Sinhala story Blog

මැයි 14, 2012

අපි ඒක පස්සෙ කරමු

Filed under: Uncategorized — sinhalashortstories @ 7:02 පෙ.ව.

පාළුවට ගිය වීදිය, ගොළු ගොඩනැඟිලි, නිශ්ශබ්ද වායුව, හිස් දොරකඩ

යනාදියෙන් වූ නිව් යෝර්ක් නගරයට ඇතුල් වී එහි මැද්දට පා ගමනින් ගිය ෆෙන්වික් දනව්වේ හමුදා බලකායේ සද්දය අමුතු ලෙසකින් දෝංකාරය දුනි. එය නව ලෝකයේ කවදාවත් ඇසී නැති හඬකි. යකඩ දම්වැල් වලින් සෑදුන ඇඳුම් වලට උඩින් දමාගත් ආවරණ වලින් ආ හඬ අහන්නට කැලෑවත් නිහඬ වී සිටියා සේ ය. හිස් දෙකකින් වූ උකුස්සාගේ ජාතික කොඩිය තනිවම ලෙල දෙයි. අවිගත් මිනිසුන්ගේ පලිහ හා හෙල්මට් හිරු එළියෙන් දිළිසෙයි. ඒත් එය දැක්කේ කුරුල්ලෝ විතරයි.

නිහඬ බව බිඳිමින් විශේෂ හමුදා බලකායේ එකෙක් දෙන්නෙක් කැස්සහ. ඒ කැස්ස අඩු තරමේ සැතපුමක් තරම් ඈතකට ඇහෙන්න ඇතැයි හැඟුන නිසා නොසන්සුන් බවින් එකිනෙකා දිහා බැලූහ. වීදි කොණකින් මතු වූ පූසෙක් මහ හයියෙන් ඤාව් කියා දිව ගියේය. එය දැකි ටික දෙනා සිනාසුනේ හිත කලබල කරද්දී ය. පූසා නොදැක එහෙත් ඤාව් ගෑ හඬ ඇසූ අය තැති ගත්හ. පරෙවි රෑනක් පියාඹා ඇවිත් හිරැ එළිය වූ තැනක ලැග්ගහ. ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය සී සී කඩ විසිර නොගියේ ඔවුන් ලද දැඩි පුහුණුව නිසා පමණි. සුළඟකට හසු වූ පත්තර තීරුවක් ඔවුන් පසුපසින් වීදිය දිගේ වීදි යාචක කුඩා දරුවෙක් සෙල්ලම් කරනවා සේ නැවති නැවති පාවි පාවී ආවේය. අවසානයේ එය ටලී ගේ කකුල වටා එතිණ. ඔහු නැවතී එය අහුලා ගෙන කෝපයෙන් එය තම ඉන පටියේ රඳවා ගත්තේ ය. සාමාන්‍යයෙන් නගරයේ මහත් ගොරවන හඬෙන් මැකී යන මේ කුඩා සිදුවීම් හා හඬවල් හැරෙන්නට ඔවුන් ද නගරය ද වෙනත් සද්දයක් පිට කළේ නැත.

කිසිවෙක් හමු නොවී ඔව්හු ඉදිරියට ම ගිහින් ටයිම්ස් චතුරශ්‍රයට පැමිණියහ. නිව් යෝර්ක් ටයිම්ස් ගොඩනැඟිල්ල තනිවම හිටගෙන සිටියේය. හිස් හරස් පාරයන් හි පාළුවට ගිය ගොඩනැඟිල්ලක් සේ දිස් වූ එය දැකි ටලී එය ආක්‍රමණය කළ යුතු යැයි සිතුවේ ය. එය තාවකාලික බලකොටුවක් සඳහා ප්‍රමාණවත් යැයි ඔහු කල්පනා කළේය. එය අල්ලා ගැනීමෙන් යුද්ධයේ යම්කිසි ආරම්භයක් පටන් ගැනේවි යැයි ද අපේක්ෂා කළේය. එය යුද නවතන කොන්දේසි ගැන කතාබහට සුදුසු සාම සාකච්ඡා වලට හොඳ තැනක් වනු ඇතැයි ද හේ සිතුවේ ය.

පහත මාලයේ වූයේ ඖෂධ හලකි. එහි ජනේලයේ එල්ලා තිබූ සිත් ආකර්ෂණීය විසිතුරු භාණ්ඩ ෆෙන්වික් දනව්වේ පිරිමින්ගේ සිත් කුතුහලයට පත් කරන ලදි.

“විල්,” ටලී තම ලුතිනන්වරයා ඇමතීය, “බාගයක් එක්ක යන්න බිල්ඩිමේ අනිත් පැත්තට. එතැන දොරක් හමුවේවි. මම “ඉදිරියට යමු” කියා කෑ ගැහැව්ව ම දොර කඩල නවත්වන්න එන ඕන කෙනෙක් ව මරලා දාන්න. අපි මේ පැත්තෙ දොරෙන් ඒ වෙලාවෙ ම එහෙම ඇතුල් වෙනවා.”

විල් අණ පිළිගත් බව පෙන්වන සැලියුට් ප්‍රතිචාරයක් දක්වා තම කණ්ඩයාමත් සමඟ නික්ම ගියේය. කොතරම් පුහුණුවක් ලබා තිබියත් කඩේ ජනේල වලින් දිස්වෙන යාන්ත්‍රික පැන්සල්, පෑන්, පසුම්බි, හෑන්ඩ්බෑග්, සිගරට්, දුම්කොල පයිප්ප සහ සිගරට් ලයිටර් දිහා නෙත් යොමුවීම නවතා ගැනීමට ඔවුනට අසීරු විය. ඇතුලේ දැවැන්ත නිවේදයක් දිස්විය: ගබඩා මාරු කළ යුතුයි. “යමු,” හෙමින් පා තබනා අයෙකුට විල් කීවේය, “අපි ඒක පස්සෙ කරමු.”

අනිත් පැත්තේ ඔවුනට පිත්තල පියන් දෙකකින් වූ දොරක් හමුවුණි. ටලී ගේ අණ ලැබුණ විගසින් එය කඩා දමා ඇතුල් වෙන්නට ඔවුන් දොර ඉදිරියේ ලැහැස්ති වූහ. එහෙත් ටලී ගේ අණ ලැබුණ විට, මස්පිඬු ශක්තිමත් වූ පිරිමි හයදෙනාගේ උරහිස් දොරට වැදෙද්දී, දොර අගුල් ලා නොතිබි නිසා ඔවුන් ගොඩනැඟිල්ල ඇතුලට ඇදගෙන වැටුණි. ඒ අවස්ථාවේ ම අනිත් පැත්තෙන් එසේම ඇතුල් වූ ටලී ඇතුළු කණ්ඩායම අත්විඳියේ ද එවැනි ම ප්‍රතිඵලයකි. අගුල් ලා නොතිබි දොරවල් දෙකෙන් ඇතුල් වූ කණ්ඩායම් දෙක අවි අමෝරා ගෙන පැති දෙකෙන් ම කඩයේ මැදට දුව ගියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.