ගුරුකම – 2 කොටස

<<පළමු කොටස

උකස් බදු කඩේ ඉඳන් ගෙදෙට්ට අඩිය තියද්දීම මල්ලි ගෙදර ඇවිදින් කියල මට තේරුණා. ‘මද්දු ආවද’ කියාගෙන හොර පුසා වාගේ ආවේ සල්ලි ගැන අහන්න තමයි. නැත්තන් වෙනදට රෑ දෙක තුන ගෙදරින් පිට ඉන්නේ මං උන්නද මලාද කියාලා වගක් නැතිව.
මං කතාවක් නැතිවම නෝට්ටු මිටිය මෙසේ උඩින් තිබ්බ.
මල්ලිගේ ඇස් දෙක යන්තන් දිලිහුනා.

***

ගුරුකම කරවාගන්න මල්ලිට තනියම යන්න දෙන්න හිත දුන්නේ නැත්තේ ඌ ගැන තිබ්බ අවිස්වාසෙටත් වඩා කට්ටඩියා මගඩියක් කරාවි කියල බය හිතුනු නිසා. එන්ට කියල තිබ්බේ රබර් වත්ත පහු කරාම හම්බෙන පීල්ල ගාවට. ගලා යන දිය පාරක් ඕනි කිව්වේ. දීල තිබ්බ වෙලාව ත් මහා මුසලයි. හවස 6 ට. පොඩි කාලේදී නං අම්ම අපට ඉර බස්සයින් පස්සේ ඔය පැත්තේ යන්ට දෙනවා බොරු.


අපි පීල්ල ගාවට යද්දී ඇවිදලම මට හොඳටම මාන්සියි. ගේන්ටය කියල තිබ්බ අඩුම කුඩුම මල්ල මට දීල මල්ලි වට පිට බැලුව. කෝ මේ
ගුරුන්නාන්සේ?

“උඹල වෙලාවට ආපු එක හොඳා. නැත්තන් රාහු කාලෙට අහුවෙනවා”
එක පාරටම පිටිපස්සේ පඳුරු අස්සෙන් කවුදෝ කියාගෙන මතුවුනු තාලෙට මම නම් ගැස්සුනත් එක්ක.


“කෝ කෝ එහෙනං ආවනං මෙහෙට. සිරිදාස උඹ ඇවිත් කමිසේ ගලෝල මෙන්න මෙතනින් දිගා වෙයන්”
ගුරුන්නාන්සේ පීල්ල ලඟට වෙන්න තිවුණු ගල් පොත්ත පෙන්නල කිව්වේ මං දිහාත් ඇහැ කොනකින් බලන ගමන්.


ඊට පස්සේ නොතේරෙන මන්තර වාගේ මොනවදෝ මහා ගොඩක් මිනිහ එක දිගට ජප කරා. කිසිම ගැලපිල්ලක් නැති තාලයක් නැති ඒ ජප කිරිල්ල ඇහිච්ච මට නම් හිතුනේ මේ මිනිහා බොරුවට නිකම් කටට එන එකක් කියල අපිව රවටනවා කියලයි. ඒත් මල්ලි නම් පුදුම සද්ධාවකින් ඇස් දෙකත් වහගෙන ගල් පොත්තේ දිගෑ වෙලා.
හ්ම්… මේකටත් අපි කියන පන්සලකට තමා යන්න බැරි. කොච්චර නම් මූ මට අසමජ්ජාති කතා කිව්වද මං ගමේ ඈයෝ එක්කල දඹුලු ගිය වෙලේ.


“ඔය මොනවාදැයි ඔය කෝප්පේ බොන්න දෙන්නේ?”
කට්ටඩිය මොනවදෝ වක්කරල මල්ලිට බොන්න දෙනවා දැක්ක මට කට පියාගෙන ඉන්න බැරි උනා. කව්ද දන්නේ මේකා මොනවත් වසක් විසක් දීල පැනල යාවිද කියල?


කට්ටඩිය මා දිහා ඔරවල බැලුව මිසක මුකුත් කීවේ නැහැ.
මල්ලි කෝප්පේ අතින් අරන් බීගෙන බීගෙන ගියේ අමුර්තේ වාගේ.


මොකද්දෝ පිත්තල පතුරක් අරන් කට්ටඩිය මල්ලිගේ බඩ උඩින් තිබ්බ.
“මේක අපේ අප්පුච්චගෙන් මට ලැබුන බොහොම බලගතු යන්තරයක්” කට්ටඩිය කිව්වේ මටද මල්ලිටද කියල මට තේරුනේ නැහැ.
“අප්පුච්චගේ මුත්තා ඉන්දියාවෙන් ආපු හොඳ යන්තර මන්තර දන්නා ගුරුන්නාන්සේ. එහෙව් පරම්පරාවකින් එන සාස්තරයක් මේක. අපේ පවුලේ දොළොස්දෙනෙක් ඉන්දැද්දී අප්පුච්ච මට විතරමයි මේ සාස්තරේ දුන්නේ.”
කට්ටඩිය උන්දැගේ පුරාජේරුව කියෝනව. හුහ්…! යන්තරේ බල බලන්න බැරිය අදින් පස්සේ. බලමුකො මලය අරක්කු කටේ ගෑම නවත්තයිද කියල. හැබැයි පුතෝ… උඹල මාව ගොනාට අන්දන්න හිතන්න එපා…
“කට කට!”
මටත් නොදැනී මම තනියම හිතේ තිව්ව ඒවා කියවන වග තේරුනේ කට්ටඩිය සැර කරාම.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


කට්ටඩිය ඉන් පස්සේ අනම් මනම් මහ ගොඩක් ජාති කරා. වැලි ඉස්සා. මැතිරුවා.පරල වෙලා ඇස් උඩ දාගෙන කෑ ගැහුවා. මල්ලි ඔය ඔක්කොම අස්සේ වැඳගෙන ඇස් පියාන හිටිය වෙව්ල වෙව්ල.


“ඕං නමෝ නමෝ
ඒස්වාහඃ!”
උඩ පැනල කැගැහුව කට්ටඩිය තුහ් ගාල කෙල ගහල කොන්දට අතත් තියාන හෙමින් සීරුවේ වාඩි උනේ “ඕන් දැන් හරි” කියාගෙන මල්ලිට තට්ටුවකුත් දමාගෙනයි.
මල්ලිට දාඩිය දාල හොඳටෝම. ඇස් ඇරිය හැටියේ ඔක්කාරෙට එනවා කියල වමනේ දාන්න ගත්ත.


“උඹ මොනවාද මූට බොන්න දුන්නේ?”
මල්ලි වමනේ දාන්නේ මොකක් හරි විස වෙලාවත්ද කියල බය උණු මම ඇහුවේ කට්ටඩිය ගෙන්. ඒ මිනිහ ට වගක්වත් නැහැ.
“උඹට තේරෙන්නේ නැහැ මේවා. ඇඟේ තියෙන හුනියම එලියට එන්නේ ඔහොමයි. පණ්ඩිත නොවී හිටහන්…”


හොඳයි ගුරුන්නාන්සේ… බලමුකෝ හුනියම ගියාද කියල…


“ගුරුන්නාන්සේ…උඹ වංචාවක් කරා නම් මගෙන් බේරෙන්න වෙන්නේ නෑ. මේ ගුණවතී කව්ද කියල උඹ දන්නේ නෑ”
“හුහ්… ගුණවතී… සිරිපාලට වඩා ලොකු හුනියමක් උඹට වැදිලා තියෙනවා. උඹේ යකා එලවන්න නම් මේ වගේ දෙ තුන් ගුණයක ගුරුකමක් කරන්න වෙනවා.”
“මොකක් කිව්වා? මේ යසට ඉන්න මට මොකාද වැහිලා ඉන්න යකා? උඹ හදන්නේ මාවත් අන්දන්නද?”
“යසට ඉන්න?”
කට්ටඩිය කට ඇද කරන් හීනියට හිනා උණු තාලේ මට ඇල්ලුවේ නැහැ.


“ගුණවතී, උඹ අද ගෙදර ගිහින් කන්නාඩිය ඉස්සරහට ගිහින් දහයේ ඉඳන් ආ පස්සට ගණන් කරහන්. එක වෙනකන් උඹට ගණන් කරගන්න පුළුවන් උනොත්… උඹට බැරි වෙනවා ඒක. අන්න ඒකටත් මා ගාව තියෙනවා මන්තර…”
“උඹේ ඔය විකාර මට වැඩක් නැහැ. මට ඔය මන්තර ඕනෑන්නේ නැහැ. හැබැයි මලය අදින් පස්සේ ගිනි වතුර කටේ තිබ්බොත් මම උඹට…”
මල්ලි මගේ අතින් ඇදල ගත්තු නිසා ඉතුරු ටික කියාගන්න උනේ නැහැ. මටත් ඕනේ වෙලා තිබ්බේ එතනින් පැන ගන්නයි කොහොමත්.


ආපහු එන ගමනේදී මල්ලියි මායි අතර කතාවක් බහක් උනේ නැහැ.


බලමුකෝ ගුරුකමේ බලේ…ඇඳට වැටිලා චීත්තෙට ගුලිවෙන ගමන් මම හිතුව.

ගුරුකම වැඩ කලාද? ඊළඟ කොටසින්

එක් ප්‍රතිචාරයක් (+add yours?)

  1. arunishapiro
    නොවැ. 03, 2011 @ 12:07:51

    ලස්සනයි ලියලා තියන විදිහ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න