Sinhala story Blog

මැයි 24, 2012

ඇමෙරිකාවේ දණ නම්මවත හැකි අවස්ථාව අඩු වී යන බව

Filed under: Uncategorized — sinhalashortstories @ 8:11 පෙ.ව.

මේ අතර තුර දී ටලී සහ කණ්ඩායම වේගයෙන් යුත් පා ගමනින් විශ්ව විද්‍යාලට ඇතුල් වූහ.

එහි දැඩි නිහැඬියාවත්, කිසිවෙකු නැති පරිසරයත් මෙතෙක් තමන් පසු කරගෙන ආ සොහොන් බිමක් වැනි නගරයේ ස්වභාවය හා සමාන බව දැක්කහ. ටලී වැඩි වැඩියෙන් නොසන්සුන් බවින් හා වැඩි සාංකාවෙන් පෙළෙන්නට විය. ගත වූ හැම මිනිත්තුවේ දී ම ඇමෙරිකාවේ එකම වටිනා වස්තුව අල්ලා ගෙන ඇමෙරිකාවේ දණ නම්මවත හැකි අවස්ථාව අඩු වී යන බව ඔහු විශ්වාස කළේය. ඔහුටත්, ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකායත් සිටියේ කාලය හා දුවන තරඟයක ය. නගරයට පහර වැදෙන්නට පෙර මේ ආචාර්ය කොකින්ට්ස් හා ඔහු නිපැයූ බෝම්බය අල්ලා ගත හැකි නම් හා ඔහුව තම නැවට දමාගෙන පළා යන්නට හැකිනම් ජය ඔවුන් සතු ය. එහෙත් ඊට කළින් නගරයට පරමාණු බෝම්බ වැටුනොත් ඔහුත් ඔහුගේ කණ්ඩායමත් සහතිකයෙන් ම මිය යති. මහත් උත්සාහයෙන් කිසිම ඵලයක් නොලැබේ.

ඔහුට විශේෂ වූ මරණ බියක් නොතිබිණ. එහෙත් තම ආදිපාදවරිය වූ ග්ලෝරියානාගේ ඉල්ලීම ඉටු නොකළ හැකි වුවහොත් කියා ඔහු තුල නොසන්සුන්බවක් මෝදු වී තිබිණ. මේ දේශප්‍රේමීත්වයයි, මේ රට වෙනුවෙන් තමා තුල ඇති ආදරයයි මෙසේ දිනන්නට තමා තුල දැඩි උවමනාවක් ඇත්තේ යැයි ඔහු තමාට ම කියාගති. එහෙත් අවංක වුවහොත් එය ඊට වඩා වූ උවමනාවක් බව ඔහු දනියි. ඒ ග්ලෝරියානාගේ රත්තරන් පාට කොණ්ඩය, අයෙක් කැමතිකරවා ගන්නට හැකියාව ඇති සුමදු කටහඬ, සුකුමල වූත් පුද්ගලික වූත් ආශීර්වාදයක් වැනි වූ සිනාව ඔහුගේ සිහියේ ඇත. පිරිමින්ට මේ යුද්ධය දේශප්‍රේමීත්වයෙන් වූවකි. එසේ පටන් ගත්ත ද ඔහුට එය ඊට වඩා ඔබ්බට ගියා වූ නයිට්වරයෙකුගේ රාජකාරියක් වැනි වූයේය.

විශ්ව විද්‍යාල භූමියේ සැරි සැරූ කණ්ඩයාමට සියළු දොරවල් අගුල් ලා ඇති බවත්, සියළු ජනේල සහ ගේට්ටු වසා දමා ඇති බවත්, බලහත්කාරයෙන් මිස වෙනත් කිසිම විදියකින් ඇතුල් වන්නට නොහැකි බවත් වැටහුණි. පාලන ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව බිඳ දමා ඇතුල් වන්නට ටලී තීරණය කළේය.

“විල්,” ඔහු තම ලුතිනන්වරයා ඇමතීය, “අර ගහ කපන්න, එකෙන් දොර කඩලා ඇතුල් වෙන්න හදා ගන්න ලී කඳක්.”

එතරම් විශාල නොවූවත් ලින්ඩන් ගහ කැපීම පහසු නොවීය. නිව් යෝර්ක් නගරයේ වැවෙන සෑම ගසක් මෙන් ම එයත් එහි සුවය විඳින ජනතාව වෙතින් ම ආරක්ෂා කරන්නට සිද්ධ වූවකි. ඒ නිසා ගස වටා ඝන යකඩ වැටක් තිබුණි. එය තම ගදායුධ වලින් ගසා ගලවා දමන්නට ඔවුන්ට සිද්ධ වුණි. බරැති අත්මුගුරු යකඩෙහි වැදී දෝංකාර දෙන හඬ නිහඬ වීදි තුලින් හැම අත පැතිර ගියේය. එයින් තැතිගත් පරෙවියන් තටු සලා ඈතකට පියාඹා ගියහ. ඒ පහර වල් ගහද්දී නොසන්සුන් බව ඔවුන් තුල පහ වුණි. මන්ද නිහැඬියාව ඔවුන් සියල්ලන්ව ම නොසන්සුන් බවින් පුරවා තිබි හෙයිනි. ඒ විල් හැරෙන්නට අනිත් සියල්ලන්ව ම ය. විල් තවමත් තනිවම සිතුවේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් යුධ වදින්නට එනවා ගැන ආරංචියෙන් නගරයේ සියල්ලන්වම පිටත් කර හැර ඇතැයි කියාය.

යකඩ වැට ගලවා දැමූ පසු, ගහ කැපීම පහසු විය. අතු සියල්ල ඉවත් කරන ලදි. එහි කඳ දොර ඉවත් කරන්නට පහසු ආයුධයක් බවට වහා පත්වුණි. මෙවැනි කර්තව්‍යයකට ඉතා දක්ෂ වූ විල් කඳේ මුදුනේ යකඩ දම්වැලක් ඔතා එය ලිස්සා ගැලවී නොයන්නට හම් පටියකින් බැඳ දැම්මේය.

“අපේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වෙනුවෙන්,” විල් කෑ ගැසීය, “මතක් කරගන්න, අපේ පිනෝ වයින්.”

ප්‍රතිචාර 2 »

  1. සෑහෙන දවසකට පස්සෙ තිබුණ සේරම කියෙව්වා. යුද්දෙ නැගලා යනව නේද? හික්ස්…

    ප්‍රතිචාර විසින් Aruna — මැයි 24, 2012 @ 10:56 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.