Sinhala story Blog

ජූලි 1, 2012

සොල්දාදුවෙක් තම හතුරන්ගෙ සොහොන් බලන්න යන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 11:12 පෙ.ව.

විද්‍යාඥයන්ට පරිභව කරන්න එපා තරුණයා කියවා ඉතිරිය කියවන්න. වැරදීමකින් තැන් මාරු විණ. සමාවෙන්න. -පරිවර්තක

*********************

“ඒ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ගේ කුරුල්ලෙක්,” මුරකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙක් කීය.

“ගිම්හානය මුල දී ඔවුන් ලෝකයේ අනිත් හැම පැත්තක ම ඉන්නා ගේ කුරුල්ලන්ට වඩා නිර්භීත ලෙස සිංදු කියන බව මා අසා තියෙනවා.”

පියර්ස් බැස්කොම්බ් නැඟිට්ටේ ය. වාතාවරණය මඳක් සංසුන් සහගත වී ඇත. ග්ලෝරියානාට ආචාර කරමින් “ආදිපාදවරියෙනි, ආචාර්ය කොකින්ට්ස් ගැන මට යෝජනාවක් කරන්නට තියෙනවා. ඔහුව එයාගේ රටින් පැහැර ගෙන දිගු හා කර්කශ ගමනකින් අමුතු දේශයකට ගෙනැවිත්. ඔහු අපේ සිරකරුවා. ඒත් ඒක ඔහුට අලුත් දෙයක් නෙමෙයි. මොකද ඔහු සෑහෙන කාලයක් තිස්සේ නිදහසේ සිටියා වූ කෙනෙක් නෙමෙයි. ඔහුට නිතර පාහේ කරන්නට පැවරිච්ච මෙහෙයන් මිනිහෙක් විදියට ඔහුගේ හිත වද දුන්නා වූ දේවල්. ඔහු ජීවත් වෙලා තියෙන්නෙ සෑහෙන කාලයක් තුල අනිත් මිනිස්සුන්ට වඩා වැඩි දැඩි බරක් උසුලා ගෙන. ඔහු ජීවත්වූයේ කාංසාව සහ සැකය එක්ක.” යැයි කීවේය.

“ඒ නිසා, අපි මේ රැස්වීම අවසන් කරලා පැයකට වගේ අවසර දෙන්න ආචාර්ය කොකින්ට්ස්ට මා හා සිරකරුවෙක් ලෙස නොව නිදහස් මිනිසෙක් ලෙස යන්නට. මම කැමතියි එයාව අපේ ජාතික වනෝද්‍යානයට ගෙන යන්නට. වසර ගණනාවකට පස්සෙ මුල් වතාවට ආයෙත් නිදහස් මිනිසෙක් සේ කොහොම ද දැනෙන්නේ කියා ඔහුට අත්විඳින්න අවස්ථාවක් ලබාදෙන්න. සියළු බාධා හා බරෙන් ගැලවීමක් ලබාදෙන්න.”

“අපි ඔහු සමඟ මුරකරුවෙක් යැවිය යුතුයි,” මවුන්ට්ජෝයි සිටුවරයා කීය. “එයා පැනලා යන්න උත්සාහ කරාවි. වනෝද්‍යානය මායිමෙන් වැඩි ඈතක නෙමෙයිනෙ. අපිට අවශ්‍ය නැහැ මේ බෝම්බය එක්ක තනිවෙන්න, ඒක පාලනය කරන්න දන්න මිනිහා නැතිව.”

“මම හිතන්නෙ නැහැ ඔහු පැනලා යන්න උත්සාහ කරාවි කියල,” පියර්ස් බැස්කොම්බ් සුමුදු බසින් කීවේය.

“එහෙනම් එයාට කියන්න එහෙම පැනලා යන්නෙ නැහැ කියල පොරොන්දු වෙන්න කියල,” මවුන්ට්ජෝයි සිටුවරයා කීය.

“මම විශ්වාස කරන්නෙ නැහැ අපි කිසිත් වාරණයක්, කොන්දේසියක් ඔහුට දැමිය යුතු යැයි කියා,” පියර්ස් කීවේ ඉතා හිමිහිට ය. “අපිට බැහැ මිනිහෙක් ව අපේ ගැටළුව විසඳන්න බලහත්කාරයෙන් කැමති කරවා ගන්නට. ඔහු උදව් කරන්නේ නම්, ඒ උදව් කළ යුත්තේ ඔහුගේ ම නිදහස් වූ කැමැත්තෙන්. ඒ ඔහු තමන්ගේ ජාතියට වඩා ඉහළ වූ යුතුකමක් හඳුනා ගන්නවා නම් පමණයි. ඔහු මේක තමන් වෙනුවෙන් අවබෝධ කරගත යුත්තක්. ඒත් එයාට ඒක අවබෝධ කරගන්න බැහැ එයා අපේ සිරකරුවෙක් වී සිටිනවා නම්. නැත්නම් එයා එයාගේ දේශයේ හිතෛෂීභාවයෙන් වූ යදම් ගැලවිය නොහැකිව සිටිනවා නම්. ඉතින් එයාට ඉඩක් දෙන්න, පැයකට හමාරකට, කිසිම බැඳීමක් නැති, පීඩනයක් නැති නිදහස් මිනිසෙක් වන්නට. ඊට වඩා වැඩියෙන් ඕනෑ නැහැ, අඩුවෙන් ද ඕනෑ නැහැ.”

“සර්,” ටලී කීවේය, “මේක එච්චර ඥානවන්ත යෝජනාවක් යැයි මම හිතන්නෙ නැහැ. මා තරම් ලෝකය පුරා ඔබ ගිහින් නැහැ. හැම මිනිහෙක් තුල ම වංචනික සහ ආත්මාර්ථකාමී සහ ද්‍රෝහී වූ සෑහෙන තරමක් තියෙනවා. මම හිතන්නෙ නැහැ මේ විද්‍යාඥයාව අපිට විශ්වාස කරන්න පුළුවන් යැයි කියා. ඔහු පැනලා යන්න හදාවි, ඔබට ඔහු නවතන්න හැකියාවක් නැහැ.”

පියර්ස් තම පුතා දිහා බැලුවේ ද්යෝෂාරෝපණයකිනි. “මිනිසෙක් තුල වංචනික වූ ගොඩක් තියන බව ඇත්ත,” ඔහු කීවේය. “ඒත් ඕනෑම මිනිහෙක්ගේ හද පතුලේ ඇති දැඩි බලය නම් හොඳ කරා යන්න ඇති උවමනාවයි. ඒ නිසාමයි මිනීමරුවෙක් කුඩා දරුවෙක්ට වැටකින් එහාට යන්න උදව් වෙන්නෙ. සොල්දාදුවෙක් තම හතුරන්ගෙ සොහොන් බලන්නට රහසෙන් යන්නෙ. මිනිහෙක් හොඳ තමන්ට ලැබීම නැවත්තුවොත්, අන්න එතකොටයි මිනිහා දුක් විඳින්න පටන් ගන්නෙ. මම හිතන්නේ මේ විදියෙන් සෑහෙන්න දුක් විඳින්න වෙලා තියෙනවා ආචාර්ය කොකින්ට්ස්ට. ඔහු තුල හොඳ තියෙනවා. ඒත් ඒකට තහවුරු වෙන්න ඉඩක් ලැබිලා නැහැ. මම හිතන්නෙ අපි අවස්ථාවක් ලබා දිය යුතුයි ඔහුට ඔහුගේ කාර්යයන් ගැන පොඩ්ඩක් හිතන්නට. කිසිම පැත්තකින් එන පීඩනයකින් තොරව. එයාගෙ හිත කියාවි මේ තවත් බෝම්බ හදන වැඩේ කරගෙන යන්න අවශ්‍ය ද නැත්නම් ඔහුගේ පුහුණුවෙන් තවත් බෝම්බ හැදීම නැවතීම කළ යුතු ද කියා.”

ආචාර්ය කොකින්ට්ස් හිමිහිට අසුනින් නැඟිට්ටේ ය. “මම කැමතියි ටිකකට වනෝද්‍යානයට යන්නට,” යැයි ඔහු ග්ලෝරියානාට කීවේය.

“ඔබට යන්න අවසරයි,” ග්ලෝරියානා මුදු බසින් කීවාය, “ඔබ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දාලා යන්න හිතුනොත් ඒකත් කරන්න. කවුරුත් ඔබව නවත්වන්නෙ නැහැ. මේ රැස්වීම තව පැයකින් නැවත පැවැත්වෙනවා. අපි කැමතියි ඔබ ආයෙත් ඇවිත් අපි හා එකතු වෙනවා නම්. ඒත් තෝරා ගැනීම ඔබ අතයි.”

ආචාර්ය කොකින්ට්ස් සහ පියර්ස් බැස්කොම්බ් දෙදෙනා හිමිහිට ඇවිද ගෙන මහා ශාලාවෙන් එළියට ආහ. අවිගත් මුර කරුවන් ද ඔවුන් පිටුපසින් යන්නට සූදානම් වූහ. එහෙත් ග්ලෝරියානා ඔවුනට නවතින්නට යැයි සංඥා කළාය.

“ඔවුන්ට නිදහසේ ඉන්නට ඉඩ දෙන්න,” ඇය කීවාය. “එය පුංචි කාලයකට පමණක් වුවත්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.