කාර්තිශා!
ගත දවනා ගිණි අව්වේ
කර්කශ වූ මහ පොළොවේ
අරුම පුදුම ලෙසින් පිපුණ
රෝස පැහැති රෝස මලකි
මටනම් නුඹ
කාර්තිශා…..
ආමි ඇඳුම් දැක ඔරවන
කොළඹ උන්ට සිහන සලන
පුදුකුඩියිරිප්පු හන්දියේ හිඳ
තඹ පෑ දූවිල්ල මැද්දේ
මිදි විකුණන
කාර්තිශා…..
බිත්තියේ ඇති උණ්ඩ පාර
සුළඟිල්ලෙන් හාර හාර
උකුලු මුකුළු සිනා බසින්
“මාත්තියා… මාත් කොළඹ අරං යන්න"
කියා නුවන් කොණින් බලා
මගෙ හදවත නවතා ලූ
සුරඟන නුඹ
කාර්තිශා…..
"එන්න මාත්තියා ගන්න මේවා”
“යාපනේ තීන හොඳම ඒවා”
“මේ ගාණට මාත්තියාටමයි”
ඇහැක් ගසා සිනහා පපා
වැඩි ගාණට
තැලිච්ච මිදි
පොකුරු පිටින් මට විකුණුව
දෙව් දුව නුඹ
කාර්තිශා!