2012.06.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ජනගහන රටා, නිතර වෙනස් වන අන්තර් ජාතික තත්ත්ව සැලකිල්ලට ගැනෙන අලූත් සාධයකි.  දේශ සිමා වෙනස් වෙයි. රටවල් එකතුවෙයි. ඒ අතර රටවල් බෙදී අලූත් රටවල් බිහිවෙයි. පවතින රටවල ජනගහන රටා වෙනස් වී අලූත් අනන්‍යතා ද ඇතිවෙයි. පසුගිය වසරේ එරට උපත ලද දරුවන්ගෙන් සියයට 50.4 ක් හිස්පැනිස් සුදු පසුබිම සහිත ඇමරිකානුවන් නොවන්නෝය. 2000 අවුරුද්දේ දී මෙම ප‍්‍රතිශතය සියයට 40.4 කි. අවුරුදු එකොලහක් ඇතුලත සිදුව ඇත්තේ විශාල වෙනසකි. ලෝකයේ නොයෙක් තැනින් පැමිණ ඇමරිකානු පුරවැසිබව ලබාගත් පිරිස ඇමරිකාවේ පැරණි පරම්පරාවේ ජන සංයුතිය ඉක්මවන්නට පටන්ගෙන තිබේ.

ඇමරිකාව  විවෘත සමාජයකි. ලෝකයේ නන් දෙසින් දක්ෂ පුද්ගලයෝ අවස්ථාව සොයා එහි පැමිණෙති. සුප‍්‍රකට ග‍්‍රීන්කාඞ් ක‍්‍රමය බුද්ධිමත් තරුණ පරම්පරාව ඇමරිකාවට ගෙන්වා ගන්නා ක‍්‍රමයකි. ආසියා, අප‍්‍රිකා රටවලින් එරටට පැමිණ පුරවැසි භාවය ගන්නා පිරිස බහුලය. එතෙක් ඇමරිකාවේ තිබුණ ජනගහන රටාව අනුව බහුතරය යුරෝපීය සම්භවයක් සහිත වූහ. අලූත උපන් දරුවන් වැඩිහිටියන් බවට පත්වන විට ඇමරිකාව තුළ සුළුතරය බවට පත්වන්නේ ’’ ඇමරිකානුවන්ය’’ . දැන් පවතින ජනගහන ප‍්‍රතිශත අනුව උපදින දරුවන්ගෙන් හරි අඩකට වඩා අලූත් පදිංචිකරුවන් ගේ වන අවස්ථාවක එරට අනන්‍යනාවය පැරණි ඇමරිකානුවන්ගෙන් ගිලිහීයාමේ අවදානමක් තිබේ. අධ්‍යාපනය, ආර්ථිකය හා දේශපාලන මුහුණුවර වෙනස් වෙන්නට හේතුවක් වී ඇත. විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා අයගෙන් බහුතරය ආසියානු හා අප‍්‍රිකානු සමාජ පසුබිමකය. එරට උගන්වන ගුරුවරුන්ගේ තුනෙන් එකක් ද සුදු ජාතිකයන් නොවේ. විවිධ සංස්කෘතික හා ආගමික පසුබිම් සහිත මෙම ගුරුවරු අලූත් පරම්පරාව ඇමරිකාව පරිවර්තන යුගයකට යොමුකර ඇත. ජාතිය, ආගම, වර්ණය වෙනුවට ආත්ම ශක්තිය හා හැකියාවට තැන ඇති සමාජයක් මෙවැනි සිදුවීම් වලින් සසල නොවේ.

චීනය ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රටයි. ඉදිරි වසර පණහ තුළ චීනය අභිබවා ඉන්දියාව පළමු තැනට පත්වනු ඇත. චීනයේ ජනගහනය ව්‍යාප්තවන ආකාරය අනුව ඉදිරි කාලයේදී වැඩකරන්නට හැකි ජන කණ්ඩායම සීමිත වනු ඇතැයි සැලකේ. ජපානයේ ද එසේය. ආදායම් විෂමතා ඇතිවිය හැකි බව පර්යේෂකයෝ දැනටමත් අනාවැකි පළකරති. ඉන්දියාව ඉඩම් ප‍්‍රයෝජනයට ගැනීම ගැන අලූතෙන් අවධානය යොමු කර ඇත. එම රටවල ජනගහනය වැඩෙන ආකාරය හා ඇති කරන්නට ඉඩ ඇති සමාජ ප‍්‍රශ්න විශේෂ අවධානයට ලක්ව තිබේ.

ජන අනුපාත සහ ජනගහනයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතිමතාන්තර ශ‍්‍රී ලංකාවේ ද පැන නැගෙමින් තිබේ. අප රට ද විවිධ ජාතීන්, විවිධ ආගම් සහ විවිධ භාෂා කතා කරන ජනගහනයක් ඇති රටකි. සපුගිය දශක තුන ඇතුලත පැවති සමාජ ආර්ථික පසුබිම අලූත් අනාගතයක් ඇති කරන බව පෙන්නුම් කරයි. වියපත් ජනගහනය වැඩ වන බවද පෙනේ. මහ ජාතිය සහ සුළු ජාතිකයන් වශයෙන් බෙදී, එම බෙදීම් වැඩෙන ආකාරය අනන්‍යතාව ගැන ප‍්‍රශ්න කරන තැනකට ගමන් කරමින් සිටී. ඇමරිකාවට අමතරව ලන්ඩන්, ප‍්‍රංශය ඇතුළු නොයෙක් නගර මෙවැනි සමාජ පරිවර්තන වලට පත් වෙමින් තිබේ. පිළිගත යුතු යථාර්ථය එයයි.