උසිගන්නන තුරු බලා ඉන්න එපා

වෙන කවුරුත් ඔබව උසිගන්නන තුරු බලා ඉන්න එපා. අරක කරන්න, මේක කරන්න, පාඩම් කරන්න, කෑම ටික කන්න, ආදී වශයෙන් නිතරම දෙමාපියන් කියන තුරු බලා සිටින දරුවෙක් වෙන්න එපා. ඔබේ ජීවිතය තිරිසන් සතුන්ගේ ජීවිතයට වඩා වටිනවා. ඔබට පුළුවන් තනියම හිතල වැඩ කරන්න. බල්ලාට හරකාට තනියම දෙයක් කරන්න බැහැ. ඒ නිසා නිතරම උසිගන්වන්න ඕන.

ඔබ මිනිස් දරුවෙක්. ඔබට යමක් කියන තුරා බලා ඉන්න ඕන නැහැ. කළ යුතු දේ සොයා බලා වෙලාවට කරන්න ඔබට කෙවිටක් අරන් තලන්න ඕන නැහැ.

අප ජීවත්වෙන ලෝකය එක මොහොතක් නිකං ඉන්නෙ නැහැ. අපේ මේ ශරීරේ ඇතුලේ කෙරෙන වැඩ එක මොහොතක් නතර කරන්නෙ නැහැ. මිනිස්සු වැඩ නතර කරනවා වගේ අපේ ශරීරේ වැඩ නතර කල දාට අපි කපෝති. ඒ නිසා අපිත් නිතරම මොනවා හරි කරන්න ඕන.

වෙන කරන්න කිසිම දෙයක් නැත්නම් කඩදාසියක් හොයාගෙන අකුරු ලියන්න. චිත්‍ර අඳින්න. මෙච්චර කල් කරන්න බැරි යැයි කියලා හිතාගෙන සිටි ගණනක් හදන්න. බැරි වැඩක් කරන්න වෑයමක් කරන කොට ඒක පුළුවන් වෙනවා. බැරි හින්දම තමයි අපි වෑයම් කරන්න ඕනෙ. ඉංග්‍රීසි පත්තර කෑල්ලක් හොයා ගෙන ඉංග්‍රීසි අකුරු ලියන්න. පොතක තියෙන ඉංග්‍රීසි අකුරු කොපි කරන්න. ඒකෙන් ඔබට විශාල දැනුමක් එකතු කරගන්න අත හුරුවෙනවා. ඔබ දක්ෂයෙක් වෙනවා.

හෙටට හරි තව පැයකට හරි කල් දමන්න එපා. වැඩ කල් දාන්න පුරුදු වෙන එක හොඳ නැහැ. කල් දාන්න ඕන දේවල් තියෙනවා. ඒවා තමයි:

හිතුවක්කාර වැඩ කරන එක කල් දමන්න.

අකීකරු වෙන එක කල් දමන්න.

තරහ ගන්න එක කල් දමන්න.

අඬන එක කල් දමන්න.

එවැනි තවත් නිෂ්පල දේ කිරීම කල් දමන්න.

අනිත් වැඩ දැන් කරන්න. එතකොට පස්සෙ වෙන අලුත් දෙයක් කරන්න ඔබට ඕන තරම් වේලාව තියෙනවා.

ඔබ අද වෙනදාට වඩා සතුටින් ඉන්න. ඔබේ සිත සතුටු වූ තරමට ඔබේ ඥානය දැනුම වැඩෙනවා. ඔබ දුකින් කනස්සලෙන් සිටිය තරමට ඔබේ බුද්ධිය හැකිලෙනවා.

කවුරුත් කියන තුරු බලාගෙන ඉන්න එපා. දැන් ගිහින් තමන්ට වැඩදායක යමක් කරන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15