02/05/2012 – ලංකාදීප  මිලින්ද මොරගොඩ

 

අහසට නිවනක් නැත. නිවන, බොදුනු ජනතාව පතන අමා මහ සැපතයි. තමන් ලබන සැපත අහසට අහිමි බව කියන්නට මෙරට වැසියන් ඉස්සර වූයේ ඇයි? නිතර වෙනස්වන හෙයින්ය. අවශ්‍ය අවස්ථාවේ අපේක්ෂා ඉටු නොකරන විටදීය. වැස්ස වැඩි වූ විට දොස අහසටය. පෑවිල්ල සතියක් දෙකක් අල්ලන දා අහස දෙස බලමින් දොස් කියන ඇබිබැහියක් අපට ඇත. කාලගුණය අවබෝධකරගත නොහැකි වූ අතීත සමාජය එය අත්භූත බලවේගයක් යැයි සිතූහ. පරිසරය යහපත්වන විට පී‍්‍රති උත්සව පවත්වමින් විනෝද වූහ.

දැන් සමාජය පසුවන්නේ යුග පරිවර්තනයකය. කෘතීම වැසි වස්සවන්නට හැකි දියුණුවකය. අහස, පොලව හැසිරෙන ආකාරය ගැන අනාවැකි කියන්නට සමත් තාක්ෂණික දියුණුවක් ලබා තිබේ. ලෝකය පුරා විද්‍යාඥයෝ කාලගුණය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිති. දත්ත එකතු කරති. වැහි දිය මනින  අනිලමානයක සිට කාලගුණය සොයන චන්දි‍්‍රකාව දක්වා මෙවලම් මෙයට නිර්මාණය වී තිබේ. මෙම දත්ත ගලපා අනාවැකි කියන්නට සමත්ය. මෙවැනි අනාවැකි ලෝක වාසීන්ට වැදගත්ය. එදිනෙදා ජීවිතයට කාලගුණ තොරතුරු වලින් ලැබෙන්නේ විශාල පිටුවහලකි.

ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයට කාලගුණ දත්ත ඉතාම වැදගත්ය. ධීවරයන්ට, ගොවියන්ට එයින් ලැබෙන අනාවැකි එදිනෙදා ප‍්‍රයෝජනවත්වෙයි. මෑතක සිට රට තුළ හා ශ‍්‍රී ලංකාව පිහිටි කලාපයේ ස්වභාවික විපත් වැඩි වන බවක් පෙනේ. සුනාමි අවදානමක් ඇතිකරන භූ චලන එයින් ප‍්‍රධානය. රට තුළ නාය යාම්, ගංවතුර සහ අකුණු විපත් එදා ට වඩා බහුලය. මෙයින් ජීවිත අනතුරට පත්වෙයි. දේපල වැනසෙයි. රටටත් ආර්ථිකයටත් මහත් හානියකි. රටට ස්වාධීනව කාලගුණ වෙනස්කම් සම්බන්ධ තොරතුරු ගවේශනය කිරීම පහසු නැත. එවැනි විද්‍යාත්මක ක‍්‍රමවේදයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතුය. කාලගුණ තොරතුරු අධ්‍යයනය කර අනාවැකි ඉදිරිපත් කරන්නට කලාපයේ හෝ ජාත්‍යන්තර වශයෙන් සිදුකරන පර්යේෂණ ඉවහල් වෙයි. රට දියුණු වන විට, රට වැසියන්ගේ ජීවිත හා දේපොල අනතුරකරා ඇදෙන බව පෙනෙන වකවානුවක කාලගුණය සම්බන්ධව ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුය.

අනාවැකි ය කළින් කරන දැන්වීමකි. එය සිදුවන්නට සේ ම නොවෙන්නට ද ඉඩ තිබේ. සිදුවිය හැකි බව ඉදුරාම දැන එහි ඇත්ත පණිවුඩය මහජනතාවට සන්නිවේදනය කළ යුතුය. ඉදුරාම දැන ගත හැකි තරමට ම තාක්ෂණික හැකියාව ජාත්‍යන්තර ප‍්‍රජාවට ඇත. දියුණු රටවල් ඒ වෙනුවෙන් වෙහෙසෙයි. කලාපයත්, දියුණු ජගත් විද්‍යාඥයන් සමගත් ශ‍්‍රි ලංකාවේ කාලගුණික පර්යේෂණ අංශ සම්බන්ධතා ගොඩනගාගැනීම වැදගත්ය. අනතුරු ඇගවීමකින් පසු එය සිදු නොවුනහොත් කලබල වූ මහජනතාව දොස් තබන්නේ බලධාරීන්ටය. භයානක තත්ත්වය නම් අසාර්ථක වූ පසු නැවත අවස්ථාවක කරන අනතුරු ඇගවීමක් නොසලකාහරින තරමට විශ්වාසය හීනවීමයි. එවැනි අවස්ථාවකින් ඉනික්බිති පසු විපරමක අවශ්‍යතාවය ද වැදගත්ය. අනතුරු අ`ගවමින් කලින් කරන ලද අනාවැකිය ඇත්තක් නොවීම වාසනාවක් වන අතර එවැනි අවස්ථාවක මහජනතාව හමුවට පැමිණ යතාර්ථය හෙළි කළ යුතුය. එවිට විශ්වාසය වැඩෙයි. මහජනතාව හා කාලගුණික අනාවැකි සමග ඇති සම්බන්ධතා තහවුරු වෙයි. එයින් ආරක්ෂාවන්නේ ජන ජීවිතයයි. වඩා වැදගත් වන්නේ ලෝකයේ දියුණු තාක්ෂණය මෙහිලා හවුල්කර ගැනීමට අපට ඇති දැක්මයි.