පින්තූරෙකි හරි විසිතුරු.. ඇවිත් බලනු මැන සුමිතුරු

කුකුල් පොලිස්

අද අතටම අසුවුනේය. හැමදාමත් කලේ මූව අල්ලාගන්නට තැත් කිරීමය. “පොලිසියේ වුනාට මොකෝ, තමුසෙට කුකුළෙක්වත් අල්ලාගන්න බැරි”යැයි බිරියද කෝචොක් දැම්මාය.විශ්‍රාම යන්නට මොහොතක් තබා හෝ මූ අල්ලාගන්නවා යැයි එදා පාරම්බෑවෙමි. දෙකක් තුනක් දාගත්තාම කාටත් කියැවෙන්නේ ලොකු ලොකු දේවල්මය. ඒ ඇරත් යුනිෆෝමයේ ඌෂ්ණය නිසා එසේ කියැවෙන්නටද ඇතිය.

දැන් විශ්‍රාම යන්නට සිදුව ඇත. ලබන සදුදා යුනිෆෝම් භාරදිය යුතුය. හොද වෙලාවට අද මූ අහුවුනේය. දැන් ඉතිං මූව අල්ලා මස් කරමි. පෙන්ෂන් පාටියේ මේසයට මුව දමාගත්තොත් වියදමත් ඉතුරුය.

අදවත් අල්ලානොගත්තොත්, රෙද්දක් ඇදං පාරට  බහිනවා බොරුය.

මාධ්‍ය නිදහස

පුවත් එසැනින් වාර්තා කරන්නට ආවා පමණි. අපේම එකෙක් මා අල්ලාගත්තාය. මාධ්‍ය නිදහස ගැන ලෝක සමුළුවේ හෝ කතාකරන්නට ඕනෑ යැයි මා කියන්නේ මේ නිසාවෙනි. ඇත්ත හඹායාම මගේ ගතියයි. රජයෙන් හෝ පාතාලයෙන් හෝ අනිත් පසමිතුරු නාලිකාවකින් මට ගේම දේ යැයි මා සිතා උන්නෙමි. කරුමෙක මහත, මාගේ මග හරස් කරනුයේ මගේම එකෙකි. මොකා වුනත් මූ ඉතාම වස එකෙක්යැයි බැලු බැල්මට පෙනෙන නිසා, මාධ්‍ය නිදහස පසෙකට හෙලා මම ගෙදර යන්නෙමි.

ආ‍යතන සංග්‍රහය නිවැරදි කළ යුතුය. නැත්නම් මට වෙන්නේ සමාදානයේ සැතපෙන්නටය.

සිංහාවලෝකනය


තොපි මට පේන්න බැරි වූයේ මගේ පවටදැයි, තොපේ පිනටද යැයි නොතේරේ. පැපරාසින්ගෙන් මා ඈත් කරතබන්නයි උද්‍යාන භාරකරුට කිහිපවරක්ම මම කියා ඇත්තෙමි.  ඌට ඕනෑ මුදල්ය. ඒ නිසා මාව පයිසෙකට ගනන් නොගෙන, සම්මුඛ සාඛච්චා දෙන්නැයි කියා තොපි වගේ හාල්පාරුවන් පෙලගස්සමින් මා වෙත එවනවාය. මා මීට අකමැති බව පෙන්නන්නට එක් විදියක් ඇත. ඒ කූඩුවට තෝ ඇදගෙන කා ඉවර කිරීමය. ඒත් අන්තිමට මගේ නමට ඒක හොද නැත.

අපි වගේ කූඩු කර ඇති සමහරුන් බේරාගන්නයි කියමින් පාක්ෂියෝ පෙළපාළි යති. සත්‍යග්‍රහන පවත්වති. ඒත් අපි වෙනුවෙන් එහෙම යන්නට බල්ලෙක් නැත. අඩුමගානේ, මා වෙනුවෙන් මාධ්‍ය හසුරුවන්නට ඇහැට කනට පේන ගැටිස්සියෙක්වත් ළගපාතක නැත.

හිටපල්ලාය. ආණ්ඩුව මාරු වුන ගමන් උඹල‍ව උස්සමි.    ‍

 

අපිත් පාථග්ජනයෝය.

ක්‍රිකට් එපා වෙන්නේ මෙන්න මේ වෙලාවටය. හොරෙක්, මංකොල්ලකාරයෙක් වූවා නම් උස්සං දුවන්නටද ඉඩ තිබුනි. අපිව අවුස්සා මේගොලෝලෝ අනං මනං කීම වැරදිය. රහත් වී නැති නිසා ඇස් පිනවන දේවල්වලට ඉබේම හිතද ඉඩදේ. අනේ මංදාය, හිත නම් මෙල්ල කරගන්නම බැරිය. අපට වඩා ජ්‍යෙෂ්ඨ, පරිණත ක්‍රීඩකයෝ ලජ්ජාවෙන් අහක බලා සිටියත් හිත තියෙන්නේ මෙතනමය.

අපි යමක් කළොත් පත්තරේ මුල් පිටුවේ පළවේ. එක්කෝ දඩ ගහයි. නැත්තනම් වාරණ දමයි. තහනම් කළයුත්තේ මෙන්න මේවාය. පශ්චාත්භාගයෙන්, භාගයකටත් වඩා එළියේ තිබෙනු දැකීම මහා ආනන්දයකි. පිටියේදී කා මෙල්ල කළත්, දඩබ්බර හිත මෙල්ල කිරීම අසීරුය.

6 thoughts on “පින්තූරෙකි හරි විසිතුරු.. ඇවිත් බලනු මැන සුමිතුරු

Leave a comment