බාධක මැදින් ජය ලබන්න

බාධක මැදින් අදහස් ඉටුකර ගැනීමට හැකි අපූරු ශක්තියක් මිනිසා තුල තිබේ. මුතු බෙල්ලාගේ කට්ට තුලට බාධකයක් රිංගා ගැනීම නිසා එම බාධකය වටා අගනා මුතු ඇටයක් සෑදේ. ඔබේ ජීවිතය ඉදිරියට එන සෑම බාධකයක්ම වටිනා මුතු ඇටයක් කරගැනීමට ඔබටත් පුළුවන.

මට බැහැයි කියා හෝ සිතා, යමක් පටන් ගන්නා වැඩක දී බාධාවක් ඉදිරිපත් වූ සැනින් පුද්ගලයා අධෛර්මත් වේ. ඊ ළඟට ඔහුගේ වේගය අඩුවේ. වේගය අඩු කළ නිසා කාරණය සාර්ථක කරගැනීමට බැරිවේ. ඔහු නැවත මුලින් “මට බැහැ” කියා පටන් ගත් තැනටම එයි.

අනිත් අතට යමක් “මට පුළුවන්” කියා කරන්න පටන් ගන්නා පුද්ගලයා බාධාවක් දුටු සැනින් එය ජයගැනීමට සිතයි. එයින් ඔහුගේ ධෛර්ය වැඩිවේ. ධෛර්යය වැඩි වීම නිසා කාර්යය ඉෂ්ඨ වේ. ඔහු යමක් තමාට බැරි යැයි කියා සිතාගත් පුද්ගලයා මෙන් පටන්ගත් සිතුවිල්ලට ආපසු කරකැවී එන විෂම චක්‍රය තුල කරකැවෙනවා වෙනුවට පුළුල් වූ වාසනාවන්ත ජීවිතයකට පිවිසෙයි.

අප හැම කෙනෙකුටම දැඩි ඕනෑකමක් තිබේ නම් අප දැනට කරන කටයුතු මීට වඩා සියයට පනහකින් වැඩියෙන් කරන්න පුළුවන්. පනහකින් වැඩි කිරීම කෙසේ සියයට දහයකින් දැනට වඩා ඕනෑකමකින් ඔබ කටයුතු කරන්නෙහි නම් ඔබේ ජීවිතය සියයට දහයකින් ධනවත් වන්නේය.

මිනිසුන් ධනවත් විය යුතුයි. අද පැවිදි උතුමෙකු වුවත් ධනය නොමැති නම් කිසිවෙක් ගණන් ගන්නේ නැහැ. එයට හේතුව ධනය අනුව අගය මනින යුගයක අප ජීවත්වීමයි. කෙනෙකු ධනවත් වන්නේ නිධානයක් රකින නාගයින් මෙන් නිෂ්පල විදියට ධනය රැකගෙන සිටීමට නොවේ. ධනය වැය කරමින් සුවසේ ජීවිතය ගෙන යෑම සඳහාය.

නිතර නැති බැරිකම් හා අගහිඟකම් ගැන සිතන අයට ඒවා ඕනෑ තරම් අඩුපාඩු නැතිව ලැබේ. නිතර පරිපූර්ණ භාවය හා සෞභාග්‍යමත් සිතුවිලි වලින් කල් ගෙවන අයට තමන්ගේ සිතුවිලි වලට ගැලපෙන අයුරින් ජීවිතය වාසනාවන්ත වේ.

“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය,” කියා බයිබලයේ සඳහන් වෙනවා. එහි අදහස දුප්පත් හිඟන අය වාසනාවන්තයෝය කියන එක නොවේ. සිතින් දිළින්දෝ යනු සිතේ කිසිත් ඉරිසියා, ක්‍රෝධ මාන ආදී සිත පෙලන අධර්මයන් නැති (සිත දිළිඳු) අයයි. ඔවුන් භාග්‍යවන්තයන්ය. කරදරවලින් සිත පුරවා ගත් (පොහොසත්) අය භාග්‍යවන්තයෝ නොවෙති. ඒ නිසා සිතින් දිළින්දෝ මෝක්ෂ රාජ්‍යයට යන්නෝය.

කාලය නාස්ති කරන කිසිම කෙනෙකුට ධනවත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. අනුන්ගේ හපන්කම්, දක්ෂකම්. වත් පොහොසත්කම් වලට ඉරිසියා කිරීම නිෂ්පලය. තමන්ගේ තත්වය උසස් කර ගැනීමට සිත යොමු කළහොත් අනුන්ට ඉරිසියා කළාට වඩා ප්‍රයෝජනවත්ය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1980 අගෝස්තු 15