නරක පුරුද්දක් ජයගන්න අවශ්‍ය වන්නේ ඊට දැඩි උවමනාවක් පමණි

ආර්ථික වශයෙන් හා මානසික වශයෙන් දියුණු වී සිටින සෑම කෙනෙක් ම එම දියුණුව හා සාර්ථකත්වය ලබා සිටින්නේ තමන්ගේ සිතුවිලි හා සිතීමේ ක්‍රමය මනා ලෙස සංවිධානය කර ගැනීමෙනි.

සෑම දක්ෂතාවයකම යම්කිසි ප්‍රමාණයක පුහුණුවක් අවශ්‍ය වේ. සිතීමේ ක්‍රමය සංවිධානය කරගත් පසු ඒ අනුව සිතුවිලි නිකුත් කිරීම සඳහා සුළු පුහුණුවක් අවශ්‍ය වේ. සාර්ථක ජීවිතයක් ගත කරන සෑම කෙනෙක් ම තම අවශ්‍යතාවයන්ට අනුව සිතුවිලි පහළ කර ගැනීමට පුරුදු වී සිටිති.

සිත සකස් කර නොගෙන චංචල හා දුවන සිතුවිලි වලින් යුක්ත අයෙකුට උසස් අධ්‍යාපනය ලැබීමට නුපුළුවන. රැකියාවෙන් හෝ ව්‍යාපාරයකින් හෝ දියුණුවක් ලබාගත හැක්කේ ද පළමු කොට තමන්ගේ මානසිකත්වය සංවිධානය කර ගැනීමෙනි. මනා සංවිධානය නිසා මනා පාලනයක් ඇතිවේ. මනා පාලනය නිසා විශිෂ්ඨ දියුණුවක් ලැබේ. මෙය පුද්ගලයෙකුගේ ජීවිතයේ මෙන් ම සෑම කටයුත්තක දී ම පැහැදිලිව දක්නට ලැබේ.

සාර්ථක දියුණු ජීවිතයක් සඳහා සිතුවිලි සංවිධානය කර ගැනීම පිණිස පළමු කොට ඔබට යම්කිසි අරමුණක් නොහොත් ඉලක්කයක් අවශ්‍ය වේ. එම ඉලක්කයට සේන්දු වීම සඳහා ඔබේ මනස සංවිධානය කරගත හැකිය. රටකට හෝ පුද්ගලයෙකුට තම අනාගතය පිළිබඳ ඉලක්කයක් නොමැති වූ විට දියුණුවක් ද නැත. ක්‍රමානුකූලව සැලසුම් කොට කාල සටහනකට කීකරු වී ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් එකවර විෂයයන් කිහිපයක් අධ්‍යයනය කොට විභාගයෙන් සමත් වෙයි. මේ අයුරින් එකවර ව්‍යාපාර කිහිපයක් කරමින් ඒ සෑම ව්‍යාපාරයක් ම ඉතා සාර්ථක ලෙස මෙහෙයවන අය සිටිති. එහෙත් වැඩි දෙනෙක් කරන්නේ බොහෝ දේවල් එකවර පටලවා ගෙන එකක් වත් හරි හැටි නොකිරීමයි.

නොදියුණු අසාර්ථක ජීවිත ගත කරන සෑම කෙනෙක් ම එම තත්වයේ පසුවෙන්නේ අනාගත දියුණුව ගැන ඉලක්කයක් හෝ සැලැස්මක් නොමැතිකමෙනි. ඇතැම් අයට අරමුණක් හා සැලැස්මක් ඇතත් එය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම නැත. එසේ නැත්නම් ඉවසීම නැත. දැනුම නැතිකම ජයගැනීම එතරම් දුෂ්කර නොවේ. ඒ සඳහා වෑයමක් දරණ අයට නිතරම දැනුම හමුවේ. ඉවසීම නොහොත් පටන්ගත් වැඩේ ඉවරයක් දකින තුරු අත නොහැර කිරීමේ හැකියාව නැතිනම් එය නරක පුරුද්දක් බව තේරුම් ගෙන එම නරක පුරුද්ද ජයගත යුතුය. ඕනෑම නරක පුරුද්දක් ජයගත හැකිය. ඒ සඳහා අවශ්‍ය කරන්නේ දියුණුවක් ලැබීමට බලවත් ආශාවක් පමණි.

ඔබ කරන සෑම දෙයක් ම දැඩි උනන්දුවකින් යුතුව කරන්නට පුරුදු වන්න. තමන්ගේ වැඩ කොටස හෝ තම ජීවිතය හා සම්බන්ධ ඕනෑම කටයුත්තක් දැඩි ඕනෑකමකින් කරන්නට පුරුදු වී එම කටයුත්ත “හිතුවාටත් වඩා” සාර්ථක ලෙස ඉටු වී ඇති අයුරු දැක තෘප්තියක් ලැබීමට ඔබට හැකිනම් ඔබ ඒකාන්තයෙන් ම අර්ථ සිද්ධියේ රහස අවබෝධ කරගත හැකි පුද්ගලයෙකි.

සමහරු අනුන් යටතේ වැඩ කිරීමෙන් කවදාවත් දියුණුවීමට බැරි යැයි කියමින් තමාට ද අයත් වැඩ කොටස හැකිතරම් ඉහළින් ඉටු නොකරයි. එවැනි මානසික තත්වයක් ඇති අයට තමන්ගේ ම ව්‍යාපාරයක් කරන්නට සිදු වූ විට ද එය දියුණු කර ගැනීම සඳහා උසස් අන්දමින් කරන්නට බැරිවේ. එසේ වන්නේ ඔවුනට මානසික පුහුණුවක් නැතිකමය. වගකීම තමන්ගේ නම් ඒ තැන තමන්ගේ වැඩක් මිස අනුන්ගේ වැඩක් නොවේ.

තමන් දැනට කරන රැකියාව හෝ ව්‍යාපාරය අලසකමින් තොරව දැඩි ඕනෑකමකින් නොකරන අයෙකු එයට වඩා දියුණු විය හැකි වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් ගැන සිතීම අනුවණ කමකි. බාගෙට වැඩ කිරීමේ පුරුද්ද ඊ ළඟට ලැබෙන අලුත් රැකියාවේ දී හෝ ව්‍යාපාරයේ දී නැවත ඉස්මතු වන්නේය. ඇතැම් අය තමා ආශා කරන රැකියාව ඉතා හොඳින් කරති. සමහරු ප්‍රිය නොකරන රැකියාවක යෙදී සිටිමින් එය හරි හැටි ඉටු නොකරති. දැඩි ආශාවකින් යමක් කරන තැනැත්තා එය අත්හැර දමා ඊට වඩා මුදලින් වැඩිපුර ලාබ ලැබෙන දෙයකට යොමු වුනත් ඔහුට ආත්ම තෘප්තිය අඩුය. මෙහි දී මතක තබා ගත යුතු කාරණයක් ඇත. එනම් ආත්ම තෘප්තියක් නොලැබේ නම් එතැන දියුණුවක් හෝ සාර්ථකත්වයක් නොමැති බවයි. ධනය හා මිල මුදල් අවශ්‍ය වන්නේ ද සතුටින් ජීවත්වීම සඳහා ය. ඔබ කරන රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් ඔබ විශාල සතුටක් ලබන්නෙකු නම් ඔබ දියුණු සාර්ථක ජීවිතයක් ගත කරන්නෙකි.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 පෙබරවාරි 1