ඔබ මත් වී ඉන්නේ කුමකින් ද?

කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය.

මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එමනිසා මත්ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි.

අප අතර ජීවත්වන ජනයාගෙන් වැඩි දෙනෙක් අහංකාර කමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස හැසිරවීමට සමත් අහංකාරකම, දැඩි මෝඩකම නිසා සිතක උපදින අධර්මයකි. ගංජා සහ අබින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා උමතු වූ අයෙකු මත් වූ අයෙකු මෙන් අහංකාරකම නැමති සිතුවිල්ල නිසා මත් වූ අයෙකු හැසිරෙයි.

අහංකාරකමින් මත් වූ පුද්ගලයා ඉතා ටික කලක දී සමාජයෙන් කොන්වෙයි. ඔහු යන එන සෑම තැනක දී ම අන් අයගේ අප්‍රසාදයට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයෙන් කොන්වන පුද්ගලයා ස්වකීය පාළුව මකා ගැනීමේ මාර්ගයක් වශයෙන් බෝතලයකට හෝ මත්ද්‍රව්‍යයකට සමීප වෙයි. ඔහු තම ඉදිරි කාලය ගත කරන්නේ මත් වී සිටීමෙනි. මත් ද්‍රව්‍යයකට කෙනෙකු ඇබ්බැහි වන්නේ යම්කිසි උමතු භාවයක ප්‍රතිඵලයක් වශයෙනි.

රාගයෙන් මත් වූ අයෙකු ගැන සිතන්න. ඔහු හෝ ඇය එම අවස්ථාවේ සිටින්නේ උමතු වුවෙකු ලෙසිනි. එයට හේතුව රාගය උමතුවක් වීම නිසා නොවේ. නමුත් රාගය උත්සන්න වීමෙන් උමතුවක් ජනිත වීමය. තිරිසන් සතුන් දෙස බැලීමෙන් මෙම උමතුව වටහා ගැනීමට පහසුය. මිනිසා තිරිසනාට වඩා වෙනස් වන්නේ තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගත හැකිවීම අතින් පමණකි. අලි ඇතුන්ගේ මද කිපීම ශාරීරික රසායන ක්‍රියාවන් නිසා සිදුවෙයි. මිනිසුන්ගේ මද කිපීම නොහොත් කින්නර පිස්සුව එවැනිම රසායනික ඇවිස්සීමකින් සිදුවේ.

ශාරීරික රෝගාබාධ නිසා ඇතිවන මත්වීම් අතර නිදිමතය ද එකකි. ශරීරයට අවශ්‍ය පමණට වඩා නිදිමත වීම ද අහිතකරය. සොබාවික නිදිමත අපට හිතකරය. අස්වාභාවික නිදිමත හා නින්දට ඇබ්බැහිවීමක් සිදුවීම අහිතකර වන්නේය.

බාහිර දෙයින් මත් වී සිටින ජනයා හැර අපි සෑම කෙනෙක්ම අපේ ම මනස තුලින් මත්වීමට හැකි සිතුවිලි උපදවා ගෙන සිටිමු.

මිනිසුන් ශෝකයෙන් මුසපත් වන බව ඔබ දැක ඇතැයි සිතමි. ක්‍රෝධය, කෝපය, ඉරිසියාව හා දැඩි ද්වේෂය මිනිසුන්ගේ සිහි විකල් කරවයි. විසඥවීම, සිහිනැතිවීම, සිහිමුර්ඡා වීම, උන්මාදය, ඔල්මාදය හා කෝපයෙන් වෙව්ලීම වැනි සිද්ධීන් ඔබ දැක ඇත. ඉහත කී සෑම ඉරියව්වක්ම උමතුවක ලක්ෂණයකි. කෝපය ඉහවහා යෑම නිසා ඇතැම් දේශපාලනඤයින් දත්මිටි කමින්, අත් මිටි මොළවා ගෙන වෙවුල වෙවුලා කතා කරන අයුරු මා දැක තිබේ.

එසේම කෝපය, ක්‍රෝධය, වෛරය හා දැඩි අහංකාරකම මුල් කරගෙන සිහි විකල වූ අය මට මානසික රෝහල් වල දී හමු වී ඇත. බාහිර වශයෙන් ශරීර ගත කරනු ලබන මත්පැන් හා මත්ද්‍රව්‍ය හැරුණු විට ශරීරය තුලින් ම නිපදවා ගන්නා මත්වීම එකසේ භයානක බව කිව යුතුය.

දුම්පානයට ඇබ්බැහි වූ අය හිටි අඩියේ දුම්බීම නතර කිරීම නිසා දැඩි මානසික අසහනයට පත්ව සුළුවෙන් සිහි විකල වූ අය ලෙස හැසිරෙති. ඔවුනට මානසික සමබරතාවය තබා ගැනීමට සිගරට් දුම් අවශ්‍ය වී තිබුණි. දුම් බීමෙන් සිහි විකල වූ මොළයේ සෛල එය නැවැත්වීම නිසා නැවත වරක් අසංවර වී පුද්ගලයා පෙළන්නට ගනී. කෙසේ හෝ ඔහු එයට හසු නොවී ඉවසා ගෙන සිටිය හොත් දුම් නැතිව සුවසේ සන්සුන්ව සිටීමට සෛල පුරුදු වෙයි. වෙන ඕනෑම මත් ද්‍රව්‍යයක් වුව ද එසේමය. ඕනෑම මානසික අධර්මයක් වුව ද එයට ජීවත්වීමට හා උපත ලැබීමට අවශ්‍ය ආහාර නොලැබීමෙන් මැරී යයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1