RSS

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

14 අප්‍රේල්
60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

නුඹ සුභ නොපැතුවොත් සුභ නොපතන,
නුඹ කලොත් පමනක් පෙරලා සුභ පතන,
එනමුදු නුඹ සුභ පතයිදැයි සෙවිල්ලෙන් ඉන්න,
සගයන් සිටීද නුඹ හට.
මට මෙන්?

නුඹ නැවතී කතාකලොත් පමණක්,
මූනිච්චාවට හිනාවෙන, කතාකරන,
වැරදිලාවත් නුඹ එහෙම නොකලොත්,
‘අරූගෙ ආඩම්බර’ යි බැනවදින,
‘හරි ගිහින් උන්ට, තුහ් නොතකින් හැත්ත!’

නුඹ හිනා වුනොත් විතරක් සිනාසෙන,
පාරේදි දැක්කම හො‍රැහින් බලා යන,
නුඹ කතාකලොත් පන දෙන්නට කතාකරන,
නැත්නම් නොදැක්කා සේ යන,
මිනිසුන් එක්ක වැඩ කරලා තියේද නුඹ?

දුරකථනේ සබැඳියන් ලැයිස්තුව,
ලෝකෙ දිගම එකදැයි හිතෙයි මට,
නමුත් මුන්ගෙන් කීදෙනෙක් මට,
කතාකරයිද “හෙන්රියෝ කොහොමද බොට?”
මමම කතා නොකලොත්…?

කිසිදා නුඹට කතා නොකරන,
සමහරු නුඹ කතාකල විට,
රීචාජ්, රීලෝඩ් හි‍ඳෙනකල් නුඹේ,
එල්ලීගෙන වාන් දමන කතාව,
යකෝ, මෙච්චර විස්තර ඕපාදූප තිබිලනෙ මුන්ට..!!!

නමුත් උන්ගෙ වැඩක් තිබ්බොත් නම්,
වැඩේ කෙරෙන තෙක් දිනකට,
සියවරක් වුව කතාකරන, වාත කරන,
වැඩේ ගොඩ දා ගත් පසු හයිබනේට් වෙන,
සබඳන් සිටීද නුඹටත්?

ලියුම් හැටියට පහුගිය
අවුරුදු දහ පහලොවටම,
ලැබුනෙ, දුරකථන, විදුලි වතුර බිල් පමණි.
ඒත් කමක් නෑ කියමු.
සයිබර් යුගය නොවැ.

එතකොට ඊ මේල් සබැඳියන් ලැයිස්තුව,
ලෝකෙන් දෙවෙනි දිගම එක,
ඉන්බොක්ස් එක උතුරන්න,
ෆොර්වර්ඩ් ෆොර්වර්ඩ් ෆොර්වර්ඩ් කරපුවා,
අනිත් උන් සදහටම වර්චුවල් මතකයේ ලගිති.

නුඹේ උපන් දිනයක ජීවිත කාලයට,
කාඩ් එකක්, ඇමතුමක් නොදුන් මුත්,
නුඹට අමතක වුනොත් කරුමෙට,
උන්ගේ උපන් දිනයට සුභ පතන්නට උදේම,
“අඩෝ මම මේ බලා හිටියෙ උඹට අමතක වුනාද කියලා” කියන

නුඹ ගැන බ්ලොග් පෝස්ට් කිසිවිට කවුරුත් නොලීවාට,
නුඹ ලිව්වත් මුන් ගැන නිදි මරාගෙන,
“ඒයි උඹ දැක්කද මගෙ පෝස්ට් එක උඹ ගැන?”
“අනේ බං උඹලට වගෙ අපිට,
කොහෙ තියෙන වෙලාවක්ද?”

“උඹලනං ඉස්කොලවල,
නිකම්මනෙ ඉන්නෙ අපි එහෙමද?
අපි හෙන බිසිනෙ බං උදේ දවල් රෑ නැතුව
උඹලා වගේද? Some people
have to work for a living, heh heh…”

ඈ @#$ ‍තෝ ඉන්නෙ දවසම,
නේද පරිගනකෙට ඇන ඇන,
අන්ලිමිටඩ් ඉන්ටනෙට් නේද බොල?
අපිනෙ ගුරුවරු උදේ ඉඳන් කට්ට කන,
ගෙදර ගියත් නිවනක් නැති ජාතිය.

අපිට වෙලාව ඇත තොපි ගැන,
බ්ලොග් පෝස්ට් ලියන්නට,
තොපිට වෙලාවක් නෑලුනේ,
ඒ ලිපිය කියවන්න අනේ @#!
අපි තමයි බොග් ලියන WordPress, Blogspot රට හරක්!

ලිබරල්, අති නවීන,
පිරිමි මූලික නොවන,
අපේ ස්වාධීන පවුල තුල,
ලෝකෙ දිගම වැඩ ලැයිස්තුව දෙන්නාටම.
ඒත් තොපිට වෙලාවක් නැතිහැටි!!

හිරු නොබසින අධිරාජ්‍යය තිබ්බෙ නම් ඉස්සර.
හිරු නොබසින යාලු මිත්‍ර නෑදෑකම්,
තියෙන්නෙ දැන් මාහට.
දවසෙ කොයි වෙලේ හෝ,
ඉර පායලා අපේ උන් ඉන්න රටකට!

මුං සමහරක් දකින්නෙත් මං,
අවුරුදු පහ දහයකට වරක්!
හිතලා බලපන් හොඳට,
වසර 2000න් පස්සෙ අපි,
කීවරක් හමුවෙලා තියෙනවද?

මේ විදීයට ගියොත් අපි,
මේ ජීවිත කාලය ඇතුලත,
තව කීවරක් මුන ගැහේවිද?
පිළිගන්නට මැලි වුනත්,
ඇත්ත ඒක නේද බොල?

නව සහශ්‍රයෙ තොපෙන්,
කීදෙනෙක් කීවරක් ආවාද මගේ ගෙදර ?
ඒත් වසරකට වරක් මවුරටට යන මම,
තොපේ ගෙදර නාවොත්,
තොපිට මල මා එක්ක!!

“උඹ රටෙත් නෑනෙ බොල”,
වෙයි සමාවට කරුණ.
ඇයි යකුනෙ හැම වසරෙ, මේකාලෙ අපි එන්නෙ,
වසරක වැඩ සති හයකට ගලපන්න!
ඒත් මට වැඩිය බිසිලු තොපි!!

තවත් වර්ගයක් ඇත,
ගෙමිදුලට පමණක් එන.
ඇතුලට නෑවිත් හිටගෙන දොරලඟ,
පැය ගනන් කතාකරල යන.
ඉඳගන්න වෙලාවක් නෑලු ඒ අයට!!

මේ කිව්ව දේ වලට,
රිදුනාද උඹේ සිත?
උඹ විතරක් නෙවෙයි බං,
හෙන සෙට් එකක් මට,
ඉන්නවා උඹ වගේ.

ප.ලි.
හිතේ තියෙන ආවේගෙට,
ලියාගෙන ලියාගෙන ගියාට,
මට කවිලියන්න බැරිබව,
මතක් වුනෙත් මට,
මේ දැන් තමයි!!!

ඔබ සැමට සුභ නව වසරකට ආසිරි henryblogwalker the Dudeගෙන්

 

ටැග: ,

31 responses to “60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

  1. praveena

    අප්‍රේල් 14, 2012 at 2:51 ප.ව.

    සුබ නව වසරකට ආසිරි Dude : -)

     
  2. සාතන්

    අප්‍රේල් 14, 2012 at 2:58 ප.ව.

    හෙහ් හේ…. අපි නම් දැන් තරම දැනගෙන තමයි ආස්සරේ… සුභ අළුත් අවුරුද්දක් වේවා මචෝ…

     
  3. විසිතුරු | visituru

    අප්‍රේල් 14, 2012 at 3:12 ප.ව.

    මම නම් හිතන්නෙ අපි හැමෝම අඩු වැඩි වශයෙන් ඔහොමයි! පෘතග්ජන මිනිස්සුනේ!

     
  4. Kathandarakaraya

    අප්‍රේල් 14, 2012 at 4:33 ප.ව.

    පව්!

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:14 ප.ව.

      @ප්‍රවීනා: ඔබටත් සුභ නව වසරක් වේවා!

      @සාතන්: ඒක හොඳයි, ආරක්ෂාකාරී ඉරියව්වෙන් ඉඳීම. සාතන්ටත් වාසනාවන්ත ශුභ නව වසරක්!

      @විසිතුරු: Typical Visithuru Style!

      @Kathandharakarayaa: ස්තුතියි!? 😀

       
  5. hiruni

    අප්‍රේල් 14, 2012 at 5:47 ප.ව.

    ඇත්තම තමයි. අනිත් අයට අවුරුද්දට, උපන්දින වලට් ෆොන් වලට කෝල්ස්, මෙසේජ් එන්නෙ එක දිගට. ජනදිපතිටත් වඩා බිසී එත්කොට. ඒකට අපිට්, ෆෝන් ඕෆ් වෙලා සතියක් විතර…..ඒත් ගානක් නෑ…. ඒත් ඩුඩ් සතු‍ටු වෙන්න පුලුවන් එක කාරනයක් තියෙනවා

    ලිබරල්, අති නවීන,
    පිරිමි මූලික නොවන,
    අපේ ස්වාධීන පවුල තුල,

    අපිට හැම වෙලේම අපි වෙනුවෙන් වෙලාව තිබේ….

    ඩුඩ් පවුලටයි, ඔක්කොටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා!

     
  6. Shanthi Chandrasekera

    අප්‍රේල් 14, 2012 at 6:16 ප.ව.

    kiyanna ona tika saha sudden kiyala . ow api nogiyoth unta mala eth un kawadawath satha pahak viyadam karanne naha . onna mama baluwa hithuna share karanna fb ekata subadawasak yaluwe.

     
  7. Kokila

    අප්‍රේල් 14, 2012 at 7:00 ප.ව.

    අප්පට සිරි කවි ලියන්නත් පුළුවන්නේ. නියමයි නියමයි. කොහොම උනත් මගෙන් අවුරුදු සුබ පැතුම් මුළු පවුලටම.

     
  8. අංජන

    අප්‍රේල් 14, 2012 at 7:08 ප.ව.

    මම හිතුවෙ හෙන්රි ට
    අමතක වෙලා කියල
    අපිට සුභ පතන්න
    😀

     
  9. අංජන

    අප්‍රේල් 14, 2012 at 7:11 ප.ව.

    ලැබූවා වූ අලුත් අවුරුද්ද සාර්ථක වේවා

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:19 ප.ව.

      @hiruni: ගනං ගන්න එපා හිරුණි.
      අර කිව්වත් වගෙ අපිට අපි වෙනුවෙන් වෙලාව තියෙනවනෙ.
      සුභම සුභ අලුත් අවුරුද්දක්!

      @Shanthi Chandrasekera: ස්තුතියි ශාන්ති! වැඩියෙම කේන්ති ගන්නත් එපා.
      වේවා ශාන්තී, නොවේවා කේන්තී!
      මටත් දෙන්නකො ශෙයා කරපු ලින්ක් එක. සුභ නව වසරක්!

      @Kokila: මට බ්ලොගර් කෙනෙක් වෙන්න ප්‍රබලම හේතුවක් කෝකිල.
      කවි ලියන්න හැකියාවක් නැතිවුනත් ඔන්න ඔහෙ ලියලා දැම්මා. සුභ නව වසරක් කෝකිල දෙන්නාටම.

      @අංජන: හෙහ් හෙහ්. ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!

       
  10. buddhiprasadh

    අප්‍රේල් 14, 2012 at 8:04 ප.ව.

    මෙහෙමයි මටනං කාලෙක ඉඳලා තේරුන දෙයක් ඔය එස්එම්එස් සහ මේල් විශ් කිරිලි එච්චර සාර්ථක නෑ කියලා. විශ් කරන්න කට්ටිය නැති උනත් උදව්වක් ඕනේ වෙලාවට කට්ටිය හොයා ගත්තැකි ඕනම වෙලාවක කියලා මට වෙලාවකට හිතෙනවා. වෙලාවකට හිතෙන්නෙ නෑ.

    ඔය හේතුව හන්දා මම මෙදා පාර කාටවත් එස් එම් එස් යැව්වෙ නෑ. මේල් වලින් නම් සෑහෙන පිරිසක් විශ් කරලා තිබුනනේ. මට එස්එම්එස් වලින් විශ් කරලා එවලා තිබුනා තුන්දෙනෙක්. එකෙක් මගේ කුරුලු හමුදාවේ හිටපු යාලුවෙක්. අනිකා මගෙන් විශේෂ උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ලගදි අඳුරගත්තු පොරක්. අනිකා බ්ලොග් ලියන එකෙක් සදරුවා කියලා. පොර ඊයේ මහ රෑ මට එස් එම් එස් එකක් එවලා තිබුනා. මට පෝං එකේ සද්දෙ ඇහුනත් නිදි මත වැඩි කමට ගත්තෙ නෑ. පාන්දර නිදි මරගාතේ පෝං එක බලද්දි මෙන්න සඳරුවා එවලා එකක්. මහ පාන්දර ආයි කොටන්න කම්මැලි හන්දා එම තැන මම ගත්තා පොරට. පොර වෙලාවට කලාවට වැඩ කරලා හොඳට නිදි.

    පොර ගත්තු ගමන් මම කිව්වා එසේම වේවා කියලා. පොර සෑහෙන වෙලාවකට පස්සෙ සිහිඑළවගෙන ආනේ උඔත් මේ පාන්දර කරන වැඩ කියලා කිව්වා. ඔය මදැයි අවුරුද්දටම!

    අනික මේදා අවුරුද්ද අපි ගෙදර. අපේ ෆවුලයි, මහ සෙට් එකයි. ඒක හන්දා මෙදා අවුරුද්ද මොනා නැතත් ෂේප්!

    උඔට සුබ අලුත් අවුරුද්දක් වේවා. මගේ නම්බරේ උඔ දැනගෙන හිටියනං ඔය මොනා කිව්වත් තව එස්එම්එස් එකක් හරි කෝල් එකක් හරි වැඩි වෙනවා කියලා මම දන්නවා!

     
  11. Weni

    අප්‍රේල් 14, 2012 at 8:10 ප.ව.

    අනේ මටත් එක්කෙනෙකුටවත් අවුරුද්දට සුබ පැතුම් කියල එකම එක එකක් වත් යවා ගන්න තිබුනනම්..හැබැයි සැලසුම් කරලා තිබ්බෙ යවන්න…

     
  12. Sumith Niriella

    අප්‍රේල් 14, 2012 at 8:32 ප.ව.

    සේකරගේ “මක් නිසාද යත්” කියෙව්වා වගේ….නරක නෑ…!!

    ඔබටත් පවුලේ සැමටත්….සුබ අලුත් අවුරුද්දක් වේවා….!!!!

     
  13. රාජ්

    අප්‍රේල් 15, 2012 at 7:37 පෙ.ව.

    මේ කිව්ව දේ වලට,
    රිදුනාද උඹේ සිත?
    උඹ විතරක් නෙවෙයි බං,
    හෙන සෙට් එකක් මට,
    ඉන්නවා උඹ වගේ.

    🙂 සුබ අලුත් අවුරුද්දක් වේවා!

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:22 ප.ව.

      @buddhiprasadh: මෙහෙමයි ඒක මම දකින්නෙ බුද්ධි. මට නම් ඊ මේල්, SMS එකකින් හරි කමක් නෑ, කෙනෙක් සුභ පතනවා නම්. ඒකෙත් මාර ගතියක් තියෙනවා කෙනෙකුට තමන්ව මතක් උනා කියලා දැන ගත්තමත්. මම උඹේ ෆෝන් නම්බර් එක නොදන්නවා උනාට ඊ මේල් සුබ පැතුමක් එව්වානෙ.
      අනික බුද්ධි මම මගෙ පෝස්ට් එකේ මුලින්ම කියලා තියෙන්නෙ ඔය අවුරුද්දට සුබ පතන එක නෙවෙයි. උදේට සුභ දවසක් පතන එක. සමහරු “Good Morning” කියන්නෙ අපි කිව්වොත් විතරයි. නැත්නම් උත්තර දෙන්නෙ ඕනෙවට එපාවට මූණෙ හිනාවක්වත් නැතුව රාජකාරි මට්ටමින්. සමහර එවුන් “”Good Morning” කිව්වම “Yes” කියනවා. සමහරු තොල් තද කරගෙන ඔලුව උඩට පහලට ආඩම්බරෙන් හොලවලා අනුමත කරනවා මේ උදේ තමයි කියන එක.

      @Weni: උඹට වෙච්ච කරදරේ දැනගෙන සුභ පැතුම් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද වෙනී?

      @Sumith Niriella: ස්තුතියි සුමිත්. ඒක ඉහලම අගය කිරීමක්. වාසනාවන්ත නව වසරක් වේවා!

      @රාජ්: සුභ නව වසරක් වේවා, රාජ්!

       
  14. Gold fish

    අප්‍රේල් 15, 2012 at 8:06 පෙ.ව.

    අළුත් අවුරුද්දේ මෙන්න කවිත් ලියලා. මං නං හිටියේ ගමේ. එහේ ඉඳන් නෙට් එකට ලොග් ​වෙන්න බෑ. ඒක නිසා නෝ ඊ මේල්, නෝ බ්ලොග්, නෝ ​​​​ෆේස් බුක්…!

    අයියට පට්ට සුභ අළුත් අවුරුද්දක් වේවා….

     
  15. දුකා

    අප්‍රේල් 15, 2012 at 10:44 පෙ.ව.

    අනිත් එකාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආස්‍රය කරන්න ඇහැක් නම් හිතට හරිම නිදහසක් දැනෙනවා බන් . . . සුභ පැතුම් විශේෂ අවස්තා අමතක වීම් වලදී එහෙම මම නම් කරන්නේ “උන්ට ත් කියලා කොයි තරම් නම් වැඩ ඇද්ද?” කියලා හිත හදා ගන්න එක . .

     
  16. Nalini

    අප්‍රේල් 15, 2012 at 1:51 ප.ව.

    කවි ලියන්න පුළුවන්! 😀
    ඉස්සර මම කන්නාඩි දාලා යනකොට සෙනග අස්සෙ තෙරපිලා නහය තුවාල වෙන නිසත් කන්නාඩිය වැටෙන නිසත් ඒක නැතුව යනවා. එතකොට මට පේන්නෙ නෑනෙ. පස්සෙ වෙලාවල්වල මූණටම හම්බුණහම “ඔයා අහක බලන් ගියා” කියන්න ඕනෙ තරම් කට්ටිය හිටියා. මට ඇස් නොපෙනෙන බව දැන දැනත් දැකපු මනුස්සයා අර වෙලාවට කතා නොකර අහක බලන් ගිය එක ගැන වගේ වගක් නෑ.
    ඒ ඇර තව ඉන්නවා අසනීපයක් වුණහම පාන්දර එකට දෙකට හරි කතා කරන අය. මම නින්දෙන් ඇහැරුණාද කියලා නිකමටවත් නාහා තමන්ගෙ ප්‍රශ්නෙ කියන අය. ඒගොල්ලො කතා නොකරන කාලවලට මම දන්නවා මේ සනීපෙන් හොඳින් ඉන්න කාලයක් කියලා. 😀
    ඔය “වැඩ වැඩි” හේතුව බොහෝවිට දාන්නෙ විවාහක අය. වැඩ වැඩිනම් කමක් නැහැ. නමුත් නරකෙ අනික් මනුස්සයටත් එහෙමම වැඩ තියෙන බව ඒ අයට අමතක වීම. මමත් ඉස්සර හවස වැඩ ඇරුණහම, යාළුවො බලන්න එහෙම යනවා. ඒත් ඒ අය තමන්ගෙ වෙලාවෙන් අමතර එක විනාඩියක් මා වෙනුවෙන් එහෙම වැය නොකරන බව යළි යළිත් දැක්කට පස්සෙ, මම දැන් එහෙම යන එක සෑහෙන්න අඩු කරල. වුවමනාවක් තියෙනවනම්, හිතවතෙක් වෙනුවෙන් වෙලාවක් වැය කරන්න බැරිකමක් නැහැ. තමන්ගෙ වුවමනාවක් ආවහම ඒ අය අපි එක්ක කතා කරන්න වෙලාව වැය කරනවනෙ.

    ඔබටත් පවුලෙ අයටත් සිතේ ප්‍රීතිය සාමය සපිරුණු සුභ නව වසරක් වේවා.

     
  17. Kathandarakaraya

    අප්‍රේල් 15, 2012 at 7:38 ප.ව.

    ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:52 ප.ව.

      @Gold fish: එහෙනං හොඳට හුරතල් වෙන්න ඇති ගමේ ගිහින්!
      ගෝල්ඩ් ‍ෆිෂ් කියන එකාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්!

      @දුකා: අන්න දුකාගෙ දුක්ගන්නාරාල ප්‍රතිපත්තිය. අපිත් මහ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ බං. ඔය පෝස්ට් එකේ කියලා තියෙන්නෙ දාස් ගනං වියදං වෙන අමාරු දේවල් නෙවෙයිනෙ. පොඩී දේවල්. එතකොට අපිට විතරක් කොහොමද බං වෙලාව තියෙන්නෙ?
      සුබ නව වසරක් දුකා!

      @Nalini: ස්තුතියි නලිනි.
      හෙහ් හෙහ්, මම දන්න කන්නාඩි දාන කවුරුත් කියන දෙයක් මෙන්න නලිනිත් කියලා. “ඇස් පෙනීම දුර්වල නිසා” නෙවෙයි, “ඇස් නොපෙනෙන නිසා”. ඕක ඇහුවම අසන්නාත් අසරණ වෙනවා.

      නලිනි කියලා තියෙන අනිත් දේවල් වලව නම් මම අවිවාදයෙන් එකඟ වෙනවා.

      ඔබටත් පවුලේ සැමටත් සිතේ ප්‍රීතිය හා සාමය පිරුනු නව වසරක් වේවා.

      @Kathadarakaraya: ඔබටත් එවැනිම නව වසරක් වේවා කතන්දර!

       
  18. sAm sRi

    අප්‍රේල් 16, 2012 at 8:30 පෙ.ව.

    පලි කියල ලියල තියෙන බොරුව තමා කැත.. කවි ලියන්න බැහැ කියන්නේ බොරු..

    ජයෙන් ජය.. සුභම සුභ වේවා

     
  19. සිතුවම්

    අප්‍රේල් 16, 2012 at 11:30 පෙ.ව.

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා…

    මන්ද අප්පා මටත් වෙලාවකට හිතෙනවා තනි වෙලා කියලා.දන්න කියන මිනිස්සු කීයක්නම් ඉන්නවද.අපෙන් උදව් ගත්ත අය අපි උදව් ගත්ත අය,පාඩමක් කියලා දුන් අය,රාජකාරි කරපු ස්ථානවල අය,ස්කෝලෙ උන්,ගමේ උන්,එකට පන්ති ගිය උන් ඔකී මෙකී නොකී කී දෙනෙක් ඉන්නවද?ඒත් ඔය කථාවම නිසා මම මේ පාර කාටවත් විෂ් නොකර හිටියා බලන්න.මට හම්බුනේ හරියටම සුභ පැතුම් 6යි.ඒකෙන් 3ක්ම නොහිතපුම අය.

     
  20. kavikaari

    අප්‍රේල් 16, 2012 at 3:54 ප.ව.

    සුබ අලුත් අවුරුද්දක් වේවා.

     
  21. ලොකු පුතා

    අප්‍රේල් 17, 2012 at 1:29 පෙ.ව.

    සුබ අළුත් අවුරුද්දක් වේවා අයියේ….
    ප්‍රමාදයට බලුගැත්තාට සමාව.. 😦
    ලංකාවට යන්න ලක ලැස්ති වෙන නිසාත් ජාල සම්බන්ධතාවය ඇනහිටී නිසාත් පහුගිය දවස් කීපයේ පොඩ්ඩක් පිස්සු හැදිලා වගේ උන්නේ.
    ඇත්ත තමයි බං අයියේ, අපි මාසෙක නිවාඩුවට ලංකාවට ගිහින් කරගන්න වැඩ ටික කර ගන්න ලංකාවේ ඉන්න අයට මුළු අවුරුද්දමත් මදිලු…
    ගිය පාර මම ලංකාවට ගිහින් යාලුවන්ව හම්බ වෙන්න දවසක් දාගෙන ඔක්කොම සෙට් කලාම එකෙක් කියනවා “මචං දවස වෙනස් කරගන්න බැරිද, මගේ පොඩි එකාව ඉස්කෝලේ දා ගන්න කතා කරගන්න යන්න තියෙනවා” කියලා
    ඒ පොඩි එකාට වාසය තාම අවුරුදු දෙකහමාරයි. ඒ මදිවට අපි පාර්ටි එක සෙට් කලෙත් රෑ 9 ට….
    අනේද කියන්නේ කියලා ඉතුරු උන් ටිකවත් කතා කරගෙන අපේ වැඩේ කරගෙන ගියා.
    මට ගොඩ වෙලාවට හිතිලා තියෙන දෙයක් තමයි බැන්දට පස්සේ තනිකඩ කාලේ හිටපු යාළුවෝ නෙමෙයි ඉන්නේ කියලා.
    සමහර එව්වෝ පට්ට ආත්මාර්ථකාමී වෙලා,…..
    කාලය මැව් වෙනස,,,, කියලා හිත හදා ගම්මු බං අයියේ….

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:54 ප.ව.

      @sAm sRi: විස්වාස කරපං සෑම් මම කවදාවත් කවි ලියලා නෑ. (එකම එක දවසක් ඔය නවමගෙ පෝස්ට් එකකට කමෙන්ට් තටමලා අමාරුවෙන් එකක් ලියාගත්තා.)
      අම්මෝ බං sAm sRi කියලා ටයිප් කරන එක හරියට පාස් වර්ඩ් එකක් ගහනවා වගේනෙ. “ලොවේ සැමා” කියලා දාගත්තනම හරිනෙ.

      @සිතුවම්: පරීෂනයේ නිරීක්ෂණය ශෝචනීයයි නේ? ඔන්න අපි කාගෙත් කතාව.
      සුබම සුභ නව වසරක්!

      @kavikaari: ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් කවිකාරි.

      @ලොකු පුතා: අලුතෙන් පටන් ගන්න යන සිහින මවමින් ජීවිතය අති සාර්ථක වේවා!.

       
  22. නවම්

    අප්‍රේල් 17, 2012 at 6:35 ප.ව.

    දැං මං මේකට මොකක්ද බං අයියෙ කියන්න ඕනෙ……

    එස්.එම්.එස්, මේල් එෆ්බී ඔයි එකකින් වත් මම සුභපතන්නෙ නෑ කියල තීරණය කලේ මීට දෑවුරුද්දකට විතර කලින්. ඒව මහ කෘතීමයි බං. නිකං වගකීමකින් නිදහස් වෙන්න වගේ මැසේජ් එකක් දාන එක මට අප්පිරියයි, ඒක හන්ද මම මොකෙන්ගෙන් වත් බලාපොරොත්තුවෙන්නෙත් නෑ. එහෙමයි කියල මිනිස්සු අමතක වෙයිද ?

     
  23. dulipss

    අප්‍රේල් 18, 2012 at 1:34 පෙ.ව.

    අඩේ මම උඹට පැතුවෙත් නෑනෙ බං අයියෙ . . . මම ඒකට උඹෙං සමාව ඉල්ලන්නෙ නෑ . . අඩුම ගානෙ මගෙ ගෑනිටවත් කතා කරල සුභ පැතුවෙ නැති මම කීයටවත් උඹට කතා කරල සුභ පතයි කියල හිතනවද ???

     
    • henryblogwalker

      අප්‍රේල් 19, 2012 at 8:57 ප.ව.

      @නවම්: මම නම් එස්.එම්.එස්, මේල් එෆ්බී හරි කමක් නෑ.
      නමුත් උඹට අපිව අමතක නොවෙන බව උඹ ඔප්පුකලා දෙපාරක්ම. ස්තුතියි. උඹට මතකද දන්නෑ.
      සුභ අලුත් අවුරුද්දක්.!

      @dulipss:උඹ අමුතුවෙන් නොපැතුවට උඹ තමයි අපිට මෙහෙ ඉන්න ලඟම නෑයා. උඹ කීපාරක් මාව ගොඩදාලා ඇත්ද? ඒකෙන් කමක් නෑ. හාමිනේට සුභ පැතුවෙ නැති එක නම් හොඳ නෑ

       
  24. ගමේ කොල්ලා

    අප්‍රේල් 21, 2012 at 9:02 ප.ව.

    sorry uncle blog එකට ටික දවසකින් එන්න වුන් නෑ ,,
    සුභ අලුත් අවුරුද්දක් වේවා ,,

     
  25. Buru

    මැයි 4, 2012 at 12:00 පෙ.ව.

    මේක තමයි බොහෝ විට හැමෝගෙම කතාව. අපි යාළුවන්ට මැරීගෙන හිටියාට සමහර අය අපිව ආශ්‍රය කරන්නේ බෙනිෆිට් වලට විතරමයි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න