ඡන්ද ප්‍රහසනය – Election comedy or Comedy election

තවත් ඡන්ද  ප්‍රහසනයක් ඊයේ නිමාවිය. මෙයට ප්‍රහසනයක් යයි කියන්නේ එය අනවශ්‍ය මොහොතක පැවැත් වූවක් නිසා, පලාත් සභා හදුන්වා දුන් කාලයේ ඒවා එපා කියා ඒවා වර්ජනය කල පිරිසක් දැන් ඒවායේ බලය ලබාගැනීමට පොරකන නිසා , සෛද්ධාන්තිකව මැතිවරණයක දී වැදගත්ම පුද්ගලයා වන ඡන්දදායකයා ගේ සහභාගීත්වය උදාසීන වීම නිසා ආදී හේතු කීපයක් ම නිසා මෙන්ම එක් දිනකදී පවත්වා නිමා කළහැකි මැතිවරණයක් දිගු කාලයක් තිස්සේ පවත්වමින් මහජන මුදල් කාබාසිනියා කර ජනමතය උරගා බලන අවස්ථාවක් වීම ද නිසාවෙනි. කලින් මැතිවරණයෙන් පත් වූ ජනතා නියෝජිතයන්ට මැතිවරණයට වියදම් කල මුදල සොයාගැනීමට වත් සම්පූර්ණ ධූරකාලය නොලැබීම ද   තවත් හාස්‍යයකි.(අපට එසේ වුව ද අදාල අපේක්ෂකයන්ට නම් ශෝකාන්තයක් විය හැක). කෙසේ වුවද දැන් ඒ මැතිවරණය නිමියේය. ඡන්දදායකයන්ට නන්දිකඩාල් කලපුව හොදින් මතක තිබූ නිසා ද (අවසාන මොහොතේ ජයලලිතා ද එය මතක් කර දුනි) ආණ්ඩුවේ වැරදි පෙන්වා ඊට එරෙහිව ජනතාව පෙලගැස්වීමට හෝ තම ඡන්දදායකයින් ඡන්ද පොලට කැදවීමට දුර්වල විපක්ෂය අසමත් වූ නිසා ද රජය ම සුපුරුදු පරිදි මැතිවරණය ජයගත්තේය.

මේ සටහනේ අරමුණ අවසන් වූ මැතිවරණය පිලිබඳ පසුවිපරමක යෙදීම නොවේ. මැතිවරණ පැවැත්වීමේ මෑත කාලීන ප්‍රවනතාවයෙහි ඇති භයානක ස්වාභාවය විමසා බැලීමටයි.එනම් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වැරදි පූර්වාදර්ශය විමසා බැලීමටයි.

ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එනම් එරට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශකිරීමට අති විශාල ඡන්දදායකයන් පිරිසකට අවස්ථාව ලැබේ. රජයට මේ අතිවිශාල මෙහෙයුම එක් දිනකදී නිසිලෙස කලමණාකරනය කරගත නොහැකි නිසා එරට මහ මැතිවරණ පැවැත්වෙන්නේ කඩින් කඩ කොටසින් කොටසය. නමුත් සඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයක ජණගහනයටත් වඩා අඩු කුඩා ජනගහණයක් (එනම් කුඩා ඡන්දදායකයන් පිරිසක්) සිටින ශ්‍රීලංකාවේ මහමැතිවරණයක් එක් දිනකදී පැවැත්වීමේ කිසිදු අපහසුතාවක් නැත. ඔනෑම තරම් මැතිවරණ ගනණාවක් එලෙස සාර්ථකව පැවැත්වීමේ අත්දැකීම් ද අප රටේ රාජ්‍ය සේවයට ඇත. නමුත් එකවැර පැවැත්විය හැකි පලාත්සභා මැතිවරණය විශාල කාලයක් තුල කඩින් කඩ පැවැත්වූවාක් මෙන් ම මහමැතිවරණය ද එක්දිනක දී නොපවත්වා කඩින් කඩ පැවැත්වුවහොත්?

 කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වාසි කීපයකි. පළමු මැතිවරණයේ ප්‍රතිඵල අනිවාර්යයෙන් ම දෙවැන්නට බලපායි. (සමහර විට පරාජිත පක්ෂයේ ඡන්දදායකයින් අධෛර්ය වීම ද සිදුවිය හැක). තමන්ට හොදටම වාසිදායක ප්‍රදේශයක මැතිවරණය පවත්වා මැතිවරණ පෙලක මංගල පස්පිඩැල්ල කැපුව හොත් එහි කවර හෝ ප්‍රතිඵලය අනෙක් පලාත් වල ඡන්දදායකයා ද උත්තේජනය කිරීමට බලපානු ඇත. (1994 මහ මැතිවරණය එක් වැඩිපුර ආසනයකින් ජයගත් පොදුපෙරමුණ ඒ ආසන්නයේ ම පැවති ජනපතිවරණය ජයගත්තේ 60% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයකිනි). අනෙක් අතට වටකොට පහර දීම හෙවත් මුලු රටේම සම්පත් රටේ සීමිත ප්‍රදේශයකට නාභිගතකර මැතිවරණ ව්‍යාපාරය දියත් කීරිම ද අතිශයින් ම වාසිදායකය. (දුටුගැමුණු රජුට කිරිබත් දුන් මහලු කාණ්තාව ඉගැන්වූ පාඩම සිහියට නගාගන්න). එමෙන්ම සංවර්ධන සංදර්ශන (රාජකාරි කරන විදුලි කණු?) පැවැත්වීම ද මෙවිට පහසුය. නාට්‍යකරුවන්/සර්කස්කරුවන් තමන්ට අවශය කුදුමහත් උපකරන/ආම්පන්න රැගෙන ගමින් ගමට සංචාරය කරමින් තම නිර්මාණ ජනතාවට ඉදිරිපත් කරති.

මේ ප්‍රහසනාත්මක මැතිවරණ ජනමතය උරගා බැලීමේදී නම් සාධාරණ නොවන බව  අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙවන් මැතිවරණ (ඇත්තෙන් ම මැතිවරණ ශ්‍රේණි) වලින් පැහැදිලිවම ජනමතය විකෘති කරයි. එමෙන්ම මේ සදහා නිකරුනේ විනාශවන මහජන මුදල් ප්‍රමාණය අසීමිතය. මෙවර මැතිවරණ ශ්‍රේණිය ආරම්භයේ දී මැතිවරණ කොමසාරිස්තුමා මෙය ජනමාධ්‍යය ඉදිරියේ පිලිගත්තේය.

මේ මැතිවරණ හරහා ආර්ථික වාසියක් ලබනවා නම් ලබන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන ව්‍යාපාරිකයන් ම පමණක් බැව් පැහැදිලිය.

දැනට පලාත්සභා මැතිවරණ සදහා ද, පසුගිය වර පලාත්පාලන ආයතන සදහා ද ආදේශ කළ මේ ක්‍රමය අනෙක් මැතිවරණ සදහා ආදේශ නොවේ යයි උදක් ම ප්‍රාර්ථනා කරමු.

ප.ලි. මැතිවරණ හරහා ජනතා නියෝජිතයෝ ආශ්චර්යය උදාකරදීමට කැපවන මොහොතේ, එම උත්සාහය තඹයකට ගණන් නොගත් වැසියන් 145 දෙනෙක් ත්‍රිකුණාමළයේ සිට දකුණුකුරු දිවයින බලා යාත්‍රාකිරීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත්බවට ප්‍රවෘත්තියක් ඊයේ පලවිය.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 09/09/2012, in කාලීන, මතවාද. Bookmark the permalink. 7 Comments.

  1. කඩින්කඩ ඡන්දය පැවැත්වීම තමන්ට වාසි බව මහින්ද මේ මොහොතේ නිගමනය කර ඇති බව පෙනේ. බලය ඇති කෙනා එය පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියටයි.

  2. රට උග්‍ර මුල්‍ය අර්බුධයක කරවටක් ගිලිල ඉන්න මේ මොහොතෙවත් නිසි කළමනාකරණයක් සහිතව වැඩ කරන්න මේ රජයට තිබෙන නොහැකියාව ඔවුන් දිගින් දිගටම පෙන්වමින් සිටිනවා. කරන තරමක් කරන්නෙ සම්පත් නාස්තිවන මුදල් කාබාසිනිය කරන ව්‍යාපෘති. මුලින් මැතිවරණ කඩින් කඩ තිබීමට හේතුව ලෙස දැක්වුවෙ කෝකටත් තෛලය යුද්ධය, මුළු රටේම එක්වර තබන මැතිවරණයකට විශාල ආරක්‍ෂක භට පිරිසක් අවශ්‍ය නිසා උතුරෙන් නිලධාරීන් ගෙන්වීම අපහසු බව ඒ කාලෙ කිව්වා. කරුමෙ කියන්නෙ ගිහිල්ල ජනාධිපති එක්ක සතුටුසාමීචියෙ යෙදිල දන්සලෙන් කාල බීල එනව ඇරෙන්න එක පත්තර කාරයෙක් වත් අහන්නෙ නැහැනේ දැන් මොන උලව්වක් ද වෙලා තියෙන්නෙ කියල.

  3. @ජනසේනා – ඔබේ ලිපිය කියෙව්වා, ප්‍රතිචාර එහිම පල කලා
    @රැඩිකල් අදහස් – ඔව් එය බව කෙහෙලිය ඇමතිතුමාගේ මුවින් ම කියනව ඇහුණා
    @ඩීඩීටී – එකවර නොපවත්වනවා පමණක් නොවේ නිළ කාලය අවසන් වීමටත් පෙර!

  4. මාත් ඔය ගැන පොඩ්ඩක් ලිව්වා . බලන්නකෝ

  5. ඉන්ද්‍රජිත්

    “ඔනෑම තරම් මැතිවරණ ගනණාවක් එලෙස සාර්ථකව පැවැත්වීමේ අත්දැකීම් ද අප රටේ රාජ්‍ය සේවයට ඇත….”

    ජයශ්‍රී මේ ඔබේ වචන. මට මේ ගැන පොඩි වචනයක් දාන්න දෙන්න.

    චන්දයක් වගේම ඕනෑම විභාගයක් සාර්ථකව පවත්වා කවුරුත් පිළිගන්නා ලෙස ප්‍රතිඵල මුදාහැරීමටත් ‘අතීතයේ’ මෙරට රාජ්‍ය සේවය සමත් වුනා. එහෙත් දැන් ප්‍රශ්න පත්තරේ හදන මහාචාර්ය වරයාගේ සිට අවසානේ ලකුණු ඇතුලත්කරන පරිගණක දත්ත සටහන්කරු දක්වාම පෝලිමට බුල් කෙලිනවා. ඉදිරියේදී චන්ද ප්‍රතිඵලත් උසාවිය හරහා ගෙන්වා ගන්න සිදු වෙනවාමයි. ඒ තමා රාජ්‍ය සේවය උපහාර වලින් නොමිලේ කතාකරමින් වල පල්ලට යන හැටි. අපේ සේවා ස්ථාන වලට අලුතින් එන ගැටයින්ගේ කෙරුවාව දකිනකොට බුදු සරණයි අපි තව අවුරුදු දහයකින් විශ්‍රාම යනවනේ කියා සැනසෙනවා.

    චන්දෙ ගැන කියනවනම්, මේක මෙහෙම කඩිමුඩියේ කරන්නේ කල් යන්න යන්න මීට වඩා අමාරු වෙන බව දන්නා හින්දානේ.. සාපේක්ෂව පසුගාමී පලාත්වල ඔය කළේ ‘මුට්ටිය දාලා’ බලපු එක. එහි ප්‍රතිඵල තවම විශ්ලේෂණය කරනවා. ඉදිරියේදී ලොකු පියවරකට යන එක තීරණය වෙන්නේ මේවා හොඳ ලකුණු ලෙස අර්ථ දැක්විය හැකිවුනොත් පමණයි. අනෙක් අතට, මැතිවරණ වෙන් වශයෙන් පැවැත්වීමේ වාසිය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද තියෙනවා. තමන් සතු සියලු සම්පත් එක් කොට සීමිත ප්‍රදේශයකට ගෙනගොස් ක්‍රියාත්මක වෙන්න (එහෙම උවමනාවක් තියෙනවනම්) විපක්ෂයටත් පුළුවන්. ආණ්ඩුව මොන දහන්ගැට දැම්මත්, ෆ්රන්සිස්කුකරණය වගේ අන්ත ජරා වැඩ කරන තැනට ගියත්, මිනිස්සුන්ට අත දිග ඇරලා චන්දෙ දෙන්න විකල්ප නායකත්වයක් තියෙනවා නම් ආණ්ඩු පෙරලෙන එක වලක්වන්න බැහැ. මෙතන ඉන්නේ චන්දෙට පෙර දවසෙත් ජාත්‍යන්තර සමුළු වලට ගිහිල්ලා ලෝකෙටම එපාවෙච්ච නිරීක්ෂක කමිටු පත්කරන්න ඉල්ලන මිනිස්සුනේ.. දර්ශනේ හරි මයි කියමුකෝ. එත් ඒක අලෙවි කරන්න දක්ෂ වෙන්නත් ඕන නේද? පක්ෂේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදේ කරන හැටි දැක්කම මේ අය පවතින ක්‍රමයට විකල්පයක් කියා ඔය පලාත්වල මිනිස්සුන්ට තියා ජයශ්‍රීට වත් හිතෙනවද?

ඔබේ අදහස් දහස් වටී ....................