Sinhala story Blog

ජූනි 25, 2012

එක්කො නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 6:52 පෙ.ව.

“තවත් කාරණයක් තියෙනවා.

මේ සද්ගුණය ගැනත් රාජ්‍යතාන්ත්‍රික සැලකිල්ල ගැනත් නොවන තවත් දැයක් තියෙනවා දැඩි සේ බලපාන්නක්. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ වැසියන් අපිට නොමඳ සාධක දී තියෙනවා එයාලගේ දේශප්‍රේමීත්වය සහ ස්වාධීනත්වය පිළිබිඹු කරන. ඉතින් අපි ඔවුන් ආක්‍රමණය කළොත් ඔවුන් යටත් නොවී තමන්වත් සෙසු යුරෝපයත් විනාශ කරාවි යැයි හිතන්නත් පුළුවන්. පැට්‍රික් හෙන්රි “එක්කො නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න,” කියද්දී එයා කිව්වෙ ඒ ඇමෙරිකානුවන් තුල වූ හඬක් විතරක් නෙමෙයි. ඒ හඬ ලෝකය පුරා රටවල් සිය ගණනක ජීවත්වෙන මිලියන ගණනක ජනතාවගේ රහසිගත පිළිගැනීමයි. එයා කිව්වෙ එයා ජීවත් වූ කාලයට පමණක් සීමා වූවක් ද නෙමෙයි. අපේ කාලයටත් හරි යන්නට. අපිට බැහැ යුරෝපය විනාශ වෙලා යන්නට ඉඩ තියන්න. ඒකෙ වැරැද්ද අනාගතයේ දී වැටෙන්නෙ අපිට. කුවේඩියම් බෝම්බය ආයෙ ලබාගන්න වුනත් එය කරන්න බැහැ.”

ඔහු කතා කිරීම මඳකට නැවතීය. ඊ ළඟට හැම වචනයක් ම ඉතා පැහැදිලිව හා ගාම්භීරව උච්චාරණය කරමින් මෙසේ කීවේය: “අපි වටහා ගන්න ඕන මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් විසින් කුවේඩියම් බෝම්බයත් ආචාර්ය කොකින්ට්ස්වත් අල්ලා ගෙන ලබා ගත්තේ ජයග්‍රහණයක්. ඒක අපිට ආයෙත් වෙනස් කරන්න බැරි වූවක්. ලෝකයේ යුද බලය මේ මහාද්වීපයෙන් ගිහින් ඒ කුඩා දනව්වට ලැබිලා. මේක අපිට වටහා ගන්න දුෂ්කර වූවක්, ඒත් ඒක තමයි සත්‍යය.”

“රහස් නියෝජිතයන් යවලා බැරි ද අපිට කුවේඩියම් බෝම්බය ආපහු ගන්න?” ආරක්ෂක ලේකම්වරයා ඇසීය.

“මම ඒක හොයලා බැලුවා,” ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ය. “මම සාකච්ඡා කළා උපායමාර්ග සේවයේ මූලස්ථානය එක්ක. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට ගුවන්යානයකින් දක්ෂ මිනිස්සු කිහිප දෙනෙක් අහසින් බස්සලා බෝම්බයයි ආචාර්ය කොකින්ට්ස් වයි ගෙන්න ගන්න විදියක් ගැන.

“ඒ කාර්යාලය කැමතියි උනන්දුයි උත්සාහයක් කරන්නට. ඒත් මුහුණ දෙන්න තියෙන බාධක දැඩියි. ඒ තරම් කුඩා රටක අමුත්තෙක් බව වසන් කරන්න අමාරුයි. වහාම හඳුනාගෙන අත්අඩංගුවට ගැනේවි. ඒ වගේ ම මායිම් සම්පූර්ණයෙන් ම මුර කෙරෙනවා. අපිට ලැබුණ තොරතුරු අනුව බෝම්බය තියෙන්නෙ මාලිගයේ ඇඳිරිගෙයක දැඩි මුර යටතේ. සම්පූර්ණයෙන් සීල් තියලා කාටවත් ඇතුල් වෙන්න බැරි විදියට. ඒත් අපි නිකම් හරි හිතුවොත් අපේ ඒජන්තවරයෙක් හෝ දෙන්නෙක් කොහොම හරි මේ රටට ඇතුල් වුනා කියල අහුවෙන්නෙ නැතිව, එතකොට ඔවුන්ට ඒ මුරකරුවන්ව මරා දාන්න හෝ සිහසුන් නැති කරන්න සිද්ධ වෙනවා බෝම්බය තියෙන ඇඳිරිගෙයට යන්න. එතකොට බෝම්බය අරන් ඔවුන්ට ආපහු එළියට එන්න වෙන්නෙ අවදි වූ සටන් කරන්නට සූදානම් වී ඉන්නා රටක් ඇතුලතින්. අරන් එන බෝම්බය වැටුනොත් හරි හැප්පුනොත් හරි මිලියන ගණනක් ක්ෂණයෙන් මරුමුවට පත් වෙනවා, තවත් මිලියන ගණනක් ඊට පස්සෙ පිටවන විෂ වායුවෙන් මරණයට පත්වෙනවා. ඒ විෂ වායුව තවත් දශක ගණනාවක් පැතිර යමින් මොන ජාතිය ද මොන සමාජය ද කියා බලන්නෙ නැතිව විනාශයට පත් කරන්නක්. අපිට බැහැ මේ තරම් හානියක් කරත හැකි බෝම්බයක් ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලින් බලහත්කාරයෙන් අරන් එන වෑයමක් ගන්නට. මේ කට්ටුමුට්ටුවෙන් ගැලවෙන්නට අපි වෙන මාර්ගයක් හොයාගන්න ඕන.”

“ජනාධිපති මහත්තයා,” ආරක්ෂක ලේකම්වරයා කීය, “අපි සලකා බලන්නෙ නැතිව ඉන්නට හොඳ නැති තවත් වැදගත් පැත්තක් තියෙනවා මේ කාරණයේ දී. ලෝකයේ කුඩාම රටට පහර දුන්නා යැයි කියා ලෝක ඉතිහාසයට එකතු වෙන එක ගැන කල්පනා කිරීම අවශ්‍යයි. ඒ වගේ ම රහස් නියෝජිතයන් යොදා මේ බෝම්බය ආපහු ගන්න යද්දි ඇති අවදානම් ගැන කල්පනා කිරීමත් අවශ්‍යයි. ඒත් අපිට ඒවායේ හරි වැරදි ගැන හිතුනාට ඒවායෙන් කොමියුනිස්ට්කාරයන්ව නවත්වන්න බැහැ.

“මේ බෝම්බය නිෂ්පාදනයේ දී ආචාර්ය කොකින්ට්ස් එක්ක කතාබහේ දී අපි එකඟ වුනා ඒකෙ අයිතිය තියෙන අය ලෝකයේ බලවතුන් වෙන බව. කොයිතරම් සීමාසහිත කාලයකට වුවත් එය මුලින් ම අයිති අයටයි බලය වැඩියෙන් ඇත්තේ. ඒ තර්කය දැනටත් අදාලයි. ඉතින් රුසියානුවෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට කඩා පැනලා මොනවා වුනත් කමක් නැහැ කියල කුවේඩියම් බෝම්බය පැහැර ගන්නට ඇති හැකියාව අපි බැහැර කළ යුතු නැහැ. එයාලා රහස් නියෝජිතයන් යවාවි නැත්නම්. එයාල සාර්ථක වුවහොත් එයාලට පුළුවන් එයාලගෙ කැමැත්ත අපිට බෝම්බය දානවා කියල තර්ජනයෙන් අපි ලවා කරවා ගන්න.

“එයාලට පුළුවන් අපේ හමුදාවන් සම්පූර්ණයෙන් ම යුරෝපයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලන්න. කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් වදින හැම රටක් සඳහා ම අපි දෙන ආධාර නවත්වන්න යැයි කියා කියන්න. බටහිර ජර්මනියේ දේශ සීමාවන් සහ ජනතාව එයාලට දෙන්න කියන්න. එක්සත් ජාතීන්ට රතු චීනය එකතු කරන්න කියන්න. ඇමෙරිකාවේ කොමියුනිස්ට් පක්ෂයට ඇති බාධා සියල්ල ඉවත් කරන්න යැයි කියන්න.

ඔහු නැවතිණ. කරකියා ගන්නට නොහැකි යැයි අඟවමින් දෙවුර හැකිළීය. “ඇත්ත වශයෙන් ම,” ඔහු නැවතත් පටන් ගති, “අපේ රටත් අපේ පුරවැසියන්වත් ආරක්ෂා කරගනු පිණිස අපිට එකඟවෙන්න වෙන දේවල් වල සීමාවක් නැතිවෙයි. එයාලට පුළුවන් වේවි මුළු ලෝකයේ ම හැදියාව කෙසේදැයි තීරණය කරන්න. ක්‍රෙම්ලිනය මේ දේවල් නොකරාවි යැයි කීමෙන් ඵලක් නැහැ. ලෝක බලය අල්ලා ගැනීම එයාලගේ ස්ථිර අධිෂ්ඨානයක්. ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට එයාලගෙ ජනතාව ම දහස් ගණනින් කිසිත් මනස්තාපයක් නැතිව මරා දාපු අය. අප ඉදිරියේ සාධක පැහැදිලිව පේන්න තිබ්බත් අපිට පිළිගන්න බැරි තරම් දේවල් කරන දරුණු වූ අය. අපේ මූලික ගැටළුව, මම දකින විදියට, කුවේඩියම් බෝම්බය ආපසු ලබා ගැනීම නෙමෙයි. ඒක මොස්කව් වලට අල්ලා ගන්නට ඉඩ නොදීමයි. ඒකට යුද්ධ කරන්න වේවි.”

ප්‍රතිචාර 2 »

  1. prathichara nethi vunata api asaven kiyavanawa, digatama liyanna.

    ප්‍රතිචාර විසින් udayaparis2002. — ජූනි 25, 2012 @ 2:23 ප.ව.

    • udayaparis2002,

      ස්තූතියි, කතාවේ අවසනාය වැඩි ඈතක නෙමෙයි. ප්‍රතිචාර කීයක් ලැබෙනවා දැයි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කිසිදාක. කියවන්න එන අය ඇත්නම් එය හොඳට ම ඇති. 😀

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජූනි 26, 2012 @ 7:58 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.