අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත.

කාලය අසුරු සැනින් ගෙවිලා ගියා. වැඩවළ කෙළවරක් නොතිබුනු නිසයි මේ පැත්ත පළාතේ එන්න බැරිවුනේ.

මුකුත්ම නොළියන එකත් හරි නැති නිසයි චුට්ටක් හරි ඔලුව දාලා යන්න ආවේ. එහෙම එන්නත් හේතුවුනේ මම මේ ඊයේ පෙරේදා දැකපු අපබ්‍රංශ දැන්වීමක්. කතා ඇති. කියන්නම්කෝ එහෙනම්.

නුගේගොඩට යන්න තිබිච්ච උවමනාවකට මම මහරගමින් 119 ක නැග්ගා. දවස ගිය සෙනසුරාදා. කොහොමත් බස් එක නුගේගොඩට යන්නේ නාවින්නේ බෝ ගහ ළගින් ආයුර්වේදේ පැත්තට හරවලා, මිරිහාන පැත්තෙන් නේ.

නාවින්නේ බෝ ගහ පහුකළ හැටියෙම එක හෝල්ට් එකක් තියෙනවා. ඒකේ නා නා විධ ලුහුඩු දැන්වීම් පළකරලා තියෙනවා. ටියුෂන් මාස්ටර්ලාගේ ජංගම පන්ති, එම්බ්‍රොයිඩර් මැහුම් පන්ති වල ඉදලා තානායම්, නේවාසිකාගාර, A/C සහිත, රහිත කාමර දක්වා විවිධ දේවල් තහඩු පට්ටම්වල අලවලා තියෙනවා. 

මම නිතරම ඔතනින් යන නිසා කොහොමත් ඔලුව ජනේලෙන් එබෙනවා. මොකද බස් එකත් විනාඩි 5ක් විතර ඔතන නවත්තගෙන ඉන්නවා. ගෙදර ඉන්න මිනිස්සුත් එක්කං යන්න වගේ. ටියුෂන් ගුරැවරැ තමන්ගේ දහසක් හැකියාවල් පිළිඹිමු කරන්න තෝරගන්නේ ඒ වගේ තැනක්. වියදමක් නෑනේ. ප්‍රචාරණය නොමිලේ.

ඒවා වල තියෙන්නේ “ගණිතය අමාරුද, වාණිජ්‍ය අමාරුද…” වගේ දේවල් එක්ක ගුරුවරයාගේ නම සහ දුරකථන අංකය.  

මේ පාර මම දැක්කේ ඊට හාත්පසින්ම වෙනස් දැන්වීමක්.

” අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත”

මම බැලුවා මොකක්ද මේ හරුපේ කියලා. බැලුවම අර ටියුෂන් මාස්ටර්ගේ දැන්වීමයි, කාන්තාවන් සදහා නේවාසික පහසුකම් තියෙනවා කියන දැන්වීමයි එකතුකරලා, ඡේදනය කරලා, සංශෝධනය කරලා එකක් වෙන්න හදලා. යටින් තියෙන්නේ අර ගුරැවරයාගේ නමයි දුරකථන අංකයයි.

මේ වැඩේ කරපු කෙනාගේ ස්ථානෝචිත ප්‍රඥාව ඉහළ මට්ටමින් තියෙනවා. විනාඩි 10න් 10ට වගේ බස් නතර කරන තැනක, කාටත් නොදැනෙන් හූරලා කටුගාලා එහෙම දෙයක් කරන්න ලේසි නෑනේ. ඒත් අර ගුරැවරයා නිකම් හරි තමන් ගහපු දැන්වීම තවම තියෙනවද කියලා බලන්න ඔතනින් ගියොත් පොළව පළාගෙන යන්නනේ වෙන්නේ. නිකම් හරි ගුරා එක්ක ගුරාගේ හාමිනේ ආවා නම් ඒ දීගේ එතනින්ම හබක්.

මෙන්න, එම දැන්වීම නැවතත් ඔබේ අවධානයට…

” අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත.”

තිලකසිරි සර්- -077—–

 

 

2 thoughts on “අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත.

  1. ඒක නම් මරු කතාව ….
    ඔය වගේම එකක් අර සුර තල්මසුන් විකිණීමට තිබේ කියලත් තිබ්බලු … බෙල්ලන්විල පැත්තේ …

Leave a comment