ඔබ එකතැන කරකැවෙන්නේ ඇයි?

වමට හැරී කොපමණ වේගයෙන් කැරකැවුනත් අන්තිමේ දී අඩියක් හෝ ඉදිරියට නොගොස් ඔබ එකම තැනක සිටින බව පෙනෙනු ඇත. දකුණට හැරී කොපමණ වේගයකින් කරකැවුනත් ඔබ කොහෙවත් ගිහින් නැත. එකම තැනක කරකැවී ඇත.

ඉහත සඳහන් කළේ ඔබ අසා ඇති දේශපාලන පිල්වාදය ගැන නොවේ. මානසික නිරවුල්තාවය ගැන අවබෝධයක් දීමට වම හා දකුණ යන දිශා දෙක තෝරා ගැනීමකි. මනස නිරවුල් කරගැනීමට අවශ්‍ය පුද්ගලයා සියළුම මානසික බැඳීම් වලින් නිදහස් විය යුතුය. ඇතැම් උගතුන් ගන්ධබ්බයෙකු ඇති බව ඔප්පු කිරීමට ගන්ධබ්බවාදයක එල්බ ගෙන එහි එරී සිටිති. භූත සංකල්ප මිථ්‍යා විශ්වාස හා ගුප්ත දේවල් ගැන සිතින් දරා සිටින පඬිවරයා උගතෙකු වූවත් බුද්ධිමතෙකු නොවේ. මානසික සිරකරුවෙකුට බුද්ධිමතෙකු යැයි කිව නොහැක.

ධර්මයෙන් පවා සිත නිදහස් කරගත යුතුය. ධර්ම ගෞරවය හා භක්තිය යන මෝහන වලින් මිදීමට නොහැකිව මානස සිරකරගෙන පුංචි මානසික ලෝකයක ජීවත්වෙන අය බොහෝය.

උගතුන් තම උගත්කම නැමති සීමාවේ කොටු වී මානසික සිරකරුවන් බවට පත් වී සිටිති.

සිතේ ස්වභාවය කුමන ධර්මයක (අධර්මයක) හෝ ඇලි ගැලී සිටීමයි. මැලියමක් ඒ මැලියමටම ඇලී සිටින්නාක් මෙන් සිතත් සිතටම ඇලී සීටීමට මහත් ආශාවක් දක්වයි. සිතුවිල්ලකට ඇලී නොසිටින්නට හැකියාවක් උඩු සිතට නැත. ධ්‍යානයට සමවැදීම යනු එක් සිතුවිල්ලක එල්ලී ගෙන සිටීමයි. එහි ගොණු කරගත් සිතක පහළ වන ශක්තිය ඇත.

අවබෝධයක් ලබා ගැනීම සඳහා සිත ගොණුවිය යුතුමය. දුවන චංචල සිතක් අවබෝධයක් නොලබයි. බලවත් මානසික අසහනයක් පවතින අවස්ථාවක පොතක් පතක් කියැවීමට හැකිවුවත් කියවූයේ කුමක්ද කියා අවබෝධයක් නැත.

උගත්කමින් උසස් තැනක වැජඹෙන පුද්ගලයා තමන්ගේ සිත තමන්ට අවශ්‍ය එක් කාරණයක වැඩි වේලාවක් රඳවා ගැනීමට සමත් වූ බැවින් ඒ උසස් තැනට පත් වී සිටී.

ධනවත් තැනැත්තා තමන්ගේ සිත කාලයක් තිස්සේ ධනයට යොමු කරගෙන සිටි නිසා අද ධනවතෙකි.

උසස් නිලතල ලබා ගැනීමට කාලයක් තිස්සේ සිත යොමු කළ පුද්ගලයා අද උසස් නිලධාරියෙකි.

මේ අයුරින් සිත යොමු කරගෙන ඉන්නට හැකිනම් ඔබේ පැතුම් යථා කාලයේ ඉටුකරගත හැකි බව පැහැදිලිව අවබෝධ විය යුතුයි.

ධනවතෙකුට ඉරිසියා කිරීම කෙනෙකුට කළහැකි ඉතාම පහසු කාර්යයි. එහෙත් ඒ ධනවතා තම ධනය සොයා ගැනීමට කොපමණ මහන්සි වී ඇද්ද?

ඔබ එකතැන කරකැවෙන්නේ මන්ද? ඔබේ ජීවිතයේ කිසිදු දියුණුවක් නැත්තේ ඇයි? මේ ප්‍රශ්න වලට සත්‍යය වූ පිළිතුරු ලබාගත හැක්කේ ඔබේම සිත තුලිනි. ඔබ පරණ පුරුදු ක්‍රමයට මිස අළුත් විදියකට සිතන්නට බියයි. ඔබ අඳින පළඳින හා කතා කරන ආකාරය ඉතා සුළුවෙන් හෝ වෙනස් වී නැහැ. ඔබ සතුටින් ඉන්නේ නැහැ. ඔබ සතුටු වෙන්න දෙයක් සිදුවන තුරු බලා ඉන්නවා.

ඔබ කරුණාවන්ත වීමට කැමති නැහැ. එතකොට අන් අය ඔබෙන් සල්ලි ඉල්ලාවි කියා සිතනවා.

ඔබ සිනාසීමට බයයි. සිනාසුනොත් අඬන්න වෙයි කියා සිතනවා.

ඔබ එකතැන එකම සිතිවිලි රටාවක කරකැවෙනවා. ඔබේ ශරීරය අලුත් වෙනවා. ඔබ පමණක් පරණ සිතුවිල වල පල් වෙනවා. ඔබේ සිත තුල එදා තිබුණ නැති බැරිකම්, එදා තිබුණ එදිරිවාදීකම්, එදා රජ කළ පුහුමානය, එදා තිබුණ බොරු සෝබන, එදා තිබුණ අමනුස්ස ගති අදත් එහෙමම තියෙනවා. ඔබට ලෝකය සැකයි. ඒ නිසා ඔබ ගැනත් සැකයි.

එක එක්කෙනා ඔබට දුන් නොයෙකුත් වර්ණයේ කණ්ණාඩි තුලින් ඔබ ලෝකය දෙස බලනවා. අපි කවුරුත් ගෙයින් පිට බලන්නෙ ගෙයි කවුළුව තුලින්. ඔබේ කවුළුවට තිර දමාගෙන සිටින නිසා ඔබට පෙනෙන්නේ සීමාසහිත ප්‍රමාණයකින් පමණයි.

ඉතින් එකතැන කරකැවෙන්නේ නැතිව ඉදිරියට යන්නේ කොහොමද?

දුක් උහුලන්න එපා, දුක් ඉවත් කරන්න. තැවෙන්න එපා, තේරුම් ගන්න. පැරදී පසු බසින්න එපා, වෙහෙස නිසා ගිමන් හරින්න. සිතින් පළිගන්න එපා, සිත සතුටට පත් කරගන්න. ඔබට කිසි වරදක් නොකළ සිතට වද දෙන්න එපා.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1980 අගෝස්තු 15