හදිසි අනතුරු වලින් ලෙහෙසියෙන් මිදෙන්න

‘මිනිසා’ යනු ලේ මස් ඇට නහර යනාදියෙන් සැදුම් ලත් ශරීරය නොව ශරීර කූඩුවට අරක් ගත් ප්‍රාණය, ජීවය නොහොත් සිත බව චිත්ත ධර්ම විද්‍යානූකූලව තුලනාත්මකව ඔප්පු කළ හැකිය.

කෙටියෙන් හා ඉතාම ලෙහෙසියෙන් මේ බව අවබෝධ කළ හැකි එක් සාධකයකි මිනිසෙකුගේ මරණය. මරණය යනු මේ ශරීරයෙන් මනස ඉවත්වීමයි. එසේ වූ මනසක් නැති ශරීරය ව්‍යවහාර “මළකඳ”, “මළමිනිය” යන නාම වෙයි. මිනිසා නොහොත් මනස කිසිදාක මරණයට පත් නොවේ. එවන් මනස කෙරෙහි විශ්වාසයෙන් හා එහි තත්වය ගැන පැහැදිලි අවබෝධයෙන් යුතුව ජීවත්වන බුද්ධිමතාගේ සම්පූර්ණ පැවැත්ම ක්‍රියාකාරීත්වය මනස විසින් නිසිමග නිසි අයුරු මෙහෙය වනු ලබන්නේ ය.

යටිසිත නැමති මහා බලවේගය නොහොත් ශක්තිය විසින් ඕනෑම පුද්ගලයෙකුට සිදු වන්නට යන අර්ථකාරී හෝ අනර්ථකාරී සිදුවීම් ගැන කලින් නිවේදනය කිරීමක් හෝ සංඥා මගින් දැනුම් දීමක් කරනු ලැබේ. උදාහරණ වශයෙන් ඕනෑම මාරක හෝ ඒ හා සමාන භයානක අනතුරක් සිදු වූ පසු ඉන් මරණයට හෝ කරදරයට පත් වූ පුද්ගලයාට හෝ ඔහුගේ කිට්ටුම හිතවතාට නොයෙකුත් අංශ වලින් මාර්ග වලින් ඉවෙන් මෙන් ඒ සිද්ධියට පෙර දැනගන්නට ලැබුණු බව අපට නිතර නිතර අසන්නට ලැබේ.

ඉව වැටීම් හෝ සංඥා ඇති කරන්නේ යටිසිත නොහොත් භවාංග සිතයි. සිත කෙරෙහි අවදියෙන් හා සෝදිසියෙන් හා තද විශ්වාසයෙන් යුක්තව සිටින්නේ නම් එකී අනතුරු ඇඟවීම ක්‍රමවත්ව තේරුම් ගෙන හදිසි අනතුරු වලින් ඉතා ලෙහෙසියෙන් මිදෙන්නට හැකි වන්නේ ය.

-සුමනදාස සමරසිංහ, අප්‍රකට දේශන