නිර්මාණ බිහිකරන මාතාව ඕනෑකමයි

ලෝකයට සෑම දෙයක්ම බිහි වී ඇත්තේ අධික ඕනෑකම නිසාය. මිනිසාට අහසින් යෑමේ ඕනෑකම දැනුනු නිසා අහස් යානයක් බිහිකරන්නට වෑයම් කළේය. ඕනෑකමක් නොතිබුණා නම් අපට අද අල්පෙනෙත්ත වැනි කුඩා දෙයක් හෝ නැත.

අපට මෙපමණ කාලයක් ඕනෑකර තිබුනේ රට සංවර්ධනය කිරීමට නොවේ. බලයේ සිටින රජය පෙරළා දැමීමටය. එය අතින් පයින් බැරි වූ තැන කටින් කිරීමට තවමත් සමහරු වෑයම් කරති.

එහෙත් වැඩි දෙනෙකුට ඕනෑකම ඇත්තේ කෑම, ඇඳීම හා වස්තු සම්පත්ය. එමනිසා රජය පෙරලීමේ ඕනෑකම හරි නොයයි. නිතරම තරාදිය බර පැත්තට ම පහත් වෙයි.  ලෝක නීති වෙනස් කිරීමට හදනවාට පෙර ලෝක නීති මොනවාදැයි හඳුනාගැනීම අවශ්‍ය වේ.

සපත්තුවේ පටි ගැට ගැසීම මහා කරදරයක් ලෙස සැලකූ මිනිසෙක් නිසා කෙළවර දෙකක් එකට ඇමිණෙන සිප් ෆාස්ට්නර් ක්‍රමය ලොවට බිහිවිය.

රෙදි සෝදන කාන්තාවන් නැඟූ අඳෝනාව නිසා රෙදි සෝදන යන්ත්‍රය බිහිවිය. ඈත අහසේ හෝ ඈත මුහුදේ සිටින අයට කතා කිරීමට ඕනෑ වූ නිසා ගුවන් විදුලි තරංග යැවීම බිහිවිය.

ඕනෑකම් ඉටු කරගන්නා අයුරු ඉගෙන ගැනීමට මිනිසාට පුළුවන. තිරිසනා ඉගැන්වීමක් ලබන්නේ අත්දැකීම් තුලිනි.

ඔබේ ඕනෑකම කුමක් ද? එය ලබාගැනීම සඳහා ඔබ කළේ කුමක් ද? බොහෝ දෙනා තමන්ගේ ඕනෑකම ඉටුකර ගැනීමට නොදනිති. මේ නිසා මට අරක නැහැ මේක නැහැ ආදී වශයෙන් සිතමින් හා කියමින් දුක් වෙති. එවිට ඕනෑකම ඉටුවීම වෙනුවට ඕනෑ තරමටත් වඩා දුක්වීමට කටයුතු සැලසේ.

දුක්වීමෙන් තමන්ගේ ඕනෑකමක් ඉටුකර ගැනීමට නුපුළුවන. අනවශ්‍යය වෙර දැමීමෙන් ද එය කළ හැකි නොවේ.

ඕනෑකමක් තියෙන පුද්ගලයා ඒ ගැන වෑයම් කරන්නෙකි. මෝඩයා කිසිදු වෑයමක් නොකර දුක්වෙයි. සමහරු වෑයම් කිරීම වෙනුවට ඉරිසියා කරති.

පංතියේ ළමයෙක් සිංදු කීමට දක්ෂ විය. අන් ළමයි ඒ ගැන ඉරිසියා කළා මිස තමන්ට සිංදු කීමට හැකිදැයි විමසා බැලුවේ නැත. එක් ළමයෙක් සින්දු කීමට වෑයම් කළේය. ඔහු ටික කලක දී පෙර කී ළමයාට වඩා දක්ෂ විය.

කුඩා දරුවන් බොහෝ අමාරුවෙන් යම් යම් වැඩ කරන හැටි බලා සිටින මම තවම ඒ දරුවාට තමන් කරන වැඩේ පහසුවෙන් කිරීමට උපකාරී වී නැත. දරුවාගේ බුද්ධියෙන් හා ශාරීරික ශක්තියෙන් කළ නොහැකි යයි මට හැඟෙන දෙයක් හැර අන් අවස්ථාවල දී තනියම නැඟී සිටීමට ඉඩ දීමට මම නිතරම වගබලා ගතිමි.

මගේ මේ පුරුද්ද නිසා ඕනෑකමින් දියුණු වීමට වෙර දරන අය දකිනා විට විශ්ව ඥානයේ බලමහිමය ගැන මට පුදුම ආස්වාදයක් දැනේ. ළිඳෙන් ගොඩට ඒමට ඕනෑකමක් නැතිව පතුලේ සිටින මැඬියන් දැකීම මට එතරම් විනෝදයක් නොවේ. තිරිසන් සතුන් ඉතා කුඩා කල පටන් දඩයම් කිරීමට පුහුණුවන අයුරු ඉතා සිත් කා වදින දර්ශනයකි. එම පුහුණුව නැතිව උන්ට ජීවත්වීම පහසු නැත.

කිසිදු ඕනෑකමක් නැති හැඩිදැඩි මිනිසුන් බොහෝය. ඔවුන් බොහොමයකට ඇත්තේ ළාමක ඕනෑකම්ය. කෑම බීම, මත්පැන් හා ඉඳුරන් පිනවීම වැනි සුළු ඕනෑකමකින් ඔව්හු ලද දෙයින් සතුටු වෙති. එදා වේල සොයාගත නොහැකි මිනිසා පවා වැඩි තණ්හාව නරක යැයි කියනු ලැබේ. අඩු ගණනේ අනුන්ට ගැති නොවී ජීවත්වීමට තරම් හැකියාවක් ඇත්නම් එය තරමක සැනසීමකට හේතුවකි. එසේ නැති අය ධනයට, සරුසාර ජීවිත ඇති අයට නිග්‍රහ කරමින් තණ්හාව හා ඕනෑකම අතර වෙනස නොදැන සිටීම ජීවිතය තේරුම් නොගැනීමකි.

ධනවත් වුවත්, රටේ රජ්ජුරුවෝ වුවත් මැරෙනවා. ඒ නිසා බැරි දේවල් ලබාගන්න නහින්න ඕන නැහැයි කියන අය සිටිති. ජීවත්වීමට හැකි බුද්ධියෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ තිරිසන් සතුන් පමණකි. මිනිසා බුද්ධියට නිගා කරමින් නැති බැරි කමේ ඇලී ගැලී කටින් පමණක් ජය ගැනීමට කටයුතු කරයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1