Wednesday, December 21, 2011

ඒක තමයි අරගලය‍

සමාජය දෙනෙත් අයා බලා සිටි දෙසැම්බර් 13 දැන් නික්ම ගොසිනි. ලංකා දේශපාලනයට තවත් නැවුම් දේශපාලන ව්‍යාපාරයක් ප්‍රසූත කර හමාරය. පුරා වසර ගණනාවක් විළිරුදාවෙන් පසුව වමේ මිනිසෙකු බිහි කළ දේශපාලන ව්‍යාපාරයක් දැන් අප හමුවේ ක්‍රියාත්මකව පවතී. එහි ප්‍රකාශකයෙක් පැවසුවේ දකුණු ආසියාවේ අරගල අනුඛණ්ඩය මෙන්ම ආසියාවේ සමාජවාදයේ ආශ්චර්යය ලංකාවෙන් බිහි කරන බවකි. සිංහල දෙමළ මුස්ලිම් සැබෑ සහෝදරත්වයක මිනිස් බැඳියාවක් එදින හයිඩ් පිටියේ වේදිකාව මත පිළිබිඹු විය. එය ව්‍යාපාරයක් නොව සැබෑවක් බව එහි පැමිණි අතිවිශාල සෙනගකින් සනාථ කෙ‍රිණි.

එක් පැත්තකින් ‍ගොවියා තමා‍ගේ අයිතිය වෙනුවෙන් දඹුල්ල, තඹුත්තේගම, මැනිං මාර්කට්, මීගොඩ ආදී ප්‍රදේශ වල සටන් කරමින් සිටී. අනෙක් පැත්තෙන් ශිෂ්‍යයා තමන්‍ට එරෙහි වුණු බැටන් පොලු, කඳුළු ගෑස්, සිර මැදිරි සමග යා වෙමින් අධ්‍යාපන පෞද්ගලීකරණය ක්‍රියාත්මක කරන පාලකයින්ට එරෙහිව සටන් කරමින් සිටී. ලක්‍ෂ 15 කට අධික රැකියා විරහිත තරුණ පිරිසක් තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරමින් සිටී. රටේ බහුතරය වූ කාන්තාව සමාජයේ තමන්ට හිමි නිසි තැන වෙනුවෙන් සටන් පෙරමුණට පැමිණෙමින් සිටී.

දැන් සිදුවිය යුත්තේ මේ සියලු සටන් ඒකාබද්ධ කිරීමය. මේ සියලු අරගල එක් තැනකට කේන්ද්‍රගත කිරීමකි. එක් තැනකින් අරගලයේ කුළු පහර මුදා හැරීමය. හුදකලා සටන් සියයකට වඩා ඒකාබද්ධ එක් අරගලයකින් මහා කුළුණු වුවත් බිඳ හෙළිය හැකි බව නොකිවමනාය. එසේ නම් දකුණේ සිටින පීඩිතයා මෙන්ම උතුරේ සිටින පීඩිතයාද විඩාවට පත් කර ඇති ක්‍රමයේ වෙනසක් පිළිබඳ ඉදිරියේ දහසක් බලා‍පොරොත්තු තබා ගෙන මෙරට ජනතාව තමන්ගේ සැබෑ දියසෙන් කුමරු, විමුක්තිදායකයා ප්‍රතිඋට්ඨානය වනතුරු බලා සිටී.



පෙර දවසක සිට
වීදිය අරක්ගෙන
කැණහිලුන්.....
හෙට අකුරු කරන පුතුනේ
ගමන් ඇරඹිය යුතුය
"අ"යන්නෙන්
අරගලයේ.....
වීදිය අයිති තොපටය.....
(උපුටා ගැනීමකි)

0 comments:

Post a Comment