Monday, June 25, 2012

:: පී ::

“හරි, ඔයා කැමතිම අකුර ඇඟිල්ලෙන් මෙතන ලියන්න. මට කියවන්න පුළුවන් වුණොත් මං දිනුම්“
සිය පිටෙහි වූ දූපත් හැඩැති ලපයක් චන්දරේ වෙත පාමින් මොනර කිරිල්ල කීවාය.

කැමති. අකමැති. අකුරු. ඇඟිලි.

චන්දරේට අකුරක් සිහි නොවිනි. ඒ වෙනුවට ඔහු ඈ පෑ ලපයේ දාර දිගේ දබරැඟිල්ල දිවවූවා පමණි.

“මොකක්ද අනේ...?“
“හරි, අද හවස කියන්නම්...!“
කමිසය. සිය වතෙහි දවටාගත් චන්දරේ වහා දිවවිත් බසයට නැංගේය. අසුනකට බර වුණේය. දකින දකින අකුරු අතරින් තමා කැමති අකුර සොයමින් ගෙල කරකවමින් ගමනාන්තය කරා ඇදුණේය.

**********************************************
හවස. වැහි වලාකුළු නිසා අහස අඳුරුවම තිබිණි.
මොනර කිරිල්ල. දෙදරුමකින් පමණක් ඇමතුමක් එන බවට සංඥා කෙරුණු දුරකථනය අතට ගත්තාය. වටපිට බැලුවාය. බොත්තමක් එබුවාය. මුව හා කණ අතර සරල රේඛාවක් සෑදෙන පරිදි දුරකථනය තබා ගත්තාය. සවන් දුන්නාය.

“ මං කැමති ‘පී‘ අකුරට...!“
“ ඇයි අනේ...! සිංහල අකුරක් නැද්ද?“
“ම්හු...! හිතට ආවෙ නෑ“

“ හරි....! ඇයි ඔයා ‘පී‘ අකුරට කැමති වුණේ ?“
“ඔයා කියන්න“

“ඉතිං මගෙ නමේවත් ‘පී‘ අකුර නෑනෙ ?“
“ඒක නිසා නෙවෙයි!“

“ ආ! හරි. ඔයා මාව ආරක්ෂාකරනව කියන්න නේද? “
“ඒ කොහොමද?“
“ඇයි ‘ප්‍රොටෙක්ෂන්‘ කියන්න?“
“ඒකටත් නෙවෙයි....!“

“මොකක්ද අනේ...! මං දන්නෙ නෑ. මං තරහයි...“

“ මේකයි, ‘පී‘ අකුරෙ රවුම තියෙන්නෙ ?“
“ඔවු...!?“
“ඒ රවුමට අතදාල අල්ලගත්තම.....“
“මොන විකාරයක්ද? .... ඉතිං...?“

“ඉස්සරහට එන ඉරි කෑල්ල තියෙන්නෙ..?“
“හ්ම්....ඔවු....?“

“මට ඒකෙන් ඇතිතරම් ඔයාව කිති කවන්න පුළුවන්..!“

No comments:

Post a Comment