Pages

නිදහස් සමරුවෙන් හා දැයට කිරුළෙන් කිරුලු පළදින අනුරපුරය

64 වන නිදහස් සමරුව

ආශ්චර්යවත් දේශයක් ගොඩනඟමුතේමාව යටතේ මෙවර නිදහස් උත්සවය ඓතිහාසික අනුරාධපුරයේ අභිමානය ඔප් නංවමින් අනුරාධපුර - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත කේන්ද්‍ර කර ගනිමින් ලබන 4දා උදේ අනුරාධපුරයේ දී පැවැත්වේ.

මෙවර නිදහස් උත්සවය පවත්වනුයේ 64 වැනි වරට වන අතර ජාතික නිදහස් සමරු උත්සවයේ දී ජනාධිපතිතුමා පෙරවරු 9.15ට ජාතිය ඇමතීමට නියමිතය. මෙම උත්සවයේ කටයුතු ආරම්භ වන්නේ පෙ.ව. 8.30ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟමය. පෙරවරු 8.50 ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගායනා කිරීම ද සිදු කෙරේ.

ආශ්චර්යයේ පුනරාගමනය

ආශ්චර්යයේ පුනරාගමනයයන තේමාව යටතේ මෙවර දැයට කිරුළ 2012 ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා පස්වරු 5ට ඓතිහාසික අනුරාධපුරය තන්තිරිමලේ ඔයාමඩුව ප්‍රදේශයේ දී ජනපති අතින් විවෘත විමට නියමිතයි.

අක්කර 600ක භූමි භාගයක වර්ග අඩි ලක්ෂ 4ක භූමි ප්‍රදේශයක ප්‍රදර්ශන කුටි 1000ක් පමණ මෙවර දැයට කිරුළ භූමියේ ඉදිවන අතර ඒ අනුව මෙරට අති විශාලම ප්‍රදර්ශනය ලෙස මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය හැඳින්විය හැක. ප්‍රදර්ශනය ප්‍රධාන කලාප 8 කට බෙදා ඇත. පෙබරවාරි 5 සිට 10 වෙනිදා දක්වා පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා දැයට කිරුළ ප්‍රදර්ශනය විවෘතව තැබේ. පාසල් දරුවන්ට ද ඔවුන් සමඟ එන ගුරුවරුන්ට දැයට කිරුළ නොමිලේ නැරැඹීමට අවස්ථාව ලැබෙන අතර අන් අයට ප්‍රදර්ශනයට ඇතුළුවීමට දැයට කිරුළ ලොතරැයි පතක් ලබාගත යුතුය.

අක්කර 600 ක් වන මුළු දැයට කිරුළ ප්‍රදර්ශන භූමියම වයිෆයිතාක්ෂණය යටතේ ආවරණය කරනු ලැබේ. ඒ අනුව දැයට කිරුළ ප්‍රදර්ශනයේ සියලු කුටිවලට අන්තර්ජාල පහසුකම් ලැබේ. ඊට අමතරව බ්‍රෝඩ්බෑන්ඩ්අන්තර්ජාල පහසුකම් ද ඒ කුටිවලට ලබාදී වැඩිමනත් තොරතුරු නරඹන අයට ඒවා පෙන්වා දීමට හැකියාව දෙනු ලැබේ.

දැයට කිරුළ කලාපයේ සිට මෙවර දැයට කිරුළ එෆ්. එම්. ලෙස සජීවි ගුවන් විදුලි සේවයක් විකාශය කරයි. එෆ්. එම්. 90.6 ඔස්සේ විකාශය කෙරෙන මේ ගුවන් විදුලි සේවය මුළු උතුරුමැද පළාතටත් වයඹ පළාතේ කොටසකටත් මනාව ශ්‍රවණය කිරීමට හැකිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා රජරට සේවය හා එක්ව ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම විකාශනය මෙහෙයවනු ලබයි.

මෙවරත් දැයට කිරුළ ප්‍රදර්ශනයේ වැඩිම ඉඩකඩක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක හමුදාවලට හා පොලිසියටයි. ඒ අනුව අක්කර 50 ක පමණ භූමි ප්‍රදේශයක යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, පොලීසිය තම අවි බලය, මානව බලය, දස්කම් විස්කම් පෙන්වීමට කටයුතු යොදා ඇත. එල්ටීටීඊයෙන් අල්ලා ගත් අවි මෙන්ම සජිවි සටන් සංදර්ශන මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.

දැයට කිරුළ භූමිය තුළ සෞඛ්‍ය කඳවුරු 4 ක් ස්ථාපිත කර තිබේ. ජලය පහසුකම්, වැසිකිළි පහසුකම් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සහන මිලට ප්‍රදර්ශන භූමිය ඇතුළතදී ආහාරපාන ලබාදීමට කටයුතු යොදා ඇත.

අනුරපුරයට එන මාර්ග තුනෙන් දැයට කිරුළ නැරැඹීමට එන අය සඳහා රථ ගාල් 6 ක් ස්ථාපිත කර තිබේ. අනුරපුර බස්නැවතුමේ හා දුම්රිය ස්ථානයේ සිට නිරන්තරයෙන්ම ඔයාමඩුව දක්වා නගරාන්තර බස් ධාවනය වේ. මීට අමතරව පෙබරවාරි 4 සිට 10 දක්වා කොළඹ සිට උදේ 6 ට බස්රථ කිහිපයක් අනුරපුරයට ධාවනය වේ. යළි  එම බස් රථ රාත්‍රී 12.30 ට ඔයාමඩුවේ සිට කොළඹට ධාවනය වන බවද සංවිධායකයෝ පවසති.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...