මැදියම පිපුණු කුසුමක් – 1

මා මේ කියන්නට යන සිද්ධි දාමය අගක් මුලක් නැති  හිතලුවක් ලෙසින් කෙනෙක්ට සිතෙන්ට පිළිවන. කම් නැත මගේ ආදරණීය පාඨකයාණෙනි, අවසාන තීන්දුව ඔබ අතේ තබා පියවි සිහියෙන් මා දුටු සිහිනය පවසන්නම්…
එරික්…ඔහුගේ නම ඒ බව මුලින් දැන සිටියේ නැත. ඔහු මා මුලින්ම දුටුවේ…නැත, ඊට කලින් මා මෙල්බන් පැමිණීමට හේතු වූ කරුණු සහ මා ගැන යමක් කිව යුතුය.
* විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන ඒ කාලයේ මගේ පර්යේෂණ කටයුතු වලට මාස කිහිපයකටය මෙල්බන් නගරයට පැමිණ සිටියේ. ආචාර්ය උපාධිය යයි කියූ පමණින් තරුණ විය ඉක්මවූ තලත්තානි ගැහැනියක් ඔබ මවාගත්තාද? එසේ නම් ඒ මනෝ චිත්‍රය ඉරා දමා, ඒ වෙනුවට  වයස විසි පහක් නොඉක්මවූ, නළලට වැටුණු කොණ්ඩයෙන් සහ බෝතල් අඩි උපැස් යුවලක් පිටිපස සැඟවී සිටින්ට උත්සාහයක යෙදුනු සිහින් කුලෑටි ගැහැණු ළමයෙක් මවා ගන්නා ලෙසට අයදිමි.
නගරයට ආසන්න කුඩා නවාතන්පලක දෙවෙනි මහලේ කුලියට ගත් කාමරයක මා නැවතී සිටියෙමි. කොහොමත් වැඩි සමාජ ආශ්‍රයක් නැති, පොත් ගුල්ලියක ලෙසින් ප්‍රචලිතව සිටි මා හට, මෙල්බන් වල යහළුවන් නෑදෑයන් නොසිටීම ප්‍රශ්නයක් වුවේ නැත. දිවා කාලයේ අධ්‍යන වැඩ වල නිරතවන මම රාත්‍රියේ නවාතැන්පලට පැමිණ මුහුණ කට දොවා භෝජනාගාරය වෙත ගොස් කිසිවක් ගිල දමමි. එහිදී හමුවන ඇස ගැටෙන මුහුණු හා මම ‘හායි බායි’ වලින් එහාට අල්ලාප සල්ලාපයේ නොයෙදිමි. ඒ ඇත්තටම මට ඒ ගැන උනන්දුවක් නොතිබූ නිසාය.

හිතවත් පාඨකය, මානයෙන් ඉදිමුණු අහංකාර සමාජ විරෝධී කෙල්ලක ලෙසින් දැන් ඔබ මට දුන් නඩු තීන්දුව මොහොතකට පසෙකට ලන්න.
ඔව් ධනවත් පවුලක එකම දරුවා වීමත්, මගේ කුලෑටි ගතිගුනත් නිසා බොහෝ අය මට එම ලේබලය ගසන බව දනිමි. නමුත් මට ඒ ගැන කියන්ට ඇත්තේ, කිසිදාක මට දැනෙන දේකට පිටින් ගොස් බොරු රඟපෑම් කරන්ට ඇති අකමැත්ත විනා මගේ ඇති අහංකාර කමක් නැති බවයි.

ඔබ කියන්නේ, ඔබ ආශ්‍රය කරන හැම දෙනා ගැනම අවංකව ඔබට උනන්දුවක් ඇත කියාද? ඔවුන් ගේ දු දරුවන් ගැන, ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය ගැන, රැකියා ප්‍රශ්න ගැන ඔබ සත්‍ය වශයෙන්ම කරදර වනවාද? ඉදින් මට නම්, අන්‍යන්ගේ ජීවිත විස්තර ඇසීම තරම් විඩාව ගෙන දෙන්නක් තවත් නැත. ඒ කාලයේදී පොතක් කියවීම හෝ ගිටාරය වාදන ය කිරීම මට ඊට වඩා බොහෝ සතුටක් ගෙන දෙන්නකි. සමාජ මතය ගැන මගේ කවදත් සැලකිල්ලක් නොතිබුණි. එබැවින් මා ආශ්‍රය කලේ සැබවින්ම මා ආදරය කල හෝ අඩු තරමේ මා සිත්ගත් අය ම පමණකි.
සීතල ජුලි මාසයේ රැයක් වූ එදිනද මම සුපුරුදු ලෙස භෝජනාගාරයට ගියේ ඉක්මනින් රාත්‍රී ආහාරය ගෙන මගේ කාමරයට වැද ගන්නටය. එහෙත් පළමු කෑම කට මුව තුලට ගද්දිම අමුත්තක් දැනුනු හෙයින් මම හිස හරවා පිටුපස බැලීමි.

ඒ මා පළමු වරට එරික් දුටු මොහොතයි.

ප්‍රතිචාර 11 (+add yours?)

  1. ravi
    ජන. 08, 2012 @ 12:00:34

    මොකක්ද බොල මේ ලිවිල්ල?……

    මෙතන කතාවෙ පූර්විකාව විතරයි නෙව…හෙහ්, හෙහ්,

    මොනව උනත් ආරම්භය නම් මරු….ලියාපං විගහට ඉතිරි ටික….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මුහුදු කොල්ලකාරයා
    ජන. 08, 2012 @ 13:10:33

    තවත් මෙගාවක ආරම්භය!! හැබැයි මරු ලිවිල්ල 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. arunishapiro
    ජන. 08, 2012 @ 14:57:17

    //ඉදින් මට නම්, අන්‍යන්ගේ ජීවිත විස්තර ඇසීම තරම් විඩාව ගෙන දෙන්නක් තවත් නැත. ඒ කාලයේදී පොතක් කියවීම හෝ ගිටාරය වාදන ය කිරීම මට ඊට වඩා බොහෝ සතුටක් ගෙන දෙන්නකි. සමාජ මතය ගැන මගේ කවදත් සැලකිල්ලක් නොතිබුණි. එබැවින් මා ආශ්‍රය කලේ සැබවින්ම මා ආදරය කල හෝ අඩු තරමේ මා සිත්ගත් අය ම පමණකි.//

    මමත් මෙයා ගැන දැනගන්න ඉතා කැමතියි!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Nish
    ජන. 09, 2012 @ 05:29:11

    මුකුත් කියන්න කල් වැඩියි වගේ………

    මරු පූර්විකාව……….
    ලියමු බලන්න කතන්දරෙත්

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Trackback: මැදියම පිපුණු කුසුමක් – 2 « ස්නේහයේ නගරය
  6. අමා
    ජන. 09, 2012 @ 07:20:30

    @රවී අයියා
    හි හි කාලෙකින් ආයෙත් ලියන්ට හිතුනා

    @මුහුදු
    මෙගාවක් වේවිද මිනි සීරිස් එකක් වේවිද කියල දැන්ම හිතාගන්ට බෑ මටවත්!

    @අරුණි අක්කා
    එයා ගැන ඉස්සරහට තව ලියවේවි 🙂

    @නිෂ්
    ලියාගෙන යනවෝ

    @හැමෝටම
    ඔන්න ඊළඟ කොටසත් ලිව්වා…බොහොම ස්තුතියි ඔයාල හැමෝටම!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  11. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න