ට සිදුවිය.
විදුහල්පති තුමා මතුවට එහෙම කතා නොකියන ලෙසත් සියළු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස ඉන්නා ලෙසටත් අපට අවවාද කළේය. අප එන තුරු එළියේ රැක හුන් චාන්දනී ගේ පියා අපට ” බ්ලඩි රාස්කල්ස්” යයි කීවේය.

මේ අලජ්ජි බටු කතා අමතක කොට බටු වලින් රසවත් වෑංජනයක් හදා ගන්නා හැටි අපි බලමු.
ඒ බටු මෝජුවයි.

අවශ්‍ය දෑ;
වම් බටු රාත්තල් 1
සුදුලූනු බික් 5
ඉඟුරු ස්වල්පයක්
අබ කුඩු තේ හැන්දක්
කරාඹු නැටි 4 ක් 5 ක්
එනසාල් ගෙඩි 2
රතු ලූනු ගෙඩි 10
අමු මිරිස් කරල් 5
රට ඉඳි ගෙඩි 5
කජු ටිකක්
ලුනු
සීනි හැඳි 3
මිරිස් කුඩු හා කෑලි මිරිස් ටිකක්
විනාකිරි

සාදන ක්‍රමය;

වම් බටු තීරු කපා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැද ගෙන තෙල් බේරෙන්න
පසෙක තබන්න.

කජු පොඩි කෑලි වලට කපා ගන්න. අමු මිරිස් තීරු වලට කපා ගන්න. මේ සියල්ල හා
රතු ලුනු ගෙඩි පිටින්ම අර කලින් තෙල් වලින්ම යාන්තමට බැදගන්න

ඉඟුරු , සුදු ලූනු , අබ , කරඹු නැටි, එනසල් එකට අඹරා ගෙන විනාකිරි ටිකක් ලිප තියා රත් වෙන කොට එයට මිරිස් කුඩු හැඳි 3 ක් , කෑලි මිරිස් හැඳි 2 ක් ලුනු කුඩු ටිකක් ඉහත මිශ්‍රනයට දමා කලවම් කර විනාඩි 2 ක් පමණ තැම්බෙන්න අරීන්න .එයට සීනි හැඳි 3 ක් රට ඉඳි දාගන්න .මිශ්‍රනය උතුරන කොට බටු තිරු කලවම් කරගන්න.

රස නම් විතරක් කමෙන්ටුවක් දමන්න.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

19 Responses to බටු.

  1. indika gamage පවසයි:

    උඹත් නිහාල් අයියේ බටු ඇටයක් වගේ හිටියට නොදන්නා දෙයක් නෑනේ……. බොක්කෙන්මයි කිව්වේ…..

  2. සොසි පවසයි:

    බාලිකා පාසල් වලට “වම්බටු ස්කෝලෙ “ කියා කියයි.ශරීරයේ යම් යම් අවයව වල හැඩය ගන්නා ඇතැම් එළවළු පලතුරු සහ කෑම වර්ග තහනම් කරන ලෙස ඉල්ලා සිටිමු ද? 🙂

  3. praveena පවසයි:

    ඔය බටු මෝජුව කොහොම හරි හදනවා හදනවාමයි. අර අබ අරවා මේවා කොටන්ට තමා බැරි. කුඩු දැම්මොත් මොකද වෙන්නේ?

    බටු හොදි නම් මෙච්චර රහ නැතුව ඇති. 🙂

    // තිත්තයින් සමඟ මලවා ගත්//
    මේ වැව් මාලු ජාතියක්ද? කරවල ජාතියක්ද? තිත්තයෝ කියන්නේ තිත්ත හන්දද?

  4. දුකා පවසයි:

    යකඩෝ මේ උපාලි කොඩිකර කිව්වේ අර පලාත් සභා මන්ත්‍රී කොඩිකාර ගැනද . . අර මන්ත්‍රී වෙන්න ඉස්සර මල ගෙවල් වල නයිට් ගහපු කෙනා ඔව් ඔව් අර එයාගේ පවුල දැන් මහරගම නගරාධිපතිනේ අර ඒ ගෑනු කෙනා හොරකම් කලා කියලා උපසභාපති සාක්කි එක්ක චෝදනා කලාම උපසභාපතිට බඩු බනිස් උනු නගරාධිපතිගේ මහත්තයා උපාලි කොඩිකාර . . එයා ද ඒ . . ?

  5. රංගි පවසයි:

    උදේ පාන්දරම නිහාල්ගේ බටු කතා කියවලා අද මාත් බටු තෙලට හැදුවා හාල් මැස්සෝ දාලා. ඒ උනාට අර තිත්ත ටිබ්බටු හාල් මැස්සෝ එක්ක තෙලට දාලා කනවා වගෙ නම් නෑ.

    වල් බටු කියන්නේ මොනවද? හේන් බටු කියලා වම් බටු වලට වඩා පොඩි තලන බටු වලට වඩා ලොකු එකකුත් තියෙනවා මම දැක තිබෙනවා.

  6. dayal bathee පවසයි:

    රණ්ඩුවත් හොඳා!………………………… brinjal….

  7. kathandarakaraya පවසයි:

    තායිලන්තයේ ග්‍රීන් කරියක් තියෙනවා තිබ්බොටු සහ චිකන්. මාර රහයි!

  8. Alchemiya පවසයි:

    ඇල්කෙමිච්චිත් ඔය රෙසිපියටම බටු හදනවා…. දන්න කියන හැමෝම අතරේ බොහොම ජනප්‍රිය කෑමක් ඒක……
    ඔය බටුවිට, බටුවන්තුඩාව, බටුගෙදර ආදී නම් තියෙන හැමෝටම කියන Nick Name එක බට්ටා වෙච්චි එකත් හරිම ජොලි නේද ?
    ඇල්පිටියෙ තියෙනවා බටුවන්හේන කියලා ගමක්… මාව ශිෂ්‍යත්වය පාස් කරන්න මහන්සි වුන පොන්නම්පෙරුම සර් හිටියෙ බටුවන්හේනෙ….

ප්‍රතිචාරයක් ලබාදෙන්න