ආයුබෝවන්…. දයාන්….


(ආචාර්ය දයාන් ජයතිලකයන්ගේ තානාපති සේවය අත්හි‍ටුවා නැවත කැදවූ 2009 ජුනි මාසයේ තරම් ඈතක දී පළ කළ මෙම ලිපිය නැවත පළ කිරීමට කල්පනා කළේ එහි කාලීන අවශ්‍යතාව සලකමිනි. ඉතිහාසයේ වරක් සිදුවූ යමක් නැවතත් සිදුවෙමින් තිබේ.)

ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි පවසමින් රාජපක්ෂ රෙජීමය තුළට ඇතුළු වී රටේ සාරය හා ධන සම්පත් සූරාකන තක්කඩි පිරිස එන්න එන්නම වැඩිවෙමින් තිබේ. එහෙත් අතරින් පතර හෝ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අයෙක් දෙන්නෙක් එළියට වීසිවෙමින් සිටිති. ආචාර්ය දයාන් ජයතිලක ද එවැන්නෙකි. එහෙත් මතවාදීමය වශයෙන් වෙනස් මගක ගියත් ආචාර්ය දයාන් ජයතිලකයන්ට තක්කඩියෙක් යැයි කීමට මගේ හෘදය සාක්ෂිය මට ඉඩ නොදේ.

මේ රටේ සිංහල බුද්ධිමත්හු සිටිති. දෙමළ බුද්ධිමත්හු සිටිති. වෙනත් ජාතීන්ට අයත් බුද්ධිමත්හු සිටිති. නමුත් ශ්‍රී ලාංකික බුද්ධිමත්හු සිටින්නේ අතේ ඇගිළි ගණනටත් අඩුවෙනි. ජාතිය ඉක්මවා ශ්‍රී ලාංකික දැක්මකින් අදහස් පල කළ ආචාර්ය දයාන් ජයතිලක ඒ අතේ ඇගිළි ගණනටත් අඩු බුද්ධිමතුන් අතුරින් අයෙක් යැයි සතුටින් පැවසිය හැකිය.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයෙන් දෙමළ ජාතියට එතිහාසික නොසැලකිල්ලක් සිදුවී ඇති බව දයාන් පිළිගත්තේය. ඒ නිසා දෙමළ ජනතාවට සාධාරණ දුක්ගැනවිල්ලක් ඇති බව ද ඔහු පිළි ගත්තේය. එහෙත් දයාන්ගේ විශේෂත්වය වූයේ මේ කිසිවක් නොවේ. දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිලිවලට විසදුමක් ලබා දිමට නම් සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඔහුගේ විශ්වාසය විය. එහෙත් එදා මෙදා තුර සැමදාම දෙමළ වාර්ගික ගැටළුව සම්බන්ධයෙන් දයාන් ජයතිලකයන්ට තිබුණේ සංවර්ධනාත්මක ප්‍රවේශයකි. ඔහු ඒ වෙනුවෙන් නොබියව අදහස් පළ කළේය. ගැටළුවට තමන් විශ්වාස කරන්නා වූ විසදුම වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. ඔහු ගැටළුවේ පාර්ශවකරුවකු නොවී විසදුමේ පාර්ශවකරුවකුවීමට හැකි සෑමවිටම උත්සාහ කළේය. දෙමළ දුක්ගැනවිලි සිංහල පාලකයන්ගේ අත පල්ලෙන් බේරෙන යමකින් සංසිදවිය යුතු යැයි විශ්වාස කරන සමාජයක දයාන් ජයතිලකයන් ද වරෙක ද්‍රෝහියෙක් විය.

එහෙත් ආචාර්ය දයාන් ජයතිලක එල්.ටී.ටී.ඊ. සංවිධානය දුටුවේ ෆැසිස්ට් සංවිධානයක් ලෙසය. සිංහල සමාජයේ සතුරා ජනතා විමුක්ති පෙරමුණ වනවිට දෙමළ සමාජයේ සතුරා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය යැයි ඔහු විශ්වාස කළේය. මේ නිසා දයාන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සෑමවිටම සිටියේ ඝෘණාත්මක ස්ථාවරයකය. ඔහු සෑමවිටම විශ්වාස කළේ කොටි සංවිධානයේ විනාශයයි. සෑම විටම ඒ සදහා ඔහු කටයුතු කළේය.සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට ආචාර්ය දයාන් කොන්දේසි විරහිතව ඉදිරියට ආවේ ද ඒ අරමුණෙන් යැයි මේ ලියුම්කරුගේ විශ්වාසයයි.

දයාන්ට කොටි සංවිධානය සමග පමණක් නොව රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ද තිබුණේ ග්‍රාම්‍ය ගැටුමකි. දයාන් ඒ දෙදෙනාම පිළිකෙව් කළේය. එහෙත් රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ යන නායකයන් හා දයාන් ලග සමාගමයක් පැවැත්වීය. ඒ තුළ වූයේ සංස්කෘතික ප්‍රශ්නයකැයි මේ ලියුම්කරු සිතයි. එහෙත් ඒ ගැටුම් නිසා පීඩනයටපත් වූයේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියයි. 2003 සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ට තිබුණේ තාක්ෂණික ගැටලු කිහිපයකි. එහෙත් දයාන් සටන් විරාමය සම්බන්ධයෙන් දැරුවේ මන්දෝත්සාහී ප්‍රතිපත්තියකි. ඊට හේතුව වූයේ එය රනිල් වික්‍රමසිංහගේ සටන් විරාමයක් වූ නිසාවෙනි. ලංකාවේ බොහෝ බුද්ධිමතුන්ට ආවේනික මේ දුර්වලතාව දයාන් තුළ ද විය. ඒ නිසා සටන් විරාමය සම්බන්ධයෙන් දයාන්ගෙන් ලබාගත හැකිව තිබූ මහගු දායකත්වයක් රටට අහිමි වුණි. ලක්ෂ්මන් කදිරගාමර් සම්බන්ධයෙන් ද මේ ලියුම්කරුට ඇත්තේ එවැනි අදහසකි. මේ බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීමට නායකයන්ට ද අවශ්‍ය නොවීම අවසනාවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරය දරමින් දයාන් ශ්‍රී ලංකා රාජ්‍යයට කළ මෙහේය අපමණය. ස්වාමිවරුන්ගේ අණ නොතකමින් අයාලේ යෑමට උත්සාහ කරන විට ස්වාමිවරුන් දබරගිල්ල එසවූ අතර ඒ සෑමවිටම දයාන් තම පෞර්ෂය භාවිතා කරමින් ස්වාමිවරුන්ට සපථ කළේ එය එසේ නොවීමට වග බලා ගන්නා බවයි. දයාන්ගේ මේ වගකිව යුතු කාර්ය භාරය කොළඹ සනීප ජීවිත ගත කරමින් මාධ්‍ය මගින් යුද්ධ කළ බොහෝ පිරිස් වලට තේරුම් ගැනීමට නොහැකි විය. දයාන් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කළ මේ අමිල මෙහෙවර නිසා සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් වෙනුවෙන් කතා කරමින් ඔහු එතෙක් ගොඩනගා ගෙන තිබූ ප්‍රතිරූපයට සිදුකර ගත් හානිය අති මහත් ය.

දයාන්ගේ අදහස් හා රාජපක්ෂ රෙජීමයේ අදහස් අතර ඇත්තේ නයි මුගටි සබදතාවක් යැයි කීවොත් එය වඩා නිවැරදිය. එහෙත් රාජපක්ෂ රෙජීමයේ පාලනය යටතේ කොටි සංවිධානය විනාශ කළ හැකි යැයි ඔහු විශ්වාස කළ නිසා බරපතළ පරස්පරතා මැද වුවත් රෙජීමයට දර දිය අදින්නෙකු බවට ස්වේච්ඡාවෙන්ම පත් විය. අවසාන ඉලක්කය වෙනුවෙන් ඉලක්කයේ ප්‍රවේශ මාර්ගය කුමක් වුවත් කමක් නැතැයි සිතන බොහෝ දෙනෙක් මෙන් ආචාර්ය දයාන් ද කොටි සංවිධානයේ විනාශය වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය හා එක පෙළට සිට ගැනීමට සිදුවීම ගැන ඔහු කනගාටු නොවීය. එසේම කොටි සංවිධානය විනාශ කළ දිනක තමන් විශ්වාස කරන්නා වූ විසදුම කරා යා හැකි යැයි යන අතිශය බොළද ස්ථාවරය දැරීය.

කොටි සංවිධානය දෙමළ ජාතියේ විමුක්ති අරගලයට කළ හානිය අතිමත් ය. එහෙත් කොටි සංවිධානය නැති සංදර්භය දෙමළ විමුක්ති අරගලයට කරන හානිය ඊටත් වඩා අති මහත් ය. දිනා ගත් නිදහස දේශපාලන විසදුම් වලින් පාවා නොදෙන්නැයි විවිධ බලවේග කෑමොර දෙන්නේ එබැවිනි. එළඹි යුද දේශපාලනික සංධර්භය තුළ දේශපාලන විසදුමකට තබා ඒ සදහා වූ කතා බහකටවත් ඉඩක් නැත. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය දේශපාලනිකව මර්දනය නොකර යුදමය ලෙස මර්දනය කිරීම දෙමළ විමුක්ති අරගලයට ද එකසේ හානි කරයි.ඒ යුදමය මර්දනය සදහා දයාන්ලාගේ දාඩිය වගුරු ප්‍රයෝජනයට ගත් පසු ඔහුන් ඇද දමන්නේ කුණු බක්කියටයි. ආචාර්ය දයාන් ජයතිලකයන්ට තේරුම් ගැනීමට නොහැකි වූයේ ද මේ සත්‍යයයි.

දයාන් අභාවවාචක අත්දැකීම් මැද නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සුපුරුදු විශ්ව විද්‍යාල රුකියාව භාරගනී ද නැත්නම් රාජපක්ෂ රෙජීමය ලබාදෙන මානසික අල්ලසකින් සෑහීමකට පත්වේදැයි මේ ලියුම්කරුට අදහසක් නොමැත. එහෙත් සෑම කළු වළාකුලකටම පසු රිදී රේඛාවක් ඇතැයි කීවාක් සේ දයාන් යම්කිසි මතයක් මේ මොහොතේ ජනතාව ඉදිරියේ සපථ කර ඇත. එනම් බලය බෙදාහරිමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් මගින් දෙමළ ජනතාවගේ අරගලයට රාජපක්ෂ රෙජීමය කිසිදා විසදුමක් ලබා නොදෙන බවයි.

කලක් මේ ලියුම්කරු ආචාර්ය දයාන් ජයතිලක සමග දුරකථනය ඔස්සේ කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන ගියේය. ඒ අවදියේ මේ ලියුම්කරුගේ පරමාදර්ශය වූයේ ඔහුගේ දැනුම හා බුද්ධියයි. එහෙත් ඔහු වෙනත් ගමනක යෙදෙමින් රාජපක්ෂ රෙජීමය හා අත් වැල් අල්ලා ගැනීම ගැන ඇතිවූයේ පිළිකුළකි. එහෙත් ඔහුට තිබූ ගෞරවය මදකින් හෝ අඩු නොවීය. මේ අවස්ථාවේ දී ත් මා ඔහුට ආයුබෝවන් යැයි පවසන්නේ වෙනස් මගක ගොස් නැවත පැමිණියත් ඔහුගේ බුද්ධිය සම්බන්ධයෙන් මා තුළ වූ ලෙන්ගතුකම එලෙසින්ම පවතින බැවිනි.

One thought on “ආයුබෝවන්…. දයාන්….

  1. සම්පූර්ණයෙන්ම එකඟයි ශාන්…දයාන් කියන්නෙ වෙන කවදාටවත් වඩා අද අපට අවශ්‍ය මිනිස්සු.එ වගේම දයාන් ගැන ඔබගේ කියවීම හරියටම හරි කියලත් මට හිතෙනව. ඊළාම් යුද්ධය පැවැත්වෙද්දි විදේශයන්හිදී රජය වෙනුවෙන් දයාන් කරපු කාර්‍ය භාරය අප්‍රමාණයි.ඒත් ඒ වෙලාවෙ පාලකයින් දයාන්ට ඒ කාර්‍යය භාර දීල තිබුනෙ ඒ වැඩේ හරියට කරන්න හිටිය එකම මනුස්සය දයාන්ම විතරක් බව හොඳින්ම දැනගෙන හිටපු නිසා.එහෙම නැතුව දයාන්ගෙ මතවාදය පිළිගත්ත නිසා නෙවෙයි.දයාන්ට වැරදුනෙත් මෙතන.

    අන්තිමට දත් මැදල විසි කරල දාන දැහැටි කූරක් වෙන්නයි ඒ වගෙ අපූර්ව මනුස්සයෙකුට උනේ…ඇත්තටම කණගාටුයි.

    අපේ තානාපති කාර්යාල වල බෞද්ධාගමට මුල් තැනක් දෙමින් කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරන්ට තරම් කශේරුකාවක් තිබුනෙ දයාන්ට විතරයි. බොහෝ විට මේ ප්‍රතිපත්තිම තමයි දයාන්ගෙ හරහට හිටියෙ.

Leave a comment