Sunday, October 2, 2011

උපාදාන පච්චයා භවෝ... පටිච්ච සමුප්පාදය 10


උපාදාන පච්චයා භවෝ... පටිච්ච සමුප්පාදය 10
අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !
උපාදාන හේතුවෙන් භවය හටගනී.  භවය දෙයාකාරය.  කර්ම භවයක් හා උපපත්ති වශයෙන් මෙය දෙකොටසකට බෙදිය හැක.  පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභිසංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය කර්ම භව වශයෙන් හඳුන්වනු ලැබේ.  සියලු භවගාමී කර්මයෝ කර්ම භව වෙති.  වෙනත් අන්දමකින් කිවහොත්, භවයක් ඉපදවීමෙහි ශක්තියක් ඇත්තා වූ කර්මයෝ, කර්ම භවයන් වෙති.  උපපත්ති භව වර්ග වශයෙන් නමයකට බෙදා දැක්විය හැක.  

1. කාම භව:  එනම් මනෝ භෞතික සංයෝගයෙන් පරිපූර්ණ කාම ලෝකය කරා දිව යන භවයන්ය. මේ භවයන් වනාහී අපාය, මිනිස්, තිරිසන්, මනුශ්‍ය ලෝක,  සහ ප්‍රෙත ලෝක යනාදීහු වෙති.  මොවුන්ගෙන් සමහර ජීවීහු මිනිස් ඇස්ට දෘෂ්‍යමාන වේ.  සමහරු එසේ දෘශ්‍යමාන නොවේ. නවීන පඬිවරු මිනිස් ඇසට නොපෙනෙන දේ පවතින දේවල් නොවන බව  සලකති.  නමුත් සත්‍යය  වන්නේ සමහර දේවල් මිනිස් ඇසට දෘශ්‍යමාන නොවීමේ ස්වභාවයයි. .  

2. රූප භව: යනු රූප ස්කන්ධයක් ඇති බ්‍රහ්ම (එක්තරා බ්‍රහ්ම කොට්ඨාසයකට රූප ස්කන්ධයක් ඇත.) ආදී ජීවීන්ය. 

 3. අරූපභව:  සර්ව මනෝ ධාතූන්ගෙන් සමන්විත රූපස්කන්ධයක් නොමැති මනෝ ධාතූන්ගෙන් පමණක් සැදුම් ලත් ජීවී කොට්ඨාසයකටය.(මෙවැනි ජීවීයෙකු හා සන්නි වෙදනය කල එක්තරා වෛද්‍ය ශිෂ්‍යාවකට (Schizophrenia ) නම් වූ රෝගයක් ඇති බවට නිගමනය කල එක්තරා විශේෂඥයෙක් ඒ ශිෂ්‍යාවගේ සම්පූර්ණ අනාගතයම් විනාශ කලේය.)    මෙවැනි භව කිහිපයක් බ්‍රහ්මයින්ගෙන් සමන්විත බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. 

4. සංඥා භවය.  

5. අසංඥා භවය 

6. නේවසංඥානාසංඥාභවය
 
7. ඒක වෝකාරභවය
 
8. චතුවෝකාරභවය 

9. පංචවෝකාර භවය.    

උපාදාන ප්‍රත්‍යයෙන් උපන්නා වූ භව මෙසේ පාලි විභංගයේ දක්වා ඇත.  එය මෙසේ තේරුම් ගත යුතුය.  සත්වයින්ගේ සන්තානයන්හි උපාදානයක් ඇති වූ විට එය ලිය ලා වැඩෙන්නට පටන් ගනී. (උපාදානය යනු ක්ලේශයන්ට ව්‍යවහාර කරන තවත් නමකි. ) එසේ ලියලා වැඩෙන විට තවත් දේ උපත ලබයි.  උපාදානයන් නිසා ඇති වන ඒ දෙවල් භව නම් වේ.    ප්‍රාණඝාතය අදත්තා දානය ආදී වූ දශ විධ අකුසල, දානාදී වශයෙන් වූ දශ විධ කුසල, එක් එක් කුසලාකුසලයන් නිසා නොයෙක් නොයෙක් භූමි වල හටගන්නා වූ ස්කන්ධ යන මේවා භව වශයෙන් හැඳින් වේ.  දශ ප්‍රභේද වූ අකුසලය, දශ ප්‍රභේද වූ ලෞකික කුසලය යන පින් පවු වලට කර්ම භවයයි කියනු ලැබේ.  ඒ කර්මයන් සිදුකල නිසා ඇති වන්නා වූ සත්ව සන්තානයන්ට  උපපත්ති  භවය යයි කියනු ලැබේ.  

උපපත්ති භවය එක් වර්ගී කරණයකට අනුව කාම් භවය, රූප භවය, අරූප භවය වශයෙන් තෙවැදෑරුම් වෙයි. 

 තවත් වර්ගී කරණයකට අනුව සංඥා භවය අසංඥා භවය සහ නේවසංඥා භවයයයි තෙවැදෑරුම් වෙයි.  

තවත් ආකාරයකට ඒකවෝකාරභවය, චතුවෝකාර භවය, පංචවෝකාරභවය වශයෙන්ද තෙවැදෑරුම්ය.  

ඒ අන්දමට භව නවයක් සකස් වෙයි.  සතර අපායය, මිනිස් ලොවය දෙව් ලොව සයය වශයෙන් කාම භූමි එකොලොසක් වෙයි.  සොලොස් රූප භවයන්ගේ උපාදින්න ස්කන්ධයෝ රූප භව නම් වෙති.  අරූපතල සතරෙහි උපාදින්නාවූ සත්වයෝ අරූප භව නම් වෙති.  කාම භූමි එකොලහ, රූපාවචර භූමි පහලොවක් ( අසංඥ භූමිය හැර )හා අරූප භූමි තුනක උපාදින්නා වු ස්කන්ධයෝ සංඥා භව නම් වෙති.   අසංඥ භූමියෙහි උපාදින්න වන ස්කන්ධයෝ අසංඥ භව වෙති.  අන්තිම අරූප භූමියෙහි උපදින්නා වූ සත්වයින්ගේ ස්කන්ධ නේවසංඥානාසංඥා භව වෙති.  අන්තිම අරූප භූමියට භවාග්‍රය යයිද කියනු ලැබේ.   වෝකාර යනු ස්කන්ධයන්ට කියන නම්කි.  අසංඥ භූමියෙහි ඇත්තේ රූප ස්කන්ධය පමණකි.  ඒක වෝකාර වශයෙන් හැඳින් වෙන්නේ එයයි.  චතුවෝකාර යනු නාම ස්කන්ධ හතරටය.  පංච වෝකාර යනු පංචස්කන්ධය සහිත සත්වයින්ටය.  උපාදින්න ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ කර්මය නිසා හට ගන්නා යන අදහස අනුවය.  කර්ම භවය කුසල කර්ම භවය හා අකුසල කර්ම භවය වශයෙන් දෙවෑරුම්ය.  තෘෂ්ණාව රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්නාව, ගන්ධ තෘෂ්ණාව ආදී වශයෙන් සවැදැරුම් වන්නා සේ කාමුපාදානයද සවැදෑරුම් වන්නේය.  මස් රසයට ගිජු වූ තැනැත්තා ඒ පසු පසම යයි.  ඒ කාමුපාදානයේ ප්‍රතිඵලයයි.  සතුන් මැරීමටත්, මැරවීමටත් අනුබල දෙයි. ඇතැම් මිත්‍යාදෘෂ්ටිකයෝ  දෙවියන් සතුටු කොට දෙව් ලොව යන රිසියෙන් සතුන් මරති.  ඒ සතුන් දෙවියන්ට පූජා කොට ඒ පිනෙන් දෙව් ලොව උපත ලැබීමට හෝ ඊට වඩා සැප සම්පත් බලාපොරොත්තුවෙන් ප්‍රාණඝාතය සිදු කරති. මහා යාග පවත්වති.  මේ දිට්ඨුපාදානය නිසා ප්‍රාණඝාතය සිදුවන අන්දමය.   ඇතැම්හු ආත්මය මනා ලෙස පවත්වා තබා ගැනීම සඳහා කුකුල් ආදී සත්වයින්ගේ බිත්තර අනුභව කරති.  ආත්මය ආරක්ෂා කර ගනු පිණිස වෙනත් සතුන් මරා දමති.  සර්පයින්, පත්තෑයන් ගෝනුස්සන් ආදී සතුන් මිනිස් ඇසට අසුවූ පමණින් උන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක වේ.  උන් කල වරද මිනිස් ඇසට දෘශ්‍යමාන වීමය.   
  
දන් දීම ආදී කුසල ක්‍රියාවන් හේතුවෙන් පරලොව නොයෙක් සැප සම්පත් ලැබිය හැකි බව ඇසූ පමණින් සමහරුන්ට කාමුපාදානය පහල වේ.  ඒ නිසා බොහෝදෙනා පින් කරන්නේ ඒ කාමුපාදානය නිසාය.  ඒ හේතුවෙන් දානමාන පූජාව, ලිං අම්බලම් සෑදවීම මල් පූජාව, පහන් පූජාව, සිල් රැකීම ආදී කුසලයන්හි නිරත වේ.  භාවනා කිරීමෙන් ලැබිය හැකි සැපසම්පත් ගැන ඇසූ කල්හි, භාවනාදී පුණ්‍ය ක්‍රියාවන්හිද නිරත වේ.    උපාදානයන් කුසල අකුසල යන දෙපාර්ශවයටම බලපාන අන්දම මෙයින් තේරුම් ගත යුතුය.  සාමාන්‍ය පෘතග්ජනයා උන්මත්තකයෙකි.  උපාදානයන් නිසා කරන්නා වූ සමහර කර්මයෝ දුබල වූ ඒවා වෙති.  සමහර කර්මයෝ බලවත් වෙති.  ඒ බලවත් කර්ම භවයක් ගෙන දීමට තරම් සමත් වෙති.  දුබල කර්මයෝ අභාවප්‍රාප්ත වෙති.  භවයක් ගෙන දීමට තරම් බලවත් වූ කර්මයන්ට කර්ම පථය යයි ද කියනු ලැබේ.  

ක්ලේශයෝ වනාහී සා පිපාසාවන් මෙන් සත්ව සන්තානයන් දවන්නා වූ ස්වභාවයාන්ගෙන්යුක්ත වේ.  සාගින්න නිවා ගැනීමට ආහාරද, පිපාසය නිවා ගැනීමට පාණ වර්ගද අවශ්‍යය.  උපාදාන වශයෙන් දැක්වෙන්නේද ක්ලේශයෝමය.  උපාදානද සත්වයින්ගේ සන්තානයන් දවන තවන ස්වාභාවය ඇත්තේය. කාමුපාදානය සංසිඳවීමට අවශ්‍ය කාම වස්තූන්මය.   

තවත් කොටසක් ලඟදීම............

2 comments:

Chanaka Aruna Munasinghe said...

ඉපදීමේ ඉඳන් මරණය තෙක් වන නාම රූප පරම්පරාවක සම්පූර්ණ එකතුවටද භවයක් කියන්නෙ. විඥානය වගේම භවයත් මරණය තෙක්ම අලුත් වෙවී පවතිනවාද ?

සරත් ගුණතුංග said...

@ චානක මහත්මයා, උපතක් ලැබීමට කලින් ඇතිවන අවස්ථාවට භවයයි කියන බව මගේ හැඟීමයි. ඊළඟ අවස්ථාව "භව පච්චයා ජාති" වශයෙන් හැඳින් වේ. මහාසි ස්වාමීන් වහන්සේගේ පොතේ මේ බව මෙසේ දක්වා ඇත. ( From attachment becoming arises, From becoming birth arises )භවය දෙයාකාරය 1. උපපත්ති, 2. කර්ම
සත්වයින්ගේ සිතෙහි යම්කිසි තෘෂ්ණාවක් හටගෙන එය වැඩී උපාදානයක් වූ කල්හි තවත් යම්කිසි දෙයක් උපදී. එය උපතක්ම නොවේ, ඊට ප්‍රථමයෙන් ඇතිවන දෙයකි. භවය කියන්නේ මේ අවස්ථාවටය.