අවබෝධය උතුම් ය

අඳ බාල කමින් හා තමාට වඩා දැනුමැතියෙක් නැතැයි සිතාගෙන සිටීමෙන් බොහෝදෙනා දුකට පත් වී සිටිති. සමහරු තමා ළඟ ඇති ඉතා ස්වල්ප දැනීම නමැති මිම්ම අනුව ගැඹුරු දර්ශන මනින්නට වෑයම් කරනු පෙනේ. අප හැම දෙයක් ගැනම සිතන්නේ අපේ දැනීම අනුව බව ඇත්තකි. එසේ නමුත් වටහා ගත නොහැකි කරුණු වටහා ගැනීමට වෑයම් කරනවා මිස මනින්නට යෑම අඥානකමකි.

චිත්ත ධර්ම විද්‍යා ප්‍රබල සිද්ධාන්තයක් වූ විශ්වාසය ගැන බුදු දහම, කිතුණු දහම හා ඉස්ලාම් දහම අනුව කොපමණ උදාහරණ සහිතව කරුණු කියා දුන්නත් මානසික සිරගෙවල් වල වැටී සිටින අය ලෝකය දෙස බලන්නේ කුඩා සිර කවුළු තුලින් පමණය.

සිතන්නට බිය නැති ඔබට සත්‍යය වටහා දීමට අප දරන වෑයම අගේ කරන්න. එවිට ඔබේ සිත පුබුදු වෙයි. වෙන අයෙකුගේ සමාජ සේවයක් දුටු කල්හී එහි අගය සිතින් මෙනෙහි කරන්න. මෙම වෑයම ඔබේ සිත ඇවිස්සීමට හේතු වේත නිදා සිටින සිත් කුමන ක්‍රමයකින් හෝ අවදිකරවා ගත යුතුය.

විශ්මිත මිථ්‍යා මත වලින් වුව ද සිත අවදි වේ. එසේ අවදි වූ සිත කුතුහලය නිසා අවදිව තබා ගැනීමට හැකිය. කුතුහලය නොමැති වූ කල අවදි වූ සිත තව දුරටත් පුබුදුවීම නතර වේ. “ඉගෙන ගත්තා ඔය ඇති” යනුවෙන් විභාගයකින් සමත් වූ අයෙක් සිතන්නේ ඒ නිසාය. විභාග වලින් සමත් වී අලුත් අදහසක් ඉදිරිපත් නොකර නිසිටන පඬිවරු කොපමණක් සිටී ද? ගතානුගතික මිථ්‍යාමත වල එල්බ ගෙන සිටින මහා පඬිවරු අපමණය.

අප යමක් ඉගෙන ගන්නේ එසේ ඉගෙන ගත් කරුණු අනුව තව දුරටත් කරුණු සෙවීමටය. ලංකාවේ අය නොයෙකුත් විෂයයන් හදාරන්නේ තමන්ගේ නමට ඉදිරියෙන් හෝ පසුපසින් ස්වකීය විභාග ගැන සඳහන් කිරීම සඳහාය.

කෙනෙකුගේ ධනය, බලය, ශක්තිය, කීර්තිය හා නම්බුව ඔහු තමා ගැන දරන විශ්වාසය අනුව අඩු වැඩි වේ. ඔබ යනු ඔබේ විශ්වාසයන් අනුව ජීවත්වන පුද්ගලයෙකි. උගත් පුද්ගලයා තමා වෙහෙස මහන්සි වී ඉගෙන ගත් නිසා තමා උගතෙක් යන විශ්වාසයෙන් කාලය ගෙවයි. නූගතා තමා නූගතෙක් යන විශ්වාසයෙන් කාලය ගෙවන්නේය. යම් විෂයයක් හැදෑරීමෙන් ඒ ගැන විශ්වාසයක් ඇතිවන්නේය. බොහෝ දෙනෙකු තමා හදාරන විෂය අන්ධ විශ්වාසයෙන් පිළිගනී. අවබෝධයෙන් පිළිගැනීම උතුම් බව ඔව්හු නොදිනිති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15