Sinhala story Blog

අප්‍රේල් 18, 2012

ගර්ජනය කළ මීයා -බඩගින්නෙ ඉන්න රටවල් ආචාරශීලී වෙන්නෙ කොහොම ද

Filed under: Uncategorized — sinhalashortstories @ 1:32 ප.ව.

රාජකීය කටයුතු වල දී දොලොස්වන ග්ලෝරියානා ආදිපාදවරියට

තරුණ කාන්තාවකගේ භූමිකාවෙන් කාටවත් ළං නොවන රැජිනකගේ භූමිකාවට ඉතා දක්ෂ ලෙසින් මාරු වෙන්නට හැකියාව තිබිණ. මෙය අළුතින් තෝරා පත්වුනු නායකයන් විසින් හඳුනාගන්නට සමත් වූයේ දැන් ය. එය ඔවුන්ව නොසන්සුන්තාවයකට පත් කරන ලදි. දැන් ආදිපාදවරියක් සේ හැසිරෙන ඇය මිනිත්තු කිහිපයකට පෙර අව්‍යාජ ලෙසින් දෙළුම් ගෙඩියක් අතගාමින් සිටි තරුණ කෙල්ලක් වූවාය. දැන් ඇය තම බලය පෙන්වන්නට පසුබවට නොව තම රාජධානියේ පාලකවරිය සේ හැසිරෙන්නී ය.

“කොමියුනිස්ට් පක්ෂයක් හදන යෝජනාව ගැන කිව්වොත්,” ඇය කියාගෙන ගියාය, “ඔබට මතක් වේවි මම බාරගත්තානෙ ඒක ටලී බැස්කොම්බ් ට ගිහින් කියන්න. එයා තමයි හොඳම සහ ආරක්ෂිතම පුද්ගලයා එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියා ද ඔබලා හැමෝම එකඟ වුනානෙ. කෙසේ වුවත්, එයාට පුළුවන් වුනා ඒක වැරදි ක්‍රියා මාර්ගය යැයි මට පෙන්වා දෙන්නට.”

මවුන්ට්ජෝයි සිටුවරයා බෙන්ටර් සමඟ පුදුමයට පත් වූ බැල්මක් හුවමාරු කරගත්තේය.

“එයාට පුළුවන් වුනා සැලැස්ම හරි ගිහින් ඇමෙරිකාවෙන් සල්ලි ලැබුනත්, අන්තර්ජාතික වංචාවක් කළා යැයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල මෙච්චර ශතක ගණනාවක් තිස්සේ පවත්වා ගෙන ආ ගෞරවනීය නාමය කැලසෙන බව මට පෙන්වා දෙන්නට.”

“ඒත්, ආදිපාදවරියෙනි,” මවුන්ට්ජෝයි කතාව මැදට පැන්නේය, “අපිට බැහැ අපේ ජනතාවට ගෞරවය කන්න දෙන්න. උවමනාව සහ ගෞරවය අතර තෝරාගැනීමක් නම් ඒක, භෞතික හා අධ්‍යාත්මික තෝරා ගැනීමක් අතර වූවක් නම් ඒක, එහෙනම් ඉතින් භෞතික වූ දේවල් ඉස්සර වෙලා එන්න ඕන. මිනිසාට ස්ප්‍රීතුවක් තියෙන බව හොයාගත්තෙ නැහැ මිනිහාට ඇති වෙන්න කෑම තියෙන්න කළියෙන්. එසේ කෑම ඉදිරියටත් ලැබෙන බව තහවුරු වෙන්න කළියෙන්. කුසගින්නෙන් ඉන්න මිනිස්සුන්ට ගෞරවනීය නාමයක් ගැන හිතන්න බැහැ. බඩගින්නෙ ඉන්න රටවල් වලට ආචාරශීලී වෙන්නෙ කොහොම ද කියා හිතන්න ඉඩක් නැහැ.”

“ඔයා වැරදියි එතැන දී,” බෙන්ටර් කීවේය. “මම ඒ මිනිහා ටලීට කැමැත්තක් දැක්වීමට ආරම්භ කරනවා. ඉස්සර එයාගෙ මත අවශ්‍ය පමණට වඩා විරෝධී යැයි මම හිතුවේ. මම හිතන විදියට තමන්ගේ ආත්ම ගෞරවය නැත්නම් මිනිස්සුන්ටත් ජාතියකටත් යන දෙකටම බැහැ පැවැත්ම පවත්වා ගෙන යන්නට.”

“අන්න ඒකමයි බැස්කොම්බ් විසින් කිව්වෙ,” ග්ලෝරියානා කීවාය. “කොහොම හරි, එයා ප්‍රතික්ෂේප කළා කොමියුනිස්ට් පක්ෂයක් හදන එක. මොකද එයා කොමියුනිස්ට්වාදය එක්ක එකඟ නැති නිසා. මට වැටහිච්ච විදියට එයා ප්‍රජාතන්ත්‍රවාදය එක්කත් එකඟ නැහැ. බලන කොට පෙන්නේ එයාට ෂුවර් නැහැ එයා මොන එකක් එක්ක ද එකඟ වෙන්නෙ කියලාවත්.”

“අපි ආපහු යන්න ඕන වයින් වලට වතුර දාන එකට,” බෙන්ටර් කීවේය. “ඒක තමයි මේ දුෂ්කර අවස්ථාවෙන් ගැලවෙන්න හැකි එකම මාර්ගය. ඒකෙ කිසිම අගෞරවයක් නැහැ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් ලේබලයේ නැහැ කියලා වයින් වල තියන වතුර ප්‍රමාණය කොච්චර ද කියා සඳහනක්.”

“ඔයා එහෙම කළොත් අපේ රටට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය විනාශ වෙයි,” මවුන්ට්ජෝයි කතාවට නැවත එකතු වූයේ මඳ වේගයකිනි.

“මම හිතන්නෙ නැහැ ඔබ දෙදෙනාගෙන් එක් අයෙකු වත් නිවැරදි යැයි කියා,” ග්ලෝරියානා කීවාය.

“සමහර විට බැස්කොම්බ් මහත්තයාට තිබුණා වෙන්නැති විසඳුමක්?” මවුන්ට්ජෝයි ඇසුවේ ඇනුම්පදයක හැඟියාවක් එකතු කරමිනි.

“අන්න ඒකටම තමා මම අද උදෑසන මේ රැස්වීම කැඳවූයේ,” ග්ලෝරියානා පිළිතුරු දුන්නා ය. “බැස්කොම්බ් මහත්තයා අපිට විසඳුමක් පෙන්නලා දුන්නා. එකෙන් අපිට පුළුවන් ඇමෙරිකාවෙන් අපිට ඕන තරම් මුදල් ලබාගන්න. ඒ වගේම අපේ ජාතික ගෞරවයට කැළලක් නොවී තියාගන්න.” ඇය මඳක් නැවතියේ ඊ ළඟට කිය යුතු දෑ වලට වැදගත්කමක් දෙන්නට ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.