විනෝදාංශය ඔබේ චරිතය හෙළිකරයි

උසස් රැකියාවක් සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට නොබෝදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකට එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් වලින් යුත් කඩවසම් තරුණයින් තිදෙනෙක් ඉදිරිපත් වුනි. බාහිර දක්ෂතාවයන් හා පළපුරුදුකම් අතින් සමාන වූ මේ තුන්දෙනා ගෙන් අවසන් වටයේ පරීක්ෂණයෙන් පසු කවුරු තෝරාගන්න දැයි පරීක්ෂණ මණ්ඩලයට ද තරමක ගැටළුවක් විය.

දවසක් මුළුල්ලේ පැවැත්වුනු මෙම සම්මුඛ පරීක්ෂණය අවසානයේ දී තනතුර දැරීමට සුදුස්සා තෝරාගනු ලැබීය. ඔහුගේ ජයග්‍රහණයේ රහස ඔහුගේ විනෝදාංශයන් විය.

අද අප ජීවත්වන සමාජයේ විනෝදාංශ උසස් රැකියාවක් ලබාගැනීමට ද බලපායි. විනෝදාංශයකින් ඔබේ චරිතය මැනීමට හා ඔබගේ හැකියාවන් දැන ගැනීමට ද පුළුවන. පසුගිය අවුරුදු කිහිපය තුල නොයෙකුත් පර්යේෂණ වල යෙදුනු ව්‍යාපාර මනෝවිද්‍යාඥයන්ට මේ විස්තර ලොවට හෙළි කිරීමට දැන් අවස්ථාව ලැබී ඇත.

ඇමෙරිකාවේ පාසැල් 300 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්දහසක් සමඟ ඔවුන්ගේ විනෝදාංශ ගැන පර්යේෂණ වල යෙදුනු අයෙකි නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දොස්තර පෝල් බොයිටන්. ඔහු පර්යේෂණ තුලින් සෙයාගත් විස්තර අනුව පිරිමි ළමයින් අතර යම් යම් දේවල් එකතු කරන විනෝදාංශ ඇති අය විනෝදාංශ නැති අයට වඩා වැඩි ඥානයකින් යුතු බව පෙනුනි. තව දුරටත් සොයා බැලීමේ දී එකතු කිරීම විනෝදාංශය කරගත් අය අතුරෙන් මුද්දර එක්රැස් කරන අයෙග් දැනුම ගිනිපෙට්ටි හා සිගරට් පෙට්ටි එකතු කරන්නන්ගේ දැනුමට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙනී ගියේය.

මීට හේතුව නම් තැපැල් මුද්දරයක ඇති පින්තූරය පාට හා මෝස්තරයට වඩා වැදගත්කමක් ඇතිබව එකතු කරන්නට පටන් ගත්විට තේරුම් යාමයි. විදේශීය භාෂා, මුදල් වටිනාකම්, භූගෝලය හා ලෝක ඉතිහාසය දක්වා ගැඹුරකට යාමට මේ පුංචි මුද්දරයෙන් හැකියාව ලැබේ.

ප්‍රීතිමත් ජීවිත ගත කරන අය හා උනන්දුවකින් යුතුව එදිනෙදා කටයුතු කරන අය අතර අඩුම ගණනේ විනෝදාංශ දෙකක් වත් ඇති බව පෙනී යයි. ලංකාවේ බොහෝ අයට විනෝදාංශ නැත. ඒ වෙනුවට ඔවුන් ඕපාදූප සෙවීමෙන් කාලය ගෙවති. රැකියාවට ගොස් මහන්සි වී ගෙදර පැමිණෙන අයට තමන්ගේ අත්‍යාවශ්‍ය කටයුතු වලට මිස විනෝදාංශයන්ට වේලාවක් නැති බව ඔව්හු පවසති. එහෙත් දැඩි වෙහෙසින් මිදීමට හා සන්සුන් සිතකින් පසුවීමට විනෝදාංශ බෙහෙවින් උපකාර වෙන බව මනෝවිද්‍යාඥයන්ගේ අලුත් ම සොයා ගැනීමයි. මේ හැර අමතර ආදායමක් ද සොයා ගැනීමට ඔබගේ විනෝදාංශය උපකාර වෙයි.

විනෝදාංශ තම රැකියාව කරගන්නා අය ද සිටිති. මැජික් පෙන්වන අය ඉන් සතුටක් ලබන අතර ආදායමක් ද උපයා ගනිති. එයට දක්වන උනන්දුව හා කැපවීම අනුව ඊට අලුත් ක්‍රමවේද සොයා ගැනීමට ද ඔවුනට පුළුවන.

එහෙත් වැඩිදෙනා පුරුදු වී සිටින්නේ ඕපාදූප කතාවෙන් තෘප්තියක් ලැබීමට ය. ඒ කාලය යම් ප්‍රයෝජනවත් විනෝදාංශයක් වෙනුවෙන් යෙදවීමෙන් ඉන් ලැබෙන සතුට සැනසීම ගැන ඔවුනට අවබෝධයක් නැත. ළමා අවදියේ සිටම යම්කිසි විනෝදාංශයක් කෙරෙහි සිත යොමු කිරීම දියුණු පුද්ගලයෙක් වීමට දමන අඩිතාලමකි.

විනෝදාංශ අනුව කෙනෙකුගේ චරිතය හා හැකියාවන් විස්තර කිරීමට පුළුවන. කාර්මික හා විද්‍යාත්මක විනෝදාංශ ඇති අය අප අතර සිටිති. ක්‍රීඩාව විනෝදාංශය ලෙස සලකා, ඒ වෙනුවෙන් වෙහෙසෙමින් කාලය කැප කරන අය ද වෙති. මේ අය තැනට සුදුසු පරිදි කටුයුතු කිරීමටත් දුර්වලකම් මඟහරවා ගැනීමටත් හා සමාජයේ හැසිරීමටත් හොඳ දැනුමක් ලබාගන්නා පිරිසක් ලෙස මනෝවිද්‍යාඥයන් සලකති.

තුන්වෙන කොටසට අයත් වෙන්නේ විනෝදාංශ වශයෙන් අලුත් දේවල් සොයාගන්නා අය හා සෙල්ලම් බඩු වැනි නව නිර්මාණයන් සෙයා ගන්නා අයයි. මනෝවිද්‍යාඥයන් දක්වන අන්දමට මෙම තෙවන කොටසට අයත් පිරිස පළමු කොටසට අයත් වූවන්ට වඩා අඩු ආත්ම ශක්තියකින් යත් අතර දෙවන කොටසට වඩා සමබර මානසික තත්වයකින් යුතුය.

ඔබගේ විනෝදාංශය මෝටර් රථයේ කොටස් හෝ ගෙදර භාණ්ඩ ගලවා හැදීම නම් ඔබ සන්සුන්, ජීවිතය බරක් කර නොගෙන ඉන්නා අයෙකි. යම් කාර්යයක් නිම කිරීමෙන් ඔබ ලබන සතුට ඉමහත්ය. ඉතා සුළු දේකින් පවා ඔබට සතුටක් ලැබිය හැකිය.

භූගෝලය, තාරකා ගැන, විදේශ ගමන් හෝ පුරාවිද්‍යාව කෙරෙහි ඔබේ දැඩි ආශාවක් ඇත්නම් ඔබ අන් අයට වඩා ජීවිතය ගැන අවබෝධයක් ඇත්තෙකි.

එකතු කිරීම විනෝදාංශයක් කරගත් අයට ඇත්තේ සෑම දෙයක් ම දැන ගැනීමට ඇති බලවත් ආශාවයි. ඔවුන් නිතරම බුද්ධියට ඉඩ දෙති. කතාබහට දක්ෂ වන්නේ ද මෙවැනි අයයි.

සංගීතයට හෝ සාහිත්‍යයට බරවුනු සිතක් ඇත්නම් ඔබ සුළු දෙයකින් පවා සිත් තැවුලට පත්වෙන අයෙකි. එහෙත් ඔබ වහා අනුකම්පා සහගත වන අතර අන් අයට සවන් දීමට ද කැමතිය. මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වති.

ගෙවතු වගාව හෝ මසුන් ඇති කරන අය වඩා සන්සුන්ය. කලබලකාරී ගති වලින් තොර වෙති. ඔවුන් තම විනෝදාංශය නිසා අනිකුත් දෑ අමතක කරන සුලුය.

බයිසිකල් පැදීම, පිහිනීම, කඳු නැඟීම හා දිවීම වැනි ශාරීරික වෙහෙස ගෙන දෙන ක්‍රීඩා කරන අය සතුට ලබන්නේ තරඟයන්ට මුහුණ දීමෙන් ය. ඔව්හු ඇසුරට ප්‍රිය ජනකය. දියුණුවට කැමති අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට දක්ෂය.

නාට්‍යයන් හෝ චිත්‍රපටි ලෝලයින් මනඃකල්පිත ලෝකයක ජීවත්වන්නෝය. ඔව්හු අලුත් දෙයක් ගැන කල්පනා කරන්නට ඉඩක් නොලැබුනු කල ඉක්මණින් කළකිරුණු ස්වභාවයට පත්වෙති.

චිත්‍ර කලාව හෝ මුර්ත ශිල්පයට නැඹුරු අය ප්‍රීතිමත් ජීවිත ගත කරන නමුත් නිතරම අදහස් වෙනස් කරති. අලුත් දර්ශනයන් හා පුද්ගලයන් ගැන දැනගැනීමට කුතුහලයක් හා ආශාවක් ඇති නමුදු දිගටම එක දෙයක් කෙරෙහි ආශාව රඳවා ගැනීමට ඔවුනට අපහසුය.

ඔබේ දක්ෂතාවයන් හා චරිතය නංවාලීමට ඔබ විවේකයේ දී කරන කටයුතු වැදගත් වෙයි. අද ලෝකයේ ඔබ ඔබේ විවේකයේ දී කරන්නේ මොනවා ද යන්න ඔබගේ රැකියාව මෙන්ම ජීවිතයට ද වැදගත්ය.

-අරුණි සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 ඔක්තෝබර් 1