රණසිංහ.


රණසිංහ මුඩ්ඩෙකි. එහෙම නැත්නම් මුදියන්සේ කෙනෙකි. සාමාන්‍ය පෙළ විබාගෙන්
යාන්තමට එගොඩ වූ ඔහු ආණ්ඩුවේ කන්තෝරුවක කාකාස කෙනෙකි.
කට්ට කයිරාටික වෙට්ට පිත්තලයෙක් වුනාට කාර්යාලයේ කිසිවෙකුටත් ඔහුගෙන්
හිරිහැරයක් නම් නොවීය.

ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේද , මරණාධාර සමිතියේද නිල
තල දැරූ ඔහු සාමදාන විනිශ්චය කරුවෙකි. පළාතේ දේශපාලකයාගේ
ප්‍රබල ආධාර කරුවෙකුද වූ ඔහු ලොක්කන් සොච්චමකට මායිම් කළේ නැත.
ආයතනයේ ප්‍රධානියාද රණසිංහ කෙනෙකුම වූයේ ඔහුගේ වාසනාවටය.

දිනක් ලොක්කා බර කල්පනාවක ගැලී සිටියේය.

” ගුඩ් මෝනින් සර්.. මොකක් හරි ප්‍රශ්නයක්ද ? අපිට මොකක් හරි කරන්න පුළුවන්
දෙයක් නම්….”
” තමුසෙ කොහොමද ඕයි මට උදව් කරන්නෙ?”
” එහෙම කතා කරන්න එපා සර් , ඔය අලින්ට කරන්න බැරි වැඩ කූඹින්ට කරන්න
පුළුවන්”
” ආ එහෙනම්… කරනව බලන්න.. මගෙ වයිෆ් ට්‍රාන්ස්ෆර් කරල නුවරින් කුරුණෑගලට,
අපිට ලොකු ප්‍රශ්නයක්…”තමුසෙට පුළුවන්ද ඒක කැන්සල් කරල දෙන්න?”
“ඕවත් වැඩද සර්.. දෙන්නකො මට නෝනගෙ විස්තර”

හරියටම සතියකින් එක් සඳුදා උදේක ලොක්කා , රණසිංහට කතා කළා.
” ඕයි තමුසෙ යකෙක්නෙ” ලොක්කා තම අත තිබූ රාජ්‍ය සේවය පිණිසයි ලිපිය
රණසිංහට පෙන්නුවා. ඒ තම බිරිඳගෙ මාරුව අවලංගු කළ ලිපිය.

” කියනව.. තමුසෙට මොනවද මගෙන් කෙරෙන්න ඕන?”

” සර්.. කරන්න පුළුවන් නම්.. මට මේ දේ කරල දෙන්න.. ආයෙ ප්‍රමෝෂන්
දෙන කාලෙකට මගෙ නමත් රෙකමන්ඩ් කරන්න.. මට කසාද බඳින්න ඕන
සර්…”

කාකාස රණසිංහ , තුන්වන ශ්‍රේණියේ ලිපිකරුවෙකු වූයේ එහෙමය.
ලිපිකරුවෙකුට අවශ්‍ය දැනුම ඔහුට නොවූයෙන් ඔහු අනුයුක්ත වූයේ තැපැල්
අංශයටය. උදේට තැපැල් නයින්ටියේ ගිහින් , ලියුම් මල්ල ගෙන ඒමත්,
හවසට ආයතනයේ විවිධ ශාකා වලින් එන ලිපි අලවා මුද්දර අලවා
තැපැල් කිරීමත් ඔහුට බාර විය. ඊට අමතරව වෙනදා කළ රාජකාරි වූ
සුරංගනී මිසීට උදේට කන්ට ගේන්න කඩේ යාමත් , දවල්ට චන්දිමා
මිසීගේ බබා මොන්ටිසෝරි එකෙන් ගෙන ඒමත් ඔහු නොපිරිහෙලා ඉටු කළේය.

තවත් වෙනසක් වුනා නම් ඒ , ලොක්කා වෙනදා මෙන් ” ඕයි ” නොකියා
” රණේ” කියා කතා කිරීමත්ය.

සැම අංශයකම සේවකයන් ඔහුගේ හිතවතුන්ය. එහෙත් සමහරුන් නම් රණසිංහ
එනවා දකින කොට හැංගෙයි.
” අද කවුද කූරිය ගහල තියෙන්නෙ ?” කාගෙ හරි ළඟ ඥාතියෙක් මළ විට
ආධාර එකතු කිරීමට ලිස්ට් එකක් අරන් වටේ යන්නේ රණසිංහය.
රණසිංහ අටේ පොලියට ණය දීමත් කළේය. සීයට අට ; මාසෙකටය.

ඔය අතර වාරෙ දිනක් තරමක වයස පෙනුමැති ආරිය සිංහළ ඇඳුම්
ඇඳගත් කෙනෙක් කාර්යාලයට ආවේය.
” මම ගාල්ලෙ ඉඳන් ආවෙ… රණසිංහ මහත්තය මුණ ගැහෙන්න”
” අද නම් රණසිංහ මහත්තය හම්බ වෙන්න බැරි වෙයි.. අද දවසෙම ටෙන්ඩර්
බෝඩ් මීටින්” කවුන්ටරේ හිටි සුරංගනී උත්තර දුන්නා.

අමුත්තා තෘප්තිමත් හැඟීමෙන් පිටව ගියා.

නුවර පළාතේ උපන් රණසිංහ පදිංචිව සිටියේ ඔහුගේ නංගීගේ ගෙදර,
පාණදුරේ. වැඩට ආවෙ ගියෙ කෝච්චියෙන්. ආයතන අංශයේ සී සී රත්නපාල
මහත්තය තමයි හරියට අටට රතු ඉර ගහන්නෙ. රත්නපාල මහත්තය
එන්නෙත් කොච්චියේ. නගින්නෙ මොරටුවෙන්. එකම පෙට්ටියේ එකට හේත්තුවී ඇවිත්,
තමන් එක්ක එකට ආ එවුන් පිච්චියකට මායිම් කරන්නෙ නැතුව 8.10 ට රතු
ඉර ගහනව.

” මොකද්ද සී සී මහත්තය.. මේ පඩත්තල වැඩේ. අපි ඔක්කොම එක
කෝච්චියේ නේද ආවෙ ?”
” රණසිංහ.. මෙතන නීතියක් තියෙනව.. මම වරදක් කළා නම් ලොක්කට
ගිහින් කියනව”
හැමදාම ලියුම් අලවල , මුද්දර ගහල හරියන්නෙ නැති වග රණසිංහට
පසක් උනා.

” සර්… මාව සප්ලයි එකට දාන්න පුළුවන්නං ලොකු දෙයක්.. එතන ඉගෙන ගන්න
දෙයක් තියෙනව” ලොක්ක රණසිංහට නොකරන දෙයක් නෑ.
සප්ලයි එකට ගියාට පස්සෙ රණසිංහට අර විධායක නිලධාරීන් අරන් යන
හම් බෑග් එකකුත් ලැබුනා. ඒකත් අරන් රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගෙන,
බුලත් හපේ හක්කෙන් හක්කට මාරු කරන රණසිංහගේ ඇඟේ කිසිම ගැලපුමක්
තිබුණෙ නැහැ. සප්ලයි එකේ ප්‍රධානියා ටිකක් තරුණ පහේ කෙනෙක්.

” රණේ.. මොකද්ද බං ඔය ඇඳුම ? ටිකක් පිළිවෙලකට ඇඳපන්කො..
අනික් උන්ටත් හොඳ නෑනෙ.. දාපන් සපත්තු දෙකක් ඔය ඇඟිලි වැහෙන්න”

ඇත්ත නේන්නම්.. රණසිංහට තමන්ගෙ වටිනාකම තේරුම් ගියා.

” සුරංගනී මිසී.. ලොක්කට කෝල් එකක් ආවොත් , කතා කරන්නෙ සිංහළෙන් නම්
කවුද කතා කරන්නෙ අහන්න. වෙත්තසිංහ කියල කෙනෙක් නම් ඒ කෝල් එක මට”

වෙත්තසිංහ කියන්නෙ රණසිංහගෙ වෙණ්ඩ මාමා.

කාඩ් කුට්ටමේ තුරුම්පු ආසියා තවම කැරකෙන්නේ රණසිංහ ළඟ.

” සී සී මහත්තයා.. මේ සප්ලයි එකේ රණසිංහ.. මේ ළඟකදී
කන්දෙවත්තෙ පොට් එකකට එහෙම ගියාද ?”
” මළ ….ත්තයි.. කවුද උඹට කීවෙ ? මෙහාට වරෙන්.. ඕව ෆෝන් එකෙන්
කියන්න බෑ”
” කවුරුවත් කියපු එකක් නෑ. මම දැක්ක”
” තමුසෙ වෙන කාටවත් කිව්වද ?”
“පිස්සුද මහත්තය.. කට කැපුවත්.. ඒක නෙවේ.. අර රතු ඉර ගහන
කොට රූල් හතරක් පහක් තියල ගහන්න.. හොඳේ”

ඔය අල්ල පනල්ලෙ ආරක්ෂක අංශෙ ආරියදාසගෙ මගුලත් ආපි. ආරියදාසයි
රණසිංහයි එච්චර හොඳ නෑ. ඉස්සර ආරියදාස තමයි සල්ලි පොලියට දුන්නෙ.
රණසිංහ අඩු පොළියට දීල තමන්ගෙ කස්ට්මර්ල ටික අල්ල ගත්තු නිසා.
අන්තිමට ආරියදාසත් , රණසිංහගෙන් රුපියල් දෙදාහක් ගත්ත මේ ළඟකදි.
ආයතනයේ තීරණය අනුව ඔෆීස් වාහනේම කට්ටිය ගියා මගුල් ගෙදර.
මාතලේට ගිහින්.. පළාපත්වෙල පහු කරල හෙන කන්දක් උඩ ගෙවල් තිබුනෙ.
ආරියදාසල දුප්පත් අහිංසක ගං කාරයො. ඒක චාම් උත්සවයක් බඩවැල්
වල වංගු දිග ඇරෙන්න කෑම තිබුණත් බීමට කිසි දෙයක් නෑ. ඒක ලොකු
අඩුවක්. හවස තුනට විතර ආපහු එන ගමනේදී රණසිංහ වාහනෙන්
බැහැල ගිහින් ගැමියෙක් එක්ක මොනවද කටු කුටු ගෑවා. ගැමියාගේ කට කණ
දක්වා ගියා.
” යමුකො.. ඔහොම උඩහට”

නිවසේම පැත්තක කඩයකි. කඩයක් කීවාට ලඩයකි. බඩු සුදුවාය.
” බිසිනස් එකට කරනා නෙවෙයි මහත්තයො.. නියම බඩු.. කොළඹ රටේ වගේ
ජරාව දාන්නෙ නෑ.. සීනියි, රට ඉඳියි.. වරකයි”

ඥානකතා කීපයක්.. පරළු ඉස්කෝතු පිරවූ බෝතලයක් හැර හපන්ට කිසි
දෙයක් නැත. ” ඔහොම යමු ඉස්සරහට .. මරු බයිට් එකක් තියෙනව”
රණසිංහ මදක් පසුබෑවේය.
අද උදේ තියපු පිදෙනි තට්ටුවක්. ගොක් කොළත් අළුත් පාටයි බැදපු මස්
කෑලි දෙකක්.

” රණේ ඔයාට කෝල් එකක් ගාල්ලෙන්.. වෙත්තසිංහ කියල කෙනෙකුගෙන්” සුරංගනී
මිස් උදෙන්ම නරක ආරංචියක් ගෙනාවා.

” පුතා.. මම පුතා හම්බ වෙන්න දවසකුත් ආවා.. දැන් මම කොළඹ ඉන්නෙ.
කතා කර ගන්න ගොඩක් දේ තියෙනව.. දැන් ආවොත් පුළුවන් වෙයිද ?”

” ආ.. කමක් නෑ මාමෙ.. හැබැයි දෙක හමාරට විතර ආව නම් වඩා හොඳයි”

කම්කරුවන්ට , ලිපිකරුවන්ට දවල් දොලහට බඩගිනි හැදුනට , විධායක
නිලධාරීන් වගේ උසස් නිලධාරීන්ට බඩගිනි වෙන්නේ දවල් දෙකටය.
ලොක්කා ලන්ච් එකට එළියට ගිය පසු රණසිංහ ලොක්කාගේ පුටුවේ වාඩි විය.

( ඉතිරිය ලබන සතියේ )

This entry was posted in Uncategorized. Bookmark the permalink.

18 Responses to රණසිංහ.

  1. hasithag පවසයි:

    ලොක්කගේ වයිෆ්ගේ මාරුව කැන්සල් කරන්න රනේට පුලුවන් නම් තමන්ට උසස්වීමක් ගන්න බැරිවුණේ ඇයි ?
    …
    …මොනවා වුණත් සිරා කතාව 🙂

  2. නවම් පවසයි:

    හෙන්රි කිව්ව වගේ මේකා යකෙක්නෙ…. වෙනදා වගේම ලියවිල්ල නම් මල් හතයි. කොච්චර දැඟලුවත් නිහාල් අයිය වගේ සරළව ගලාගෙන යන කතා මට ලියන්න බැරි හැටියක් !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න