Sinhala story Blog

අප්‍රේල් 27, 2012

ගර්ජනය කළ මීයා -ජනාධිපතිතුමනි, ව්‍යාපෘතිය සාර්ථකයි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:36 පෙ.ව.

5

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වයිට් හවුස්හි ඕවල් කාමරයේ තම මේසය පිටුපස වූ පුටුවට බර දුන්නේ එහෙන් මෙහෙන් ඉතිරි වී ඇති කොණ්ඩය මතින් ගෝමර වැටි අතක් යවමිනි. වේලාව උදෑසන නවයයි. ඒත් දැනටම ඔහු විඩාපත්ය. හිසරදයකින් පෙළුණි. එය වයිට් හවුස් හි නිල වෛද්‍යවරයාට රපෝර්තු නොකරන්නට ඔහු දැන සිටියේය. නැත්නම් රුධිර පීඩනය සොයා බලන, ඉලෙක්ටොකාඩියෝග්‍රෑම් එකක් ඇතුළු නොයෙකුත් අංග වලින් සපිරි දිගු වෛද්‍ය පර්යේෂණයක් පැවැත්වෙනු ඇත.

ඔහුට අවශ්‍ය වූයේ ඇස්ප්‍රින් පෙති කිහිපයක් සහ පැය තුන හතරක නින්දකි. ඔහුට රාත්‍රියේ නින්ද මඳ වුණි. උදෑසන දෙකට කොකින්ට්ස් කතා කළේය.

ඔහු කීවේ මෙපමණකි: “මම ව්‍යාපෘතිය ඉවර කළා ජනාධිපතිතුමනි, ඒක සම්පූර්ණයෙන් ම සාර්ථකයි.” තමන් කුමන උත්තරයක් දුන්නා දැයි ජනාධිපතිවරයාට අමතක ය. “හොඳයි,” නැත්නම් සමහර විට, “අපූරුයි, උදේට ඔයාව මුණ ගැහෙන්නම්,” වැන්නක් කියන්න ඇති. පසුව රිසීවරය තබා ඔහු ආයෙත් නිදි තුරුලට යන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ නින්දට බාධා කළේ වියරු සිහිනයන් ය. දැවැන්ත සුදු ඇඳ ඇතිරිලි වල මැද වූ උණුසුමෙන් එහි වූ පිරිමි සහ ගැහැණු කුඩා වී කුඩා වී ගිහින්, හරියට හිරු රස්නෙන් දියවෙන අයිස් කූරු මෙන්, තිත් මෙන් කුඩා වී කිසිත් නොමැති ලෙසකින් නොපෙනී යන හැටි ඔහු සිහිනෙන් දැක්කේ ය.

ජනාධිපතිවරයා දුරකතනය ඔසවා සම්බන්ධීකරණ නිලධාරියාට මෙසේ දැන්වීය: “ආරක්ෂක ලේකම්ටයි පරමාණු ඉන්ධන කොමිසමේ ග්‍රිෆින් සෙනෙට් සභිකයාටයි කතා කරලා කියන්න එයාලට වැඩි සද්දයක් කරන්නෙ නැතිව එන්න කියල. ආචාර්ය කොකින්ට්ස් ටත් කතා කරන්න. මට එයාව මුණ ගැහෙන්නත් ඕන.” ඉක්බිතිව ඔහු ජනේලය අසලට ගියේය. අත් පිටුපසට කරගෙන උද්‍යානයේ තණ පිඩැලි දෙස බලාගෙන ඔවුන් එනතෙක් සිටියේය.

මිනිත්තු දහයකින් ආරක්ෂක ලේකම් සහ ග්‍රිෆින් සෙනෙට් සභිකයා පැමිණියහ. “සුබ උදෑසනක්,” යැයි ප්‍රීතිමත් ලෙසින් ආශීර්වාද කළ ජනාධිපතිවරයා ඔවුන්ට අසුන් දෙකක් අතින් පෙන්වීය. ප්‍රීතියෙන් කොතරම් දුරක සිත වූවත් ප්‍රීතිමත් මුහුණක් පෙන්වන්නට ඔහු හුරු වී සිටියේය.

“ඔයාලට පෙන්වන්න දෙයක් තියනවා,” ඔහු කීවේ සිනාවෙමිනි. “සෑහෙන්න උණුසුම් එකක්.” ඒත්, ග්‍රිෆින් සෙනෙට් සභිකයාගේ මුහුණේ පැතිර ගිය නොසන්සුන්බව දැක “දේශපාලන දෙයක් නෙවෙයි, ග්‍රිෆ්,” යැයි එකතු කළේය.

සෙනෙට් සභිකයා එසේ නොවේවා යැයි මුසු වූ සිනාවක් පෑවේය. ජනාධිපති වදනින් ඔහුගේ නොසන්සුන් බව මඳක් අඩුවිය. ඔහු සිරුරින් කුඩා, සුදු කොණ්ඩයකින් සහ රතු මුහුණින් වූවෙකි. බුල්ඩෝග් වර්ගයේ බල්ලෙක් මෙන් සිරුර පුෂ්ටිමත් විය. ඔහු හැම විටම ඇන්දේ අළු පැහැති ෆ්ලැනල් වර්ගයේ සූට් කට්ටලයකි. කබායේ කොලරයේ කුඩා රතු රෝස පොහොට්ටුවක් පැළඳ සිටියේය. ඔහු ආවේ බටහිර ප්‍රාන්තයකිනි. ඔහුට තිබියේ දිගට ඇදී පැද්දී හිමින් ගලා යන සුමුදු කටහඬකි. එය ඔහුගේ පෙනුමෙන් සම්පූර්ණයෙන් ම විරුද්ධ වූ ලක්ෂණයකි. මන්ද ග්‍රිෆින් සෙනෙට් සභිකයාට වූයේ ඕනෑම මොහොතක කුමන යම් කරුණක් නිසා හෝ හදිසියේ කෝපාවිෂ්ට වී බැන වදින්නට හැකියාව ඇතැයි කියන පෙනුමකි. ඔහු ඇත්තෙන්ම මුදු මොළොක් මිනිසෙකි. ඔහුව කෝපාවිෂ්ට කිරීම පහසු නොවේ. ඒත් ඔහුගේ මරුමුසු පෙනුම දේශපාලනිකව ඉතා ප්‍රයෝජනවත් වූවකි. ඉන් බොහෝ වතාවක දී වැඩිය හිතවත් නොවූ දේශපාලන සභාවන් යටපත් කරගන්නට ආධාර වුණි.

ඊට වෙනස් වූ ආරක්ෂ ලේකම්වරයා තුල වූයේ මීයෙක් මතක් කරන පෙනුමකි. මෙය වඩාත් ඉස්මතු කර පෙනුනේ ඔහුට තිබි යමක් කියන්නට උවමනා වූ කළ ඊට පෙර ඇඟිලි තුනක් යටි තොලට තබා ගන්නා හැදියාවක් නිසාය. හරියට ඒ වදන් පිට කිරීමෙන් කාටවත් අහිතක් වේ යැයි ඔහු සිතූ බවක් හඟවන සේ ය. එසේ පිට කිරීම නොමනා යැයි සිතනා බව පෙන්වනවා සේ ය. හමුදා ලොක්කන් ඉදිරියේ දී ඔවුන්ගේ ප්‍රියතම ව්‍යාපෘතියක් අහක් කර ඇතැයි ඔවුනට දන්වන්නට ආරක්ෂක ලේකම්වරයා කෙසේ ධෛර්යක් ලබාගත්තා දැයි සමහර අවස්ථාවල දී ජනාධිපතිවරයා කල්පනා කළේය. කෙසේ හෝ ඔහු තම කාර්යයන් ඉටු කළේය. වොෂිංටනයේ පැතිර ගිය කටකතාව නම් ඔහු තම භාර්යාවට පණ බියේ පසුවන බවය. හැමදාම සවස 5:30 වෙද්දී මොන වැඩක් තිබ්බත් කාර්යාලයෙන් වහාම පිට වී යන ඔහුගේ හැදියාවට දුන් පැහැදිලි කිරීම එයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.